වප් අමාවක 2019.10.27
තුනුරුවන් ප්‍රමුඛය
අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ආගමනයත් සමඟ මේ බිම සම්බුදු දහමින් සුපෝෂිත පින් බිමක්
බවට පරිවර්තනය වූ දා සිටම ආධ්‍යාත්මික ගුණ ධර්මයන්ගෙන් සේ ම, සිරිත් විරිත්වලින් ද
අපේ බෞද්ධයා පොහොසත් විය. ඒ අනුව ජීවිතයේ සෑම කටයුත්තක දී ම තුනුරුවන්ට මුල් තැන දී
කටයුතු කිරීමටත්, දැහැමි දිවි පෙවෙතක් ම ගත කිරීමටත් ඔවුහු හුරු පුරුදු වූ හ. ඔවුහු
තුනුරුවන් විෂයෙහි මහා පින්කම් සිදු කළහ.
මෑත ඉතිහාසය වනතුරු ම එවැනි අපූර්ව දුර්ලභ පින්කමක් අපේ රටේ ඇතැම් ප්‍රදේශවල දැකගත
හැකි වුණි. ඒ පින්බර වස්සාන සමයේ දී ය. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ ලාට වස්
සමාදන් වන ලෙස ආරාධනා කරනු ලබන්නේ ගමේ විහාරස්ථානයෙහි ය. එහෙත් දිගු කලක් පුරා
බෞද්ධයෝ සමහරෙක් භික්ෂූන් වහන්සේ ට වස් ආරාධනා කරනු ලැබුවේ තමන් අලුතින් ගොඩ නැඟූ
නිවසට ය. ගිහියන් පදිංචි වීමට පෙර තම නිවස තෙරුවන් විෂයෙහි පරිභෝග කරවීම සඳහා
භික්ෂූන් වහන්සේ නමක් එහි වස් සමාදන් කරවා, සිව් පසයෙන් උපස්ථාන කරමින්, උන්වහන්සේ
ගේ ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නට පහසුකම් සලසා දෙමින්, තමන්ගේ ආධ්‍යාත්මික ගුණ
ධර්ම වැඩි දියුණු කරගැනීමට ද ජීවිතයේ ලද හැකි මහත් භාග්‍යයක් බවට ඔවුහු සැලකූහ.
වස්සාවසානයේ කඨින චීවර පූජා පින්කම ද මහත් ඉහළින් සිදු කළහ.
මේ පින්කම් තුළ ගම්‍ය වනුයේ සිය ජීවිතයේ අන් සෑම දේ ට ම වඩා තුනුරුවන් ප්‍රමුඛ වූ
බවයි. අනෙක් අතට දහදිය මහන්සියෙන් දැහැමි ව උපයා සපයාගත් මුදලින් තනාගත් නිවහනෙහි
තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ධාර්මික ව, සතුටින්, සාමයෙන් දිවි ගෙවීම ද මෙවැනි පින්කම්
තුළින් බලාපොරොත්තු වූ වා විය හැකි ය.
වර්තමානයේ එවැනි පින්කම් දුලබ වුව ද බොහෝ බෞද්ධයෝ වස්සාන කාලය පුර පින් වැඩෙන
පින්කම් හි නිරත වෙති. මේ උදා වී තිබෙන්නේ වස්සාවසානයේ කඨින පූජෝත්සව සමය යි. තමන්ට
හැකි උපරිම අයුරින්, ශ්‍රද්ධා පෙරදැරිව කඨින පූජෝත්සව පැවැත්වීමට අදත් අපේ බෞද්ධ
ජනතාව තුළ ඇත්තේ වෙසෙස් උද්‍යෝගයකි. බෞද්ධයන් ලෙස ඒ ගැන අපි ආඩම්බර වෙමු. කඨින
පූජෝත්සවය අසදෘෂ මහා පින්කමෙකි. අට මහා කුසලයන්ගෙන් එකකි. පංචානන්තරීය පාප කර්මයක්
කළේ නම් හැර, නොබිඳිය හැකි, නොසෙල්විය හැකි පින්කමකි. සදහම් මග යමින්, ජීවිතයේ පරම
සැපත වන නිර්වාණගාමී ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වීම ඒකායන පරමාර්ථය කර ගනිමින් සෑම
බෞද්ධයෙක් ම වසරකට එක් වරක් පමණක් උදාවෙන මේ මහා පින්කමට දායක වීම ඉතා වැදගත් ය.
ජීවිතය සංකීර්ණ වීමත් සමඟ අපි කාර්ය බහුල වී සිටිමු. එහෙත් ආගමික වතාවත්වලට එය
කිසිසේත් ම බාධාවක් නොවීමට බෞද්ධයන් වගබලා ගත යුතු ම ය.
කඨින පූජෝත්සවය සඳහා එක් විහාරස්ථානයක එක් දායකයෙක් පමණක් මුල් තැන ගනු ලැබුව ද ගම්
වැසි සියල්ලෝම ඊට සහභාගි විය යුතු ය. එය කණ්ඩායමක් වශයෙන් කැරෙන උතුම් පින්කමෙකි.
මෙහිදී කඨින පෙරහර සුවිශේෂී ය. ත්‍රිවිධ රත්නය විෂයෙහි ශ්‍රද්ධා පෙරදැරි ව කඨින
චීවරය හිස මතින් වඩමවාගෙන යනු ලබන කඨින පෙරහර ඉතා වැදගත් වන්නේ ගමේ සමගිය ද සුරැකෙන
නිසා ය. යම් යම් හේතු කාරණා මත ඔවුනොවුන් අතර ඇති වූ අමනාපකම්, හිත් රිදවීම් වේ නම්
මේ පින්කමේ දී එකට එක් ව, සහයෝගයෙන් වැඩ කිරීම තුළ ඒවා දුරු වී යයි. ගමේ එකමුතුකම
ගමට ශක්තියකි. ගමට ආරක්ෂාවකි. සමගිය, සාමය බුදු දහමෙහි ඉහළින් අගය කෙරෙන්නකි.
මෙවැනි පින්කම් තුළ අන්‍යොන්‍ය සුහදතාව වඩාත් වර්ධනය වනවා සේ ම ඒ තුළ පවට ලජ්ජා බිය
ඇති සමාජයක් නිර්මාණය වේ. මේ නිසා මේ මහා පින්කම වෙනුවෙන් කාලය වෙන්කරන්නට සෑම
දෙනාම කැපවිය යුතු මය. එමෙන් ම වස්සාන සමයත්, චීවර මාසයත් බෝසත් ළමා පරපුරකට ආදර්ශය
දිය හැකි හොඳම කාලයක් ද වේ. එහි දී වැඩිහිටියන් පුරෝගාමී මෙහෙවරක නිරත විය යුතු ය.
විශේෂයෙන් ගමත්, පන්සලත්, වැවත් දාගැබත්, සංකල්පය දරුවන්ගේ සිත් තුළ නොබිඳෙන ලෙස
රෝපණය කිරීමට ද මෙය වෙසෙස් අවස්ථාවක් කරගත හැකි ය. |