[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝකය නුවණින් දැකීම

ලෝකය නුවණින් දැකීම


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

කො ඉමං පඨවිං විඡෙස්සති
යමලෝකං ච ඉමං සදේවකං
කෝ ධම්මපදං සුදේසිතං
කුසලෝ පුප්ඵමිව පචෙස්සති

සැදැහැවත් පින්වත්නි, අද වප් අමාවක පෝදා ධර්ම දේශනාව වශයෙන් මා තෝරා ගත්තේ ධම්මපදයේ පුප්ඵවර්ගයට අයත් පළමු ගාථාවයි.

බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළේ සැවැත්නුවර ජේතවන විහාරයේ දී භික්ෂූන් වහන්දේ පන්සිය නමක් වෙතය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පන්සිය නමක් සමඟ චාරිකාවේ වැඩම කර සවස නැවත විහාරයට වැඩම කළහ. විඩාව සංසිඳවා ගැනීමට විවේකී ව සිටි භික්ෂූන් වහන්සේ චාරිකාවේ දී තම තමන් වැඩම කළ මග තොට ගැන කියති. ‘මේ මහ පොළොව පිහිටා ඇති ආකාරය පුදුමයි. පස් පොළොව, දිය පොළොව, වා පොළොව යැයි පොළොව කොටස් තුනකි. එය දැක ගත හැක්කේ බුදු නුවණින් පමණි’ යනුවෙන් සාකච්ඡා වුණි. අසවල් ගමට යන කල පොළොව තැනිතලාවට තිබූ නිසා ගමන පහසු වූ බව කෙනෙක් කියන විට, පොළොවේ ගල් බොරළු ආදිය හේතුවෙන් තමන් වහන්සේට ගමන අපහසු වුණු අයුරු තවත් කෙනෙක් කියති. අසවල් ගමට යන පාර මඩ වළවල් ඇති නිසා ගමන ඉතාම අපහසු වුණු බව වෙනත් කෙනෙක් කී හ. පොළොව රන්වන් පැහැයෙන්, තඹවන් පාටින් යුතුව අසවල් ප්‍රදේශයේ තිබුණු බව ඒ ඒ අය සාකච්ඡා කළහ. එක් එක් කෙනා ගමන් කළ මාර්ගය පිළිබඳ විස්තර කරන අතර බුදුරදුන් එතැනට වැඩම කළහ. මා එන්නට පෙර නුඹලා කුමන කතාවකින් යුක්තව සිටියේදැයි අසන බුදුරදුන්ට පිළිතුරු ලැබුණේ ඒ ඒ ප්‍රදේශවල පොළොවේ පිහිටීම සම්බන්ධව ය. ‘මහණෙනි, මහ පොළොව පිළිබඳ කතා කර කර සිටීමෙන් ඵලක් නැත. කතා කළ යුත්තේ අභ්‍යන්තර ලෝකය පිළිබඳවයි’ යනුවෙන් මතක් කර ඉහත ගාථාව වදාළ සේක. අභ්‍යන්තර ලෝකය යනු අප ලබා ගත්තා වූ ජීවිතය යි. එනම් බඹයක් පමණ වන මෙම ශරීරය යි. එය අජ්ඣත්තික පඨවි ධාතුව හෙවත් අභ්‍යන්තර ලෝකය යි. ආත්ම භාවය යි. කියන ලද මෙම ජීවිතය මහපොළොව, සතර අපාය, දෙවියන් සහිත මනුෂ්‍ය ලෝකය යමෙක් නුවණින් දකිනවා ද වීතරාගී ලොව්තුරා, බුදුරජාණන් වහන්සේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ දේශනා කළහ. ඒ ධර්මය යමෙක් අවබෝධ කරයි ද මල්කඩා රැස්කරන මාලා කාරයෙක් මල් කඩා රැස් කර ඔහුගේ අරමුණ ඉටුකර ගන්නා මෙන් යැයි වදාළහ.

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දහම් පදය ලෙස මෙහි දී විස්තර වෙයි.සතර සතිපට්ඨානය, සතර සම්ම්‍යක් ප්‍රධාන වීර්යය, පඤ්චින්ද්‍රිය, පංචබල , චතුරාර්ය සත්‍යය, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු ඉහත දැක් වූ දහම් පදය වන්නේ ය. එයින් ඒකායන මාර්ගය වන සතර සතිපට්ඨානය පිළිබඳ අවධානය යොමු කරමු.

විමුක්තිකාමී මගට පිළිපන් කාටත් එම පරම නිෂ්ටාවට පත්වීමට ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය යි. එය හරියාකාර ව වැඩීමෙන් ලැබෙන ප්‍රතිඵල ද රාශියකි. සති යනු සිහියයි. පට්ඨාන යනු පිහිටීම යි. සිහිය පිහිටුවීම මෙමඟින් උගන්වයි. ‘ඒකායතො අයං මගෙගා සත්තානං විසුද්ධියා’ කාමාවචර ලෝකවල උපන් සත්ත්වයාට පාරිශුද්ධවීමට, කිළිටිනොවීමට අධ්‍යාත්මිකත්වය දියුණුූ කිරීමට ප්‍රධාන වන්නේ සතිපට්ඨානය යි. “දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය’ සත්ත්වයාට එදිනෙදා ජීවිතයේ අත්විඳින්නට වන දුක්ඛ දෝමනස්සයන් ඈත්කර දමන්නට හැකිවීම ද තවත් ප්‍රතිඵලය කි. සෝකපරිද්දවානං සමතික්ඛමාය, සෝකය වැළපීම නැතිකර දැමීමට, ඤායස්ස අධිගමාය, ජීවිතාවබෝධය ඇතිකිරීමට, නිබ්බාන සච්චිකරණත්ථාය නිවන් අවබෝධයට හැකියාව ඇතිකිරීමට සතර සති පට්ඨානය හේතුවෙයි. මෙම ප්‍රතිඵලවලින් මෙලොවට අදාළ කරුණු හතරකි. ඒවා එදිනෙදා වැඩ කිරීමේ දී අත්‍යවශ්‍ය වන්නේ ය.

සාර්ථක වූත් , අර්ථ සම්පන්න වූත් ජීවිතයක් සඳහා සතර සතිපට්ඨානය පුරුදු කරගත යුතු ය.

සිහිය පිහිටුවා ගත යුතු අවස්ථා තුළින් උභයාර්ථ සංසිද්ධියට සති පට්ඨානය හේතුවෙයි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් බෙදා දක්වා ඇත. අපි සිරුර ගැන විමසන්නේ ලෙඩක් හැදුණු විට පමණි. සතිපට්ඨාන ධර්මයේ කායානුපස්සනාව සිරුර ගැන කරන විග්‍රහයකි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත රූපවලින් සැදුම්ලත් කය නිත්‍ය නොවේ. දුක් රාශිය කි. රෝගයන්ට ආඛරය කි. සිරුරේ යථාර්ථය වටහා ගැනීමට සිරුර සකස් වී ඇති රූප ධර්ම පිළිබඳ විමසා බැලිය යුතු ය. සත්ත්වයා, මව් කුස තුළ පිළිසිඳ ගත් අවස්ථාවේ සිට එහි පැවැත්ම සඳහා කර්මය, චිත්තය, සෘතුව හා ආහාර හේතුවෙයි. කය සම්බන්ධ ව සිහිය පිහිටුවා ගැනීමට භාවනා ක්‍රම 14 කි. එනම් ආනාපානසති, ඉරියාපථ, චතුසම්පජඤ්ඤ පටික්කූල මනසිකාර, ධාතු මනසිකාර යන භාවනා ක්‍රම පහට අමතරව නවසීවතික භාවනා ද ඇතුළත් ය.

ආනාපානසති භාවනාව යනු හුස්ම ඉහළට ගැනීම හා පහළට හෙළීම සිහියෙන් බැලීම යි. හතර ඉරියව් පැවැත්වීම සිහියෙන් යුතුව මෙනෙහි කිරීම ඉරියාපථ භාවනාව යි. කෑම, බීම, නෑම, දත් මැදීම ආදී ඒ ඒ මොහොතේ සිදු කරන ක්‍රියාවලිය ඥානයෙන් මෙනෙහි කිරීම චතුසම්පජඤ්ඤය යි. ශරීරයේ ඇති දෙතිස් කුනප කොටස් වෙන් වෙන් වශයෙන් ගෙන එහි ඉපදීම, නැතිවීම, ආත්ම, පුද්ගල සංඥාවෙන් තොරව මෙනෙහි කිරීම පටික්කූල මනසිකාරය යි. ධාතුමනසිකාර භාවනාව තවත් එකකි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන් පිළිබඳ ව සැබෑ තත්ත්වය මෙනෙහි කිරීම මෙම භාවනාවෙන් සිදු වෙයි. මළ සිරුරක අවස්ථා නමයක් පිළිබඳ සිහි නුවණින් යුතුව බැලීම නවසීවතික භාවනාව යි.

වේදනානුපස්සනාව යනු කයේ හා සිතේ නොයෙක් විඳීම් ස්වභාවය යි. එම වේදනාව සිහියෙන් බැලීම වේදනානුස්සති භාවනාව යි. සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් එය තෙපරිදි වෙයි. චිත්තානුපස්සනාව යනු සිත අනුව බැලීම යි. සත්වයා මෙහෙයවන ප්‍රධානියා සිත ය. සිතෙහි ඇති වී , පැවැතී, නැතිවන සිතිවිලි නුවණින් මෙනෙහි කිරීම මෙම භාවනාවෙන් සිදුවෙයි. ධම්මානුපස්සනාවෙන් සිතේ ස්වභාවය, සිතේ පවතින නීවරණ ධර්ම, ස්කන්ධ ධාතු ආයතන, බොජ්ඣංග ආදී ධර්ම පිළිබඳ සිහියෙන් බැලේ.

පුද්ගලයාගේ අභ්‍යන්තරය ධර්මයෙන් දැකීමට නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ කළ යුතු ය. එම දහම් පදය දැන, දැක ගැනීමට උත්සාහ කර අභ්‍යන්තර ලෝකය දකිමු.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා අපර භාග 12.23 ට ලබයි. 28 වන දා සඳුදා පූර්ව භාග 09.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය.

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]