නුවණැති දන ලබති නිවන
සිංගප්පූරුවේ
ප්රධාන සංඝනායක
වේරගොඩ
සාරද නා හිමි
තෙ ඣායිනො සාතතිකා
නිච්චං දළ්හපරක්කමා
ඵුසන්ති ධීරා නිබ්බාණං
යොගක්ඛේමං අනුත්තරං
දිගින් දිගට බවුන් වඩන
නිතර දැඩිව විරිය දරන
නුවණැති දන ලබති නිවන
උතුම් ම තැන – බිය නැති වන
මාගන්දිය ගේ මව්පියන් ඇය බුදුරදුන්ට පාවා දෙන්නට වෑයම් කළ අවස්ථාවෙහි බුදුරදුන් කී
වදනක් පිළිබඳව අමනාපය ඇය සිත තුළ මුල් බැස තිබුණි. සාමාවතී බුදු රදුන්ගේ ශක්තිමත්
ශ්‍රාවිකාවක් වූවා ය. එහෙයින්, බුදුරදුන්ගෙන් පළිගන්නට සිතමින් සිටි මාගන්දියගේ
වෛරය සාමාවතිය හා පිරිසට ද යොමු විය.
වරක් ඔවුන් බුදුන් දකින්නට බිත්තියේ කුඩා කවුලු ඇති කරගෙන සිටිනු දුටු මාගන්දියා
රජතුමාට බොරු කේලාම් කියා වැරැදි අවබෝධයක් දෙන්නට වෑයම් කළා ය. එහෙත් එය නිරර්ථක
වූයෙන් තවත් වෛර බැඳගත් ඕ සාමාවතී රජතුමා මරන්නට කුමන්ත්‍රණය කරතැයි ද කේලාම් කීවා
ය. වරක් උණ බම්බුවක් තුළ සර්පයකු බහා, සිදුරු වසා, මල්වල සඟවා රජතුමා සමීපයෙහි
තැබුවා ය. නාගයා පෙණය විදහමින් එළියට ආ විට රජතුමා බලවත් ලෙස කෝප වී සාමාවතී ඇතුලු
පිරිස පෙළට හිඳුවා විස පෙවූ ඊතලවලින් විදින්නට අණ කළේ ය.
එහෙත් සාමාවතී ඇතුළු පිරිස මෙත් වැඩූ හෙයින් ඊතලවලින් ඔවුන්ට හානියක් නො වී ය.
සාමාවතී ගේ අහිංසකත්වය තේරුම් ගත් රජු ඇයට බුදුරදුන් මාලිගයට වඩමවා බණ අසන්නටත්,
දන් දෙන්නටත් අවසර දුන්නේ ය. තම සියලු සැලසුම් නිෂ්ඵල වූ තැන නොවරදින අවසන් උපායක්
සිතූ මාගන්දියා තම මාමා කෙනකුට පණිවුඩ යවා සාමාවතී ඇතුළු පිරිස විසූ මාලිගය ඔවුන්
එහි සිටිය දී ගිනි ලවා මරා දමන්නට කටයුතු යෙදුවා ය. ඒ බියකරු අනතුර සිදුවෙද්දී ද
දහම් දැනුමින් පොහොසත් ව සිටි සාමාවතී ඇතුළු පිරිස භාවනාවෙහි යෙදෙමින් පිළිස්සී මිය
ගිය හ.
මෙය මාගන්දියා ගේ කුමන්ත්‍රණයක් බව රජතුමා සැක කළේ ය. එහෙත් තමා එසේ සැක කරන බව හේ
රහසක් වශයෙන් තබා ගත්තේ ය. ඒ වෙනුවට තමන් ඇය කෙරේ බෙහෙවින් ප්‍රසන්නව සිටින බවක්
පෙන්වමින් කල් ගත කළ රජතෙම වරක් තමා ඇයටත්, ඇයගේ ඤාතිවරුන්ටත් සංග්‍රහයක් කරන්නට යන
බව පවසා ඇය ගේ පවුලේ බොහෝ ඤාතීන් ගෙන්වා ගත්තේ ය. හිටි හැටියේ මුළු පිරිස ම අත්
අඩංගුවට ගත් රජතුමා මාගන්දියා හා ඔවුන් හැමදෙනා රජ ගෙදර මිදුලේ ම මරා දමන්නට
සැලස්වී ය.
මේ සිද්ධි දෙක බුදුපියාණන් වහන්සේට සැළ වූ විට උන්වහන්සේ මේ ගාථා ත්‍රිත්වය වදාළ
සේක. |