නිකිණි අමාවක 2019.08.30
නිරෝගි සුවයට නිවැරැදි ආහාර ඕනෑ
‘ආරෝග්‍ය පරමා ලාභා’ – නිරෝගී බව පරම ලාභය වන බව බුදු වදන ය. අධ්‍යාපනය, රැකියාව,
ගේ දොර කටයුතු, සමාජ සේවාවන්, ආගමික කටයුතු, බණ භාවනා ආදී ඕනෑම කාර්යයක
සාර්ථකත්වයෙහි වැදගත් සාධකයක් වන්නේ කායික, මානසික නිරෝගී බව යි. එය ජීවිතයට උසස් ම
ලාභයක් වන්නේ එහෙයිනි.
අතීතයේ, අපේ මුතුන් මිත්තෝ යහපත් ජීවන පැවතුම් තුළින් නිරෝගී ශක්ති සම්පන්න
ජීවිතයක් ගත කළහ. වයෝවෘද්ධ වියේ ද කිසිවෙකුගේ වාරුවක් නො මැතිව වෙහෙර විහාරස්ථානයන්
වෙත ගියහ. පින් දහම් කළහ. බණ භාවනා කළහ. සිරුර වෙහෙසා වැඩ කිරීමත්, තුන් වේලට සරිලන
සමබල ආහාර වේලත් ඔවුහු නිරෝගී ව තැබූහ. එමෙන් ම දීර්ඝායුෂ වූ හ. ආරෝග්‍ය ශාලාවක්
වූයේ නම් ඒ ඉතාම කලාතුරකින් ය. එහෙත් අද හතු පිපෙන්නා සේ තැනින් තැන ඉදිවුණ රෝහල්
ය. ඒවා පිරී ඉතිරී යන තරමට රෝගීන් ය. ඇති හැකි ඇත්තෝ පෞද්ගලික රෝහල්වල පෝළිම්වල
කාලය ගෙවති. ඒවායෙහි යා නොහැකි රෝගීහු පොදු ආරෝග්‍ය ශාලාවන්හි පෝළිම්වල සිය වාරය
එනතුරු කල් මරති. කොපමණ රෝහල් තිබුණ ද, දීර්ඝායු විඳින්නෝ ද අවම ය. මෙය සුලබ දසුනක්
වන්නේ මෑත ඉතිහාසයේ සිට ය. මේ රෝගීන් අතර ද බොහෝ පිරිසක් බෝ නො වන රෝගීහු ය. අධික
රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා ආදී රෝගීහු දිනෙන් දින ඉහළ යන ආකාරය
පෙනේ.
පවුලක සේ ම ගම රට තුළ ද සංවර්ධනයක් දැකිය හැකි නම් ඒ මානව සම්පතෙ හි කාර්යශූර බව
අනුව ය. ඉහත රෝගී තත්ත්වයන්ට ගොදුරු වූයේ නම් රෝගී පුද්ගලයා පමණක් නොව ඇතැම්විට
පවුලම අඩපණ වන්නේ ය. ඒ තුළ ගම, රට අකර්මණ්‍ය වීම, පසුගාමීවීම වැළැක්විය නො හැකි ය.
පමණ දැන ආහාර ගත යුතු බව බුදු දහම අවධාරණය කරන කරුණකි. ආහාර ගත යුතු වන්නේ ද
විනයක්, ශික්ෂණයක් ඇතිව ය. සරලව කියනවා නම් අප ආහාර ගත යුතු ජීවත් වීම පිණිස ය.
එහෙත්, ඇතැම් අයගේ හැසිරීම් රටාවෙන් ගම්‍ය වන්නේ ආහාර ගැනීමට ජීවත්වන බව ය. එක්
පැත්තකින් අද පාසල් වියේ දරුවන්ගේ සිටම අධික තරබාරුව , දියවැඩියාව වැනි රෝග බහුල ය.
එයට හේතුව ඔවුන්ගේ ආහාර රටාව ය. ගුණාත්මක බව, ආහාරයෙහි ස්වභාවය, ප්‍රමාණය, ගන්නා
වේලාව ආදිය ආහාර රටාව යන්නට ඇතුළත් ය. එහෙත් මේ රටාවට ආහාර ගන්නා අය අද අඩු ය. බොහෝ
දෙනෙක් හුරු පුරුදුව සිටින්නේ දිව පිනවන, කෘත්‍රිම රසකාරක යෙදූ, අධික තෙල්, සීනි
මිශ්‍ර, අධික ලුණු මිශ්‍ර ආහාරවලට ය. ළදරු පාසල් යන කුඩා ම දරුවාගේ සිට පාසලට, උසස්
අධ්‍යාපන ආයතනයට යන දරුවන්ගෙන් වැඩි දෙනෙක් අද අවාසනාවන්ත ලෙස නිවැරැදි ආහාර
රටාවෙන් බැහැරව යනු නිරන්තරයෙන් ඇස ගැටෙන දසුනකි. වෙළෙඳසැලකින් ගත්, එසේ නොමැතිනම්
ජංගම භෝජන රථයකින් මිල දී ගත් ක්ෂණික ආහාරයකින් කුස පුරවා ගන්නා අය බොහෝ ය. මේ ආහාර
සෞඛ්‍ය සම්පන්න නැත. කුස පුරවනවා පමණ ය. ජනවහරට අනුව නම් ගෙදර පිස ගන්නා පොල්
සම්බලයත්, බත් ටිකත් දිව්‍ය බොජුන් හා සම ය. ඒ එහි වස විස, කෘත්‍රිම රස කාරක නො වන
හෙයිනි. අපිරිසුදු නො වන බැවිනි. එහෙත් අද සමහර මව්වරු කාර්ය බහුල බව කියමින්
බොහෝවිට අලසකම නිසා ගෙදර පිසෙන බතට ද තිත තබති. ඒ තුළ ගෙදර සියල්ලෝ ම කඩෙන් කති.
ඉන්පසු ලෙඩ වෙති. එතැන් සිට ආරෝග්‍යශාලා සොයා යති. අවසානයේ දී සෞඛ්‍යයෙන් ද,
ආර්ථිකයෙන් ද පිරිහෙති. ජීවිතයම අවසනාවන්ත කර ගනිති. දරුවන් නිවැරැදි ආහාර රටාවකට
යොමු කිරීම මව්පියන්ගේ වගකීමකි. නැතහොත් හෙට ලොවට ඉතිරිවන ජාතිය කායික මානසික
රෝගීන්වීම වැළැක්විය නො හැකි ය. |