නිවන් සුවය
හැඳින ගනිමු
කොටපොළ ඓතිහාසික ගැටබරු
රාජමහා විහාරාධිකාරී හා
භාරකාර ආචාර්ය
කිරින්දේ ආනන්ද හිමි
උපතින් අන්ධ වූවෙකුට සඳමඬල දැකිය නොහැකි ය. එහෙත් ඔහුට සඳමඩල නැතැයි, කිව නොහැකි ය.
එසේම ප්‍රතිපත්ති විරහිත අන්ධ පෘථග්ජනයනට නිර්වාණය දැකිය නොහැකි වුව ද නිර්වාණය
නැතැයි, කිව නොහැකි ය.
බිනර පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි.
බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භවීම ඊට ප්‍රමුඛ හේතුවයි. බිනර පොහෝදා මහා
ප්‍රජාපතී ගෝතමී දේවිය ගේ පැවිදිවීම සිදු වූ අතර, එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය.
අද වැනි පොහොය දිනෙක ඉහත කී ශාසනික වැදගත්කම සිහිපත් කිරීම ඉතා වැදගත් වෙයි. ඒ සමඟම
බුදු දහමේ මූලික ඉගැන්වීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැන්ම ද බුද්ධිමත් පියවරක් වනු ඇත.
බුදු දහමේ අවසාන අපේක්ෂාව නිර්වාණාවබෝධය යි. නිවන යන ශබ්ද මාත්‍රය පවා සැදැහැති
බෞද්ධයන්ගේ කන් පිනවන, සිත සනසන මිහිරි හඬෙකි. කිසියම් කුසලයක් සිදුකොට සැදැහැතියන්
ප්‍රාර්ථනා කරනුයේ නිවන් සුවයයි. ඔවුන්ගේ එකම පරමාර්ථයත් එම උතුම් නිවනයි.එබැවින්
අද දින නිවන පිළිබඳ හැකිතාක් දුරකට මෙනෙහි කිරීම අර්ථවත් වෑයමක් යැයි, සිතේ.
තෘෂ්ණාව ‘වාන’ යනුවෙන් හැඳින් වේ. ‘නි’ යනු ‘නික්මීම’ යන අර්ථයයි. මෙම වාන සංඛ්‍යාත
තෘෂ්ණාවෙන් නික්මීම ‘නිබ්බාන’ යනුවෙන් අර්ථ දැක්විය හැකි ය. මෙය නිත්‍ය දෙයක් වන
හෙයින් කිසි කලෙකත් අභාවයට පත් නොවේ. එසේම නිවන සඳහා බොහෝ සත්ත්වයින් පැමිණීමෙන්
එහි පූර්ණත්වයක් හෝ, නොපැමිණීමෙන් ඌණ තත්ත්වයක් හෝ ඇති නොවේ. නිවන හුදෙක් හට
ගැන්මක් හෝ සටහනක් නොමැති ලෝකෝත්තර ධර්මතාවයෙකි.
කයින් හෝ මනසින් විඳිය හැකි සුවයක් නොමැති හෙයින් නිවන හුදු වේදයිත සුඛ ගණයට අයත්
නොවේ. වේදයිත සුඛ යනු මිනිස් බවට හෝ දෙවි බවට පත්ව, පස්කම් සැපතින් ලබන සුවයයි. එම
වේදයිත සුඛ විදුලියක් සේ මොහොතින් මොහොත වෙනස් වේ. එබැවින් එය අනිත්‍යය. ඒ නිසා
දුකක් ම උපදවයි.
වරෙක උදායි තෙරණුවන් විසින් සැරියුත් තෙරණුවන්ගෙන් විමසන ලද ප්‍රශ්නයක් වූයේ
‘විඳගන්නා සුවයක් නැත්නම් නිර්වාණයෙහි කවර සැපතක් පවතී ද?’ යන්නයි. ඊට සැරියුත්
තෙරණුවන් ගේ පිළිතුර වූයේ ‘යම් හෙයකින් මෙම නිවනෙහි විඳීමක් නැත්තේ ද? එහි සුවය එම
ම ය’ යන්නයි.
නිර්වාණය සියලුම සංස්කාරයන් ගේ සන්සිඳීමෙන් ලැබිය යුතු වූ අවේදයිත සුවයකි. වේදයිත
අවේදයිත සුඛ දෙකෙහි වෙනස කුෂ්ට රෝගී උපමාවක් මගින් පැහැදිලි කොට තිබේ. කුෂ්ට රෝගියා
කැසීමෙන් හා තැවීමෙන් මොහොතක සුවයක් ලබයි. ඒ සුවයට දැවීම් ආදිය ඇතිවීමෙන් පසුව දුකට
පත් වේ. මෙවිට ඔහු රෝගය සුව වීමට අදාළ බෙහෙතක් භාවිත කිරීමෙන් එය සුවකර ගතහොත්
එයින් ම ශාන්ත සුවයක් විඳියි. මෙම කුෂ්ට රෝගියා මුලින් විඳි සුවය වේදයිත සුවයයි.
පසුව ලැබූ සුවය සන්සිඳීමේ සුවයයි. සත්ත්වයා පස්කම් සුව විඳ තාවකාලික සුවයක් ලබයි.
එහෙත් නිවන් සැප විඳ එවැනි තාවකාලික සුවයක් නොලබයි. එය හුදෙක් දුක සන්සිඳීමේ සුවයක්
වන හෙයිනි.
යථා තත්ත්වය එසේ වුව ද, සාමාන්‍ය ලෝකයාට වැටහෙන්නේ වේදයිත සුවය ම උසස් බවයි. ඒ
අනෙකක් නිසා නොව එය ඔහුට අනාදිමත් කාලයෙක සිට පුරුදුව පුහුණුව ආ හෙයිනි. අවේදයිත
සුවය විඳි බුදු, පසේ බුදු, මහරහත් යන ආර්ය උතුමන්ට පමණක් වේදයිත සුවයේ අසාරත්වය
පෙනෙයි.
නිර්වාණය පිහිටි තැනක් නැත. ලෝකයෙහි ගිනි පවතී. එහෙත් රැස් වී පවත්නා තැනක්
නැත්තාක් මෙනි. ගින්න දැල්වීමට අවශ්‍ය උපකරණ ඇති කල්හි ගිනි උපදවාගත හැකි ය. එසේම
සීල, සමාධි, පඤ්ඤා ආදී ධර්මයන් ඇති කල්හි විද්‍යමාන වූ නිර්වාණය ප්‍රත්‍යක්ෂ වශයෙන්
දැකිය හැකි ය. එබැවින් තම තමන්ගේ නිර්වාණය පවත්නේ අන්‍ය දිශා දේශයක නොව තම තමා
කෙරෙහි ම ය.
ඉහත දැක් වූ ආකාරයට නිර්වාණය පිහිටි ස්ථානයක් නොමැති හෙයින් එය ශූන්‍ය ධර්මයකැයි,
වටහා නොගත යුතු ය. ඇස් ඇත්තවුන් විසින් දකිනු ලබන, සඳ මඬල සේ මාර්ගඵලලාභී ආර්යයන්
විසින් එකී ඤාණයෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ යුතු ය. උපතින් අන්ධ වූවෙකුට සඳමඬල
දැකිය නොහැකි ය. එහෙත් ඔහුට සඳමඩල නැතැයි, කිව නොහැකි ය. එසේම ප්‍රතිපත්ති විරහිත
අන්ධ පෘථග්ජනයනට නිර්වාණය දැකිය නොහැකි වුව ද නිර්වාණය නැතැයි, කිව නොහැකි ය.
නිර්වාණය ස්වභාවයෙන් එකක් ම වුව ද එය අවබෝධ කරගන්නා පිළිවෙත අනුව සෝපාදිසේස හා
අනුපාදිසේස යැයි, දෙවැදෑරුම් ස්වභාවයකින් ද යුක්ත වෙයි. පංච උපාදානස්කන්ධය පමණක්
තිබිය දී කෙලෙසුන් නසා නිර්වාණාවබෝධය ලැබීම සෝපාදිසේස නිබ්බානයයි. එනම් මාර්ගඵල ලබා
ජීවත්වීම ලෙස සරලව කිව හැකි ය. ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවීම පිළිබඳ නිර්වාණය
අනුපාදිසේස නිබ්බානය යි. එනම් නිර්වාණාවබෝධයත්, පරිනිර්වාණයත් එකවිට සිදුවීමයි.
මෙවන් කෙටි හැඳින්වීමකින් නිර්වාණය පිළිබඳ මද විස්තරයකුදු, ඉදිරිපත් කළ නොහැකි ය.
එහෙත් මෙම කරුණු ස්වල්පය හෝ මනා විචාරශීලී මනසකින් විමසා බලන්නෙකුට නිර්වාණය යනු
කුමක් ද? යන්න පිළිබඳ යම් වැටහීමක් ලබාගැන්ම අපහසු නොවනු ඇත. |