හෑල්ලු කර
සැහැල්ලු වන්න
බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
අභිධර්මය පිළිබඳ කථිකාචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
බලංගොඩ රාධ හිමි
“උපන් මිනිසා විසින් සදාකාලික සැනසීමක් බලාපොරොත්තු වේ නම්, මොහොතින් මොහොත වෙනස්
වන ලෝ දහමට මුහුණ දීමේ හැකියාව දියුණු කිරීම හැර කළ මනා අන් කිසිවක් නැත.”
නොමැරෙනවුන් ලෙස ජීවත් වන මිනිසුන්ගේ ද, මැරුණ පසු යළි නූපදිති’යි සිතන්නන්ගේ ද
ජීවිත යාත්‍රාව
සුලි කුණාටුවකට හසු වූ රුවල් නැවක් සේ නොමඟට වැටුණකි.
එහෙත් ලබන ලද ජීවිතාවබෝධය ඇති, ඊට ම සරිලන දිවි පැවැත්මක් ඇති, සංයමීන්ගේ දිවි දියඹ
සද්ධර්මය නමැති සිහිල් මද පවනින් සුලලිත වූවකි. එවන් උදවියට ප්‍රසව භූමියක් බඳු වූ
බුදු සසුන පිහිටවමින්, කම්පිත ජීවිත සදහටම නිසල කළ, අකම්පිත ජීවිත ලක්ෂ ගණනින්
බිහිකළ, මිනිසෙක් නොවී, සෝභමාන මිනිස් රූ දැරූ, දෙවියෙක් නොවී අතිදේව වූ,
බ්‍රහ්මයෙක් නොවී, අති බ්‍රහ්ම වූ, අසිරිමත් සිරිමතාණෝ අප මහා ගෞතම දම් රජාණෝ ය.
උපන් මිනිසා විසින් සදාකාලික සැනසීමක් බලාපොරොත්තු වේ නම්, මොහොතින් මොහොත වෙනස් වන
ලෝ දහමට මුහුණ දීමේ හැකියාව දියුණු කිරීම හැර කළ මනා අන් කිසිවක් නැත.
ලැබීම් - නොලැබීම් ආදියෙන් සිනහ - කඳුළු උපදින්නේ, වෙනස් වීමේ දී නොවෙනස් වන
අකම්පිත සිතක් නැති නිසාම ය. එසේ නම් අප විසින් කළ යුත්ත වන්නේ සිතක් අවුස්සා දමන
විචල්‍ය සාධක හඳුනා ගෙන ඒවා දුරු කිරීමට වෑයම් කිරීමත් සන්සුන් මනසක් තනන සිතිවිලි
ධාරාවන් උපදවීමත් පමණි. ජීවිතය තුළ යමක් අගයන - වටිනාකම් ලබාදෙන තරමට එයම සැප -
දුක් උපදවන ප්‍රධාන හේතුව බවට පත්වේ. කෙටි කලකට සහනයත්, දීර්ඝ කාලීනව බලවත් අසහනයත්
උපදවාලන සජීවී හා අජීවී වස්තූන්ට ඇති බලවත් ඇල්ම හා බැඳීම සිතක හටගන්නා දුක්ඛ ජනන
මූලයකි. බුදුරජාණන් වහන්සේ විසින් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ලෙසින් දේශනා කොට වදාරනු
ලබන්නේ ද එයයි. රූපයට ඇති ආසාව, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට ඇති කැමැත්ත, ගිජු බව
ආදී ආකාර ගණනාවකින් ක්‍රියාත්මක වන එම සිතිවිල්ල උපදින විට සිතේ ඇති සැහැල්ලුව
නැතිකර දමා දුක්බරිත රෝගී සිතක් ඇති කරයි. එවිට හැඟීම් පාලනයක් නැති, කාමුකත්වයෙන්
යුතු ලෝභියා තම කාම පිපාසය සන්සිඳුවා ගැනීම පිණිස පව්කම් නමැති ලුණු දිය පානය කරයි.
එමගින් වඩාත් අසාධ්‍ය කාම උමතුවට පත්වේ. එවිට ඔහු මිනිස් රූපයෙන් පෙනී සිටින
සිව්පාවෙකු බඳුව තමනුත් නැසී, ඇසුරු කරන්නන් ද පරිහානිය කරා පමුණුවයි.
බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ පරිදි, බලවත් ලෝභයක් ඇති වූ විට, ඉන් සිත මුදවා
ගැනීමට නම් එය දුකට - පීඩාවට හේතුවන අයුරු මෙනෙහි කළ යුතු ය. නිර්ලෝභී භාවය තුළින්
ඇතිවන මානසික සැහැල්ලුව අත් විඳීමට පුරුදුවීම තුළින් ප්‍රභාස්වර ඇතුළාන්තයක්
ඇතිවීමට තුඩුදෙන ආකාරය තමාටම දැක ගත හැකි ය. සැබැවින් ම ලෝභය යනු අනේක විධ මානසික
පීඩාවන්ට විවිධාකාරයෙන් හේතු වන්නකි. එය අගයන තරමටම ලෝභය වැඩිදියුණු වන අතර, ලෝභය
නිසා ඇතිවන පීඩාවන්, කටුක වේදනාවන් ඉදිරියේ හැඬීම, වැලපීම, පළිගැනීම, සියදිවි නසා
ගැනීම, වියරු වැටීම වැනි මානසික අසහන තත්වයන් සිය ගණනක් ඇති වේ. ලෝභය ගැන හරිහැටි
අවබෝධයක් නැති පුද්ගලයාට සසර ජය ගැනීම තබා සුගතියකටවත් යා නොහැකි ය. එනිසාම
තිලෝගුරු බුදුරදුන් අසරණ වූ අප වැන්නවුන්ගේ ජීවිත ඤාණෝදයෙන් එකලු කරනු වස්
ඤාණෝපායන, කර්ණ රසායන, මිහිරි බණ වදාරමින් ඇලීම්, බැඳීම්, වෙළීම් පැටලීම් තුරන් කර
දමා ජීවත් වන සැටි උගන්වා වදාරණ ලදී.
ණයක් ලබා ගත් පුරුෂයෙකුට ඒ ණය ගෙවන තුරාවට ඉස්පාසුවක් නැත. සතුටින් සිටීමට සිතන සෑම
මොහොතක ම ඒ ගැන සිහිපත් වේ. එය සිතට මහත් බරක් වන අතර, ණය හිමියාගෙන් ද නින්දා
අපහාස විඳීමට සිදු වේ. ණයගත් උදවිය වංචාකාරයන් වී හිරේ විලංගුවේ වැටෙන අවස්ථාවන්
පවා දැකගත හැකි ය. ආසාව, බැඳීම හෙවත් ලෝභය ණය ගැනීමක් සදිසි වේ යැයි දේශනා කරන
බුදුරජාණන් වහන්සේ ණය ගැනීම පිළිකුල් කොට හෑල්ලුවට ලක් කරන්නාක් මෙන් සිතේ ඇතිවන
කාමයන් පිළිබඳ ඇති කැමැත්ත ද ලාමක කොට, පිලිකුල් කොට, හෑල්ලු කොට දුරුකළ යුතු බව
දේශනා කරන ලදී. සැහැල්ලු සිතක් ඇති කර ගැනීමේ පළමු පියවර මෙය වන අතර, කාමච්ඡන්දය
නොවටිනා දෙයක් ලෙස හෑල්ලුවට පත්කර, එබඳු සිතිවිලිවලින් සිත ආරක්ෂා කර ගැනීම ම කුසල
භාවනාවකි.
බලවත් රෝගයක් ඇති වූ පුරුෂයාට මහත් කායික වූ වේදනාවක් විඳීමට සිදුවේ. ආහාර අනුභවය
නුරුස්නේ වේ. කාය බලය ද නැතිවී යන අතර එනිසාම සිතේ සවිය ද අඩු වේ. රෝගය ගැන සිතන
වාරයක් පාසාම සිතටද මහත් මාරාන්තික බියක් දැනේ. ඖෂධ ප්‍රතිකාර මගින් හා සප්පාය
භෝජනාදිය නිසා එම රෝගය සුව වූ පසු ගතට දැනෙන සැහැල්ලුව වගේ ම, මනසටත් අපමණ
සැහැල්ලුවක් දැනේ. හිසේ තබාගෙන සිටි මහත් බරක් බිම තැබුවාක් මෙන් වැටහේ. මෙම උපමාව
වදාරණ බුදුරජුන් සිතේ ඇතිවන ද්වේශය, තරහ, වෛරය යන මේ ස්වභාවය බලවත් රෝගයකට උපමා කරන
සේක. රෝගියා මෙන් ම, අන් අය ද රෝගය පිළිකුල් කොට, ලාමක කොට සිතන අතර ජීවත් වන්නෙකුට
වැළදෙන කිසිදු රෝගී තත්වයක් වර්ණනා නොකරයි. හෑල්ලු කොට සලකයි. රෝගය හෑල්ලු කරන්නාක්
මෙන් සිතේ හටගන්නා ද්වේශය, තරහව, වෛරය ද ලාමක කොට සිතා ඉන් සිත මුදවා ගැනීමට යත්න
දැරීම මගින් ද්වේෂ බරින් සිත නිදහස් වේ. නාම - රූප ධර්ම සමූහයක් සත්ත්ව - පුද්ගල
ප්‍රඥප්තීන්ගෙන් ආදානය කිරීම නිසා ඇලීම් ගැටීම් ඇතිවන අයුරු ධර්මානුකූලව
සිහිකරන්නාට වෛර කළ යුත්තෙකු නොපෙනේ. ඔහු ද්වේශය - වෛරය - පළිගැනීම හෑල්ලු කොට සලකන
අතර, කිසි විටකත් රෝගයක් වර්ණනා නොකරන්නා සේ ම, ද්වේෂ සහගත සිතිවිලි අගය නොකරයි.
සියල්ලන් වෙත මෙත් සිතම පතුරුවා සැහැල්ලු ප්‍රීතිමත් මානසික මට්ටමකින් කල් ගෙවයි.
අඹු දරුවන් සමඟ ද, ඤාතීන් හා මිතුරන් සමඟ ද නිදහසේ ගමන් බිමන්, යමින්, රිසි සේ කල්
ගෙවූ පුද්ගලයෙකුට කුමක් හෝ වරදක් නිසාවෙන් දඟ ගෙයි වැටීමට සිදු වුවහොත් ඇතිවන්නේ
ඉහිලිය නොහැකි මානසික පීඩාවකි. හිරේ ගිය කිසිවෙක් නැවත එහි යෑමට නොසිතයි. බන්ධනාගාර
ගත වූවෙකුට ප්‍රිය මනාප වචන ඇසීමක් නැත. මිහිරි භෝජන ලැබෙන්නේ ද නැත. සුව යහන්වල
නිදන්නට නොලැබේ. විනෝදය පිණිස, ක්‍රීඩාව පිණිස කිසි ඉස්පාසුවක් නොමැති අතර බරපතල
වැඩ කිරීමට සිදුවීමෙන් කබලෙන් ලිපට වැටුණාක් බඳු දුකකට පත්වේ. දඬුවම් අවසන් වූ පසු
දඟගෙයින් නිදහස් වන පුද්ගලයාට ඇතිවන කායික මානසික සැහැල්ලුව පමණ නැත. ඔහු ඇතුලු
කිසිවෙකුත් හිරේ ලැගීම අගය නොකරයි. හෑල්ලු කොට තකමින් සිරගත වන වැරැදි දිවි
හිමියෙන් නොකරයි. මෙය උපමාවට ගන්නා බුදුරජාණන් වහන්සේ සිතේ සහ චෛතසිකයන්ගේ පසුබස්නා
ස්වභාවය බන්ධනාගාර ගතවීමක් මෙනැයි වදාරයි. කලට වේලාවට කළමනා දෙය සිදුනොකරන,
කම්මැලියාගේ ජීවිතයේ ලැබෙන ප්‍රගතියක් නැත. ථීන-මිද්ධ නම් වූ මෙම ස්වභාවය නිසා
ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද සියලු අභිමතාර්ථයන් ව්‍යර්ථ වන අතර, දිනෙන් දින පිරිහී
ගිය මනසක් ඇතිව පශ්චත්තාපය බහුල වී සමාජයෙන් ම කොන්වී යන අයෙකු බවට පත් වේ.
සිපිරිගෙයි වැටුණ පුද්ගලයා යම් සේ පීඩාවක් විදී නම් උට්ඨාන වීර්යය නැතිව සිතේ
හැකිලෙන ස්වභාවයට යට වූ තැනැත්තාට ඇති වන්නේ ද සිරකරුවෙකුට මෙන් කිසිවක් කරකියා ගත
නොහැකි තත්ත්වයකි. සිරගෙයි වැටීම හෑල්ලු කරන්නාක් බඳුව ථීන-මිද්ධය ද හෑල්ලු කර
ඉන් සිත මුදවා ගත් පුද්ගලයාට සෑම අංශයකින් ම දියුණුවක් මිස පිරිහීමක් ඇති නොවේ. එයම
ඔහුට සැහැල්ලු මනෝභාවයක් ඇති කර ගැනීමට හේතු වේ.
යම් පුද්ගලයෙකු ආත්මාධීන නොවූ, පරාධීන වූ දාසයෙකු වේ නම්, ඔහුට රිසි සේ නිදහසේ
කටයුතු කළ නොහැක. තම හාම්පුතුගේ ඕනෑ එපාකම් පිරිමසමින්, දරදිය අදිමින්, හැලි වළං
සෝදමින් අන්ත දුක් විඳීමට සිදු වේ. ඇතැම්විට වැටුපක් නොලබන දාසයා කුස පිරෙන ආහාරයක්
පවා නොලබා ම මියෙන තුරා දුක්ඛිත කයකින් ද, පීඩිත මනසකින් ද කල් ගෙවයි. යම් විටෙක
ඔහු එම දාස භාවයෙන් අතමිදුණේ නම්, ලැබෙන නිදහස, සැහැල්ලුව, සැනසීම මෙතෙකැයි කිව
නොහැක. මෙම දාස උපමාව දේශනා කරන බුදුරජාණන් වහන්සේ සිතේ ඇතිවන නොසන්සුන් ගතිය හා
පසුතැවිලි වන ස්වභාවය දාසකමක් මෙනැයි වදාරයි. ගල් පහරක් ලත් අළු ගොඩක් මෙන් මොහොතක්
පාසා ඇවිස්සෙන සිතක් ඇති පුද්ගලයාට නිසැක ලෙස ම දිනෙක තමා කළ දුසිරිත් ගැන හා නොකළ
සුසිරිත් ගැන පසුතැවිලි වන්නට සිදු වේ. දාසකමට හසුවූවාක් බඳුව විසිරුණු සිතකින්
උපදින එම පසුතැවීම නිසා ඔහුට රිසි සේ නිදන්ට, ආහාර බුදින්නට, සතුට ලබන්නට අවකාශයක්
නොලැබේ. උද්ධච්ච කුක්කුච්ච නම් වූ මෙම චෛතසික ස්වභාවය දාසකමක් මෙන් හෑල්ලු කර,
බැහැර කරන්නට නම් ශ්‍රද්ධාදී ගුණයන්හි පිහිටා දාන සීලා දී කුසල් දහම් පිරීමෙහි
අප්‍රමාදී විය යුතු ය. ආනන්තරීය පාප කර්මයන් හැර අන් කෙබඳු පව් කමක් සිදුවී ඇත්තේ
නමුදු අප්‍රමාදීව පින් පිරීමෙන් සුගතියට මෙන් ම, ධර්මාවබෝධයට ද මග හසර පාදා ගත හැකි
ය. එවැන්නෙකුට පෙර තිබූ මානසික පීඩාවන් අභිනව කුසල ධර්මයන් නිසා යටපත් කර ගත හැකි
වන අතර කුසලයෙන් පිරුණු සැහැල්ලු සිත් පරම්පරාවක් ඇති වේ.
මෙහි ඉතිරි කොටස සැප්තැම්බර් 22 වනදා බිනර අව අටවක පෝදා පත්‍රයේ පළෙවේ |