[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 37:  මහ විජයබාහු රජුගේ දළදා මැදුර අටදාගේ

මහ විජයබාහු රජුගේ දළදා මැදුර අටදාගේ

හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

මහ විජයබාහු රජුගේ දළදා ගෙය හෙවත් අටදාගෙය ධාතු මන්දිරයක් බව හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ. එයට හේතුව විජයබාහු රජුගේ මරණයත් සමඟ ම පැවැති කලබලකාරී යුගයන් හි දී දළදා වහන්සේ ආරක්ෂා කිරීම සඳහා යොදවන ලද ද්‍රවිඩ වේලයික්කාර භට හමුදාව විසින් කරවන ලද නුදුරෙහි ඇති ද්‍රවිඩ ශිලා ලිපිය ඒ බව හඳුන්වා දෙන බැවිනි.

මහ විජයබාහු රජතුමාගේ ආඥාවක් මත එතුමාගේ ඇමැතිවරයෙකු වූ දේව සෙනෙවිරත්තාර් විසින් පොළොන්නරුවේ දන්තධාතුන් වහන්සේ සඳහා වූ දන්ත ධාතු මන්දිරය ඉදිකළ අතර, ප්‍රථම බුද්ධාභිශේක මංගල්‍යය එහි පැවැත් වූ බව වේලයික්කාර සෙල්ලිපියේ සඳහන් වෙයි.

ඉන් පසු වර්ෂයක් පාසා නේත්‍ර මංගල්‍යය මෙහි පැවැත්වුණි. මෙම ශිලා ලේඛනයෙහි දෙවන කොටසේ එකල රටේ පැවැති ව්‍යාකූල ස්වරූපය සඳහන් වේ. මොග්ගල්ලාන මහ තෙරුන් වහන්සේ විසින් ඇමැතිවරුන් කීප දෙනෙකුගේ සහය ලබාගෙන මෙම දළදා මාලිගයේ භාරකාරත්වය වේලයික්කාර සාම හමුදාවට භාර දෙන ලදී. එම ගිවිසුම කඩ කිරීමට උත්සාහ කරන කුමන ක්‍රියාවක් වුව ද, කිසිවෙකු විසින් කරන්නේ ද, එය ඔවුන්ට එරෙහිව මහාතන්ත්‍රය මෙන්ම බුද්ධ ශාසනයට ද එරෙහිව කරන ක්‍රියාවක් ලෙසින් සලකන බව වේලයික්කාර සෙල්ලිපියේ සඳහන් වෙයි.

(මහාවිජයබාහු රජතුමා – පුරාණ ජාතියේ පියා – සිරිසමන් විජේතුංග පි. 32- දයාවංශ ජයකොඩි සහ සමාගම – 2012)

මහා විජයබාහු රජතුමා චෝල පාලනයෙන් රට මුදවා ගැනීමෙන් අනතුරුව එතුමාගේ රාජ්‍ය පාලනය තහවුරු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රාධාතුව පොළොන්නරුව අග නගරයට වැඩමකර ගෙන ආවේ ය. මහ විජයබාහු රජුගේ දළදා ගෙය හෙවත් අටදාගෙය ධාතු මන්දිරයක් බව හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ. එයට හේතුව විජයබාහු රජුගේ මරණයත් සමඟ ම පැවැති කලබලකාරී යුගයන් හි දී දළදා වහන්සේ ආරක්ෂා කිරීම සඳහා යොදවන ලද ද්‍රවිඩ වේලයික්කාර භට හමුදාව විසින් කරවන ලද නුදුරෙහි ඇති ද්‍රවිඩ ශිලා ලිපිය ඒ බව හඳුන්වා දෙන බැවිනි.

මෙම ගොඩනැගිලි සංකීර්ණය එහි සැලැස්ම අතින් මින් පෙර තිබූ සමාන ගොඩනැගිලි ආකෘතීන් අනුගමනය කර ඇති අතර මෙය සම චතුරශ්‍රාකාර මණ්ඩපයකි. එයින් ආයත චතුරශ්‍රාකාර අන්තරාල නමැති කොටස ඉස්මතු වෙයි. එහි ඉදිරියේ සිට පිටුපස තෙක් පිට පැත්තෙන් දිග අඩි 75 කි. සතරැස් ගර්භයේ උපරිම පළල අඩි45 කි.

මෙම දළදා මැදුර දකුණු දෙසට මුහුණලා පිහිටා ඇත. එම පැත්තෙහි පිය ගැට පෙළෙහි පුරා හුණුගලින් නිම වූ සඳකඩපහණක සිට නැගෙනහිර දෙපස කොරවක්ගල් සහිත පියගැට සතරකි. දෙවැනි ශෛලමය පියගැට පෙළ නැගෙනහිරින් වූ ප්‍රවේශ ශාලාවට අවතීර්ණ වෙයි. අටදා ගෙය නමින් හඳුන්වන මහ විජයබාහු රජු කරවන ලද පොළොන්නරුවේ දළදා මාළිගය ඉහළ කොටස දැව වලින් (ලීවලින්) සාදන ලද අතර සියවස් ගණනාවක් තිස්සේ නටබුන්ව ඇත. ඒ නිසා එහි ආකෘතිය හැර වෙනත් කිසිවක් අද ඉතිරිව නැත. අඩි 8 උස වූ ගල් කුලුනු 54 කින් වහල දරා තිබුණි. එයින් කනු 32 ක් බිත්තියට සවිකර බඳනා ලදී. ඉතිරි කුලුනු 6 හුදකලාව පිහිටා ඇති අතර, කල්පලතා මෝස්තරයෙන් කැටයම් කර ඇත.

ප්‍රවේශ ශාලාවේ වයඹ අභ්‍යන්තර ප්‍රදේශයේ මෙම මන්දිරයෙහි සතරැස් භූමියෙහි දන්තධාතුන් වහන්සේ තැන්පත් කර ඇති, ඉහළ මාලයට යොමුව ඇති, එකල තිබුණා යැයි සිතිය හැකි, ලීවලින් සාදනලද පියගැට පෙළ දෙසින් ශිලාමය පියගැට හතරක් වෙයි. ගර්භයේ පාත මාලයේ බුද්ධ ප්‍රතිමා තුනක් දක්නට ලැබෙන අතර, අඩි 9 උස ඇති මැද පිහිටි හිටි පිළිමය පමණක් එහි ඇත. මෙම දළදා මාළිගයේ කුලුනු හැර සම්පූර්ණ දළදා ගෙය ගඩොලින් සාදා ඇති අතර වහළය දැව (ලීවලින්) ද, මැටි උළු වලින් ද සෙවිලිකර තිබේ.

(පොළොන්නරුව– මධ්‍යකාලීන ලක්දිව අගනගරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 151-152 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. 1998)

මහා විජයබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් ඉදිකරවන ලද මුල්ම දළදා මාළිගය මෙය බව ඉතා ප්‍රකට ය. (ක්‍රි.ව.1070-1110)

පොළොන්නරුවේ නටබුන් නගරයෙහි දළදා මළුව යන නාමය භාවිතා කරන්නට වූයේ මෙම මහ විජයබාහු රජතුමා විසින් සම සතරැස් උස් වූ වේදිකාවක් වැනි වූ භූමි ප්‍රදේශයක අනෙකුත් ගොඩනැගිලි ලෙසින් ඊට පසු රජවරුන් විසින් කරවන ලද ගොඩනැගිලි පිහිටි භූමි භාගය දළදා මළුව යන නමින් හඳුන්වා ඇත. මෙම භූමි භාගයට දළදා මළුව යන නාමය ව්‍යවහාරවන්නට ඇත්තේ එම දළදා මැදුරු කීපයක් ම පිහිටි නිසා බව ඉතා පැහැදිලි කරුණකි. දළදා මළුවට පිවිසීම සඳහා අලංකාර වූ පියගැට පෙළක් ඉදිකර ඇත. නටබුන් සාක්ෂි දරනු ඇත.

දළදා මළුවේ (චතුරශ්‍රයේ) සැලැස්ම

අනුරාධපුරයේ හෝ වෙනත් රාජධානියක දක්නට නැති විශේෂ ලක්ෂණයක් ලෙස පොළොන්නරුවේ දළදා මළුව හඳුන්වා දිය හැකි ය.

අංක 1 ශිව දේවාලය පසුකර, දකුණු දෙසට ගමන් කරන විට අවට පිහිටි භූමියට වඩා උස් වූ සතරැස් භූමිභාගය පොළොන්නරුවේ චතුරශ්‍රය හෙවත් දළදා මළුව යන නමින් හැඳින්වේ. ශිලාමය ප්‍රාකාරයකින් ආරක්ෂා කරන ලද මෙම පූජනීය ඓතිහාසික මාලකය අති පූජනීය වූ ගොඩනැගිලි කීපයක් ම පිහිටා ඇත. විධිමත් වාස්තු විද්‍යාත්මක සැලැස්මකට අනුව නිර්මාණය කරන ලද දළදා මළුවේ ප්‍රධාන දොරටුව නැගෙනහිරට මුහුණලා පිහිටා තිබෙන අතර එහි මුරකුටි දෙකක් ද ,ද්වාර මණ්ඩපයක් ද, පියගැටපෙළක් ද එහි පා මුල පාදෝණියක් ද ඉදිකර ඇත. ප්‍රධාන දොරටුව ප්‍රතිවිරුද්ධව බටහිර දෙසින් කුඩා අනු දොරටුවකි. එහි ද පහළ භූමියට බැසීම සඳහා පියගැට පෙළක් ද ඉදිකර ඇත.

(මධ්‍යකාලීන රාජධානිය – පොළොන්නරුව මහාචාර්ය ඒ ලගමුව. පි. 98 සරසවි ප්‍රකාශකයෝ 1999)

දළදා මාළිගය වූ මෙම පූජනීය ගොඩනැගිල්ල පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ප්‍රකාශ කරන්නේ ශත වර්ෂයකට ආසන්න කාලයක නිහඬතාවකින් පසුව ගොඩනගන ලද ප්‍රථම මන්දිරය මෙය වන නමුදු එය ඉදිකිරීමේ තාක්ෂණ අංශයෙන් පමණක් නොව, සැලසුම සහ වාස්තු විද්‍යාත්මක අංශයෙන් ද වාත්තු කිරීමට අනුව තවදුරටත් අනුරාධපුරයේ පැරැණි ගොඩනැගිලි ක්‍රමය අනුගමනය කර ඇත. පැරැණි ගොඩනැගිලි ක්‍රමය හින්දු සිද්ධස්ථානයන්හි දැකිය හැකි ගෘහ නිර්මාණ ලක්ෂණවල කිසිදු ආභාෂයක් මෙහි දක්නට නොලැබීම විශේෂ ලක්ෂණයකි. මෙම දළදා මාළිගය විජයබාහු රජතුමා විසින් ගොඩනගන ලද බව වේලයික්කාර ද්‍රවිඩ ශිලා ලිපියෙහි ද සඳහන් වේ. එහි ප්‍රථම භාගයෙහි ඒ බව සඳහන් වේ. එම ශිලා ලිපියෙහි දෙවන භාගයෙහි සඳහන් වන අන්දමට රටේ ව්‍යාකූල භාවය හේතුකොට ගෙන රාජ්‍යයේ සමහර ඇමතීන්ගේ සහායයෙන් මොග්ගල්ලාන මහ තෙරුන් වහන්සේ විසින් පූජනීය දන්ත ධාතූන් මන්දිරයේ සම්පූර්ණ භාරකාරත්වය වේලයික්කාර හමුදාවට භාර කරන ලද පුවත හමුවෙයි. එවක් පටන් ඔවුන් විසින් එම පූජනීය , දළදා මන්දිරය තම අනුග්‍රහය යටතේ පුණ්‍ය ආයතනයක් වශයෙන් සලකන ලද බවත්, එයින් කියැවේ. මේ ගිවිසුම කඩකරන ඕනෑම ක්‍රියාවක් යම් කෙනෙකු විසින් කරනු ලබන්නේ නම්, එය වේලයික්කාර සහ මහාතන්ත්‍රයට ද, බුද්ධ ශාසනයට ද, එරෙහිව කරන ක්‍රියාවක් බව ද ප්‍රකාශ කෙරේ. එමගින් සිංහල ජනතාව දෙමළ ජනයා කෙරෙහි විශ්වාසයක් තබා අවබෝධයකින් යුතුව ජීවත් වූයේ ද යන්න, දේශපාලන බලය උදෙසා පැවති යුද අරගලවල දී පවා දෙපිරිස එකට ජීවත් වූ අන්දමත් පැහැදිලි කරන මේ ඓතිහාසික ලිපිය මේ අවස්ථාවේ දී ජාතික සමගිය ගැන කතා කරන කාටත් කදිම නිදසුනකි.

(පොළොන්නරුව, මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 155-156)

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]