බිනර පුර පසළොස්වක 2019.09.13
මෙහෙණ සසුන් කෙත
සරු කළෝය
බුද්ධ කාලීන භාරතීය සමාජය තුළ බමුණන් විසින් කාන්තාවන්ට අත්කර දුන් ඉරණම අතිශය
ඛේදනීය ය. පුරුෂයාගේ ආධිපත්‍යය යටතේ දිව් ගෙවූ ඇය බැල මෙහෙවරකම් කරමින් ගෙවූ ජීවිතය
ඉතා කටුක ය. මවක්, දියණියක්, සොහොයුරියක්, මිතුරියක් ලෙස ඇයට කිසිදු පිළිගැනීමක් නො
වුණි. එහෙත්, බුදුරජාණන් වහන්සේ බමුණු මතවල නිස්සාරත්වය පැහැදිලි කරමින් කාන්තාවට ද
සමාජයේ ගෞරවය, පිළිගැනීම, නිසිතැන ලබා දුන්හ. ඒ අනුව යමින් සම්බුද්ධ ශාසනයේ මෙහෙණ
සස්න පිහිටු වූයේ අදවන් පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයක ය.
බුද්ධ මාතාවෝ, නො බිඳෙන විශ්වාසය, වීර්යය හා කැපවීම අධිෂ්ඨානය තුළින් ඉතා අපහසුවෙන්
ලබාගත් උතුම් පැවිදි බව එදා කාන්තා පරපුරට ම ලබා දුන් ආදර්ශයකි. ඒ ආදර්ශවත් මග
යමින් අපමණ කාන්තා රත්නයෝ මෙහෙණ සසුන් කෙත සරු කළෝ ය. අපමණ කාන්තා රත්නයෝ ගිහි
ජීවිත ආලෝකවත් කර ගත්තෝ ය. විශේෂයෙන් බෞද්ධ කාන්තාවන් අද දිනයේ ඒ සුවිශේෂත්වය
නිසැකයෙන් ම සිහිපත් කළ යුතුව ඇත. ඒ ස්මරණය තුළ වැරැදි නිවැරැදි කර ගන්නට අවකාශය
සැලසී, පෙළඹවීම් ඇති වී ජීවිතය යහපත් මාවතකට ප්‍රවිශ්ට කර ගැනීමට හැකියාව තව තවත්
උදාවනු ඇත.
කාන්තාවක් සමාජයේ විවිධ චරිත නියෝජනය කරන්නී ය. විටෙක ඇය කුඩා දැරියකි. තවත් විටෙක
තරුණියකි. ස්වාමි දියණියකි. මවකි. මිත්තණියකි. මේ කවර චරිතයක දී වුවද වටිනාකමක්
ලැබෙන්නේ ඇය සිල්වත් වූ තරමට ය. ගුණවන්ත වූ තරමට ය. කිසිදු ආයාසයකින් තොරව, බාහිර
ඔප ගැන්වීමකින්, ආභරණ පැළඳවීමකින් තොරව ඇය බබළවන එකම ආභරණය සිල්වත්කම යි. ඒ හා
බැඳුණු ගුණවත්කම යි.
මේ ලෝකය විවිධ ය. විෂම ය. විනාශකාරී අදහස්, ක්‍රියාකාරකම් ඇත්තෝ ද වෙති. ඒ ලෝක
ස්වභාවය යි. එවැනි ලෝකය සදාචාරාත්මක මගට යොමු කොට සිල්වන්ත, ගුණවන්ත සමාජයක් කළ
හැකි වෙසෙස් චරිතයක් වන්නී කාන්තාව ය. බුදු හිමි දෙසූ මග යන බොදු කුල කත බුදු දහමට
වඩා උතුම් දහමක් නැති බව නිබය ව පිළිගනී. ඇය නිරන්තරයෙන් දහමට ගරු කරන්නී ය. පංච
දුෂ්චරිතයෙන් වැළකෙන්නී ය. කෝපය, ක්‍රෝධය දුරලන ඇය ගේ ජීවන ඇවතුම් පැවතුම් නිවැරැදි
ය. කිසිවිටෙක, කිසිවකුට ගැටලුවක් නො වන්නීය. එවන් කාන්තා රත්නයන් ජීවත් වන පවුල
දැහැමි ය. සාමකාමී ය. සමුදිත ය. ගම, රට ද, මුළු මහත් සමාජය ද එවැනි ම ය. ඇයට
චරිතාදර්ශය දෙස ආපසු හැරී බලන කල තමා ගැන ම අභිමානයක් ඇතිවනු ඇත.
අද වන් උතුම් පොහෝ දිනෙක බොදු කුල කතුන්ට තමන් ද එවන් අභිමානයක් ලබා ගත් කාන්තා
රත්නයක් ද යන බව සිතා බලන්නට පුළුවන. ඒ ගෙවූ දිවි මග හා ගෙවන දිවිමග දෙස විමසුම්
ඇසින් බැලීමෙනි. පවුලේ ළාබාල දියණියක ලෙස ගෞරවය ආරක්ෂා කර ගනිමින්, සංවරශීලීව,
කාගේත්වත් දුශ්චරිත කතා නො අසා ජීවත්වනවා ද? සොහොයුරියක් ලෙස අනෙකුත් සොයුරු
සොයුරියන්ට ආදර්ශවත් වන්නී ද? ඇප උපකාර කරන්නී ද? බිරිඳක් ලෙස නම් තමන්ගේ ගෞරවය
රැකගෙන ජීවත් වනවා ද? යුතුකම් ඉටු කරනවාද? මවක් ලෙස සිල්වන්ත, ගුණවන්ත දරුවන්
සමාජයට දායාද කරනවා ද? මිත්තණියක ලෙස දරු මුණුබුරු මිණිබිරියන් වෙනුවෙන් කළ යුතු
යුතුකම්, වගකීම් පැහැර හරිනවාද? සැබැවින්ම මෑත ඉතිහාසය වන තුරුත් දරු මුනුබුරු,
මිනිබිරියන්ට නිසි මඟ පෙන්වූයේ, ඔවුන්ගේ මනසෙහි සාහිත්‍යම ය, සංකල්ප පුබුදු කළේ
මිත්තණිය යි. සම්බුදු දහමින් පෝෂිත වූ කතා සාගරයක රසයෙන් ඇය සිය දරු මුනුබුරන්ගේ
ලෝකය පුබුදු කළා ය. ඔවුන් ගුරුහරුකම් ඉගෙන ගත්තේ, හරි වැරැද්ද හඳුනා ගත්තේ එ
තුළිනි.
විනය ගරුක, සිල්වත් දරුවෙක් බිහි වූවා නම් ඒ පිටුපස සිටියේ අම්මා ය. සැබැවින් විවිධ
චරිත තුළ කාන්තාව සමාජයම යහපත් මාවතකට යොමු කළා ය. ඇය ඒ චරිතවත් බව ගොඩ නඟා ගත්තී
සම්බුදු දහම ඇසුරෙනි. සම්බුද්ධ ශාසනයේ උතුම් කාන්තා චරිතාදර්ශයන්ගෙනි. මේ, ඒ
චරිතාදර්ශ නැවත කියවීමට කාලය බව හැඟෙන්නේ ය. |