බිනර අව අටවක 2019.09.22
සිහියෙන් කළ යුතු කටයුතු
සංකීර්ණ සමාජ රටාවත් සමඟ කාර්ය බහුලත්වයට පත්ව ඇති සමාජයේ වැඩි දෙනෙක් මානසික
ආතතියෙන් පෙළෙන බවට නිරන්තරයෙන් අසන දකින දේ නිදර්ශන ගෙන එයි. කෙනෙක් සුළු දෙයටත්
තරහ උපදවා ගනිති. තව කෙනෙක් කළ කෝලාහලවල පැටලෙති. ගැටුම් නිර්මාණය කරගනිති.
පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්න දුරදිග ගෙනයති. ව්‍යාකූල මනසට හොඳ නරක මේ යැයි ගළපා
ගැන්ම අසීරු ය. නිදහස් මනසක අවශ්‍යතාවය දැඩිව දැනෙන්නේ මෙවන් පරිසරයක ය.
සැබැවින් ම වැඩ වැඩිවන්නේ කුමක් නිසා ද? දෛනික කාර්ය භාරයන් අප වෙතින් ඉටුවිය යුතු
ම ය. රැකියාව, ඉවුම් පිහුම්, දරුවන්ගේ කටයුතු, අධ්‍යාපනය ආදිය ඒ අතර වේ. අතීතයටත්
වර්තමානයටත්, අනාගතයටත් එය පොදු ය. එසේ නම් අප කාර්ය බහුල යැයි පවසන්නේ ඇයි.
අත්‍යවශ්‍ය දේ අතරට අවශ්‍ය යැයි හැඟෙන දේ ද, අනවශ්‍ය දේ ද පටලවාගෙන ඇති බැවිනි.
කරණීය මෙත්ත සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සැහැල්ලු දිවියට
අල්පකෘත්‍ය බව අත්‍යවශ්‍ය බව ය. එහෙයින් දෛනික ජීවිතයේ කාර්ය භාරයන් තෝරා බේරා ගත
යුතු තැනට දැන් කාලය එළඹ තිබේ. සමහර පාසල් දරුවන් , තරුණ තරුණියන් පමණක් නොව බොහෝ
වැඩිහිටියන්ගෙන් ද වැඩි ප්‍රමාණයක් සිය කාලය වෙන් කරන්නේ තාක්ෂණික මෙවලම් පරිහරණයට
ය. විශේෂයෙන් රූපවාහිනිය හැරුණු කොට ජංගම දුරකථන ඔස්සේ අන්තර්ජාලයේ සැරි සැරීම,
මුහුණු පොතේ සැරි සැරීම, ඕපාදූප සෙවීමට ගතවන කාලය විමසුවේ නම් දිනකට පැය තුන හතරක්
නොදැනුවත් ව ම, නිරපරාදේ නාස්තිවෙන ආකාරය හඳුනා ගැනීමට පුළුවන. එසේ අපතේ ගිය කාලය
ගුණාත්මක කාර්ය රැසකට යොමු කළ හැකිව තිබිණ.
අප මෙහි දී අවධාරණය කරන්නේ තාක්ෂණික මෙවලම්වල යහපත් භාවිතය නොවේ. අයහපත් භාවිතය
පිළිබඳ ව ය. වෙනදා දුම්රියේ , බස්රියේ නොදුටු මහා පුදුමයක් ද දැන් දකින්නට ඇත.
දුම්රිය මැදිරියක, බස් රියක මගීන්ගෙන් සියයට අසූවකටත් එහා ගිය පිරිසකට තමන් සමීපයේ
සිටින්නේ කාන්තාවක ද, පිරිමියෙකු ද යන බවට හැඟීමක්වත් නැත. අවට සිදුවන්නේ කුමක් ද
යන්න ගැන කිසිදු අවබෝධයක් නැත. සොරුන්ට, මංකොල්ලකරුවන්ට එය ම හොඳ අවස්ථාවක් විය
හැකි ය. වෙනදා පොදු ප්‍රවාහනයේ ගෙවෙන කාලය බොහෝ දෙනෙක් ප්‍රයෝජනයට ගත්තේ පොතක් පතක්
කියවීමට ය. ඒ පොතපත ඔවුන්ගේ කල්‍යාණ මිතුරන් බවට පත්විය. මහ මග ගෙවෙන කාලයේ ද
කියවීම තුළින් මානසික විවේකයක් ලැබුණි. ජීවිතයට පාඩම් ලැබුණි. එහෙත් ඒ කියවීම අද
තාක්ෂණික මෙවලම් ඔස්සේ බොහෝවිට හරසුන් කියවීම් දක්වා පරිවර්තනය වී හිදැස් ඇති මනස්
ඇති සමාජයක් නිර්මාණය වන තැනට කරුණු යෙදී ඇත.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සැම විටෙක ම තමන් කරන කාර්ය පිළිබඳව සිහියෙන්
සිටීමෙන් එය සාර්ථක කරගත හැකි බවත් , ගැටලුවලින් බොහෝ දුරට වැළකිය හැකි බවත් ය.
එහෙත් අද බොහෝ දෙනෙකුට ඒ සතිය නැත.
බෞද්ධ සංස්කෘතිය තුළ මව්පිය දූ දරුවන්ගෙන් සැදුම් ලත් පවුල ඉතා සාමකාමී ය.
අන්‍යොන්‍ය ආදරය, ගෞරවය, අවධානය, ඇප උපකාරය ඒ තුළ නිරන්තරව වර්ධනය වුණි. නිවෙසේ දී
මෙන් ම සමාජ ජීවිතයේ දී ත් ඇතිවන ප්‍රශ්න ගැටලු විසඳා ගන්නට, අවවාද උපදෙස් ලබන්නට
සවස් යාමයේ යම් කාල වේලාවක් වෙන් වුණි. අද වන විට බොහෝ ලෙස වෙනස් වී ඇති මේ පරිසරය
තුළ මව්පියන්, දරුවන්, වයෝවෘද්ධ වැඩිහිටියන් හුදකලාවේ ය. ඔවුනොවුන් ජීවත් වන්නේ
සිතින් නිර්මාණය කරගත් එක එක ලෝකයන්හි ය. ඒ තත්ත්වය ඉතා කනගාටුදායක ය. අවසානය
මානසික ආතතිය ය. පීඩාකාරී බව ය. ඒ තුළ ජීවිතය පිළිබඳ කළ කිරීම, බලාපොරොත්තු සුන් වූ
බව ආදී අවගුණ වර්ධනය වීමට පුළුවන. අප වහාම වෙනස් විය යුතුව තිබේ. මව්පියන්,
දරුවන්ගෙන් සැදුම් ලත් පවුල ශක්තිමත් ව පවත්වා ගත යුතු ව තිබේ. එය යහපත් අනාගතයකට
මූලාරම්භයයි. |