මව්පිය සෙනෙහසක
මහිමය
කු/ නික / වාරි රතනසෙල ඓතිහාසික මහ පිරිවනෙහි
නියෝජ්‍ය පරිවේණාධිපති
ගලගෙදර
රතනවංස හිමි
දරුවන් කෙරෙහි මව්පියන් තුළ ඇති සෙනෙහස අනන්ත ය. අප්‍රමාණ ය. අප තිලෝගුරු බුදු
පියාණන් වහන්සේ විවිධ සූත්‍රානු සාරයෙන් ඒ පිළිබඳ විවරණය කොට ඇත. උන්වහන්සේ
මව්පියනට දිය යුතු උසස් ම ගෞරවය , සම්මානය ලබා දුන්හ. “බ්‍රහ්මාති මාතා පිතරෝ” එයට
හේතුව මව්පියන් ළඟ මහා බ්‍රහ්මයා සතු ගුණ හතරක් තිබීම ය. එනම් මෙත්තා, කරුණා,
මුදිතා,උපෙක්ඛා නම් වේ. එම ගුණ ධර්ම පෙරදැරිව සෑම මව්පිය කෙනෙක් ම තම දරුවන් දෙස
බලනු ඇත. සමාජයේ වෙනත් කිසිදු කෙනෙකුට එවැනි පදවියක් පිරිනමා නැත.
මවක් සිය දරුවා දසමසක් කුසෙහි හොවා, මෙලොවට බිහිකොට, තම රුධිර ධාතුව කිරිකොට දරුවාට
පොවා දරුවා ඇහැක් ලෙසින් ආරක්ෂා කරනු ඇත. පියෙක් උදේ හවා දෑත දෙපය කරගැට එනතුරු
මහන්සි වී දාඩිය බිංදු දහස් ගණන් පොළවට වගුරා දරුවන් ලොකුමහත් කරන්නට, ඔවුන්ට
අධ්‍යාපනය ලබා දෙන්නට, ඔවුන්ගේ ලෝකය ගොඩ නගන්නට වෙහෙසෙනු ඇත. “ලෝකයේ ලස්සන දේ් බිහි
වන්නේ මවගේ කිරිවලින් හා හිරුගේ රශ්මියෙන් බව “මැක්සිම් ගෝර්කි නම් පඬිවරයා පවසා
ඇත. ඇත්තෙන් ම දූ දරුවන්ගේ ලෝකය හදන්නේ, ලස්සන කරන්නේ, ඒ ලෝකයට ආලෝකය ලබා දෙන්නේ
මව්පියන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එය සර්ව සාධාරණ චින්තනයකි.
දසමාසේ උරේ කත්වා
පෝසේසි වුද්ධිකාරණං
ආයු දීඝං වස්ස සතං
මාතු පාදං නමාමහං
දස මාසයක් දුක් විඳ මා හැදූ අම්මේ
ලේ ටික කිරට හරවා මට පෙව් අම්මේ
ඇති දැඩි කරන්නට දහ දුක් විඳි අම්මේ
ඔබෙ පා යුග වඳිමි මගෙ ආදර අම්මේ
දස මාසයක් කුසෙහි රඳවාගෙන දියුණුව බලාපොරොත්තුවෙන් පෝෂණය කළා ය. මගේ අම්මා අවුරුදු
සියයක් ජීවත් වේවා, මම මවගේ දෙපා වඳිමි.
දූ දරුවන් විසින් මව ගැන එම ගාථාවෙහි පරිදි සිතිය යුතු ය. වැඳිය පිදිය යුතු ය.
සීවලී මහරහතන් වහන්සේ තම මව වූ සුප්පාවාස දේවියගේ කුසෙහි අවුරුදු 7 ක් සිටි බව
සඳහන් වේ. නමුදු මවට එය දුකක් හැටියට නොසිතුණි. අංගුලිමාල කෙතරම් දරුණු මිණීමරුවෙකු
වුව ද, මවට තම පුතා එපා නොවුණි. අවසානයේ දී පුතා සොයා එන ලදී. සැරියුත් මහරහතන්
වහන්සේ පිරිනිවන් පෑමට දින හතක් තිබිය දී රූපසාරි තමන් වහන්සේගේ මව මාර්ග ඵලාවබෝධයට
පත් කළහ. දෙවන අග්බෝ රජු චෛත්‍යයකට මෙන් මවට වැඳුම් පිදුම් හා ඇප උපස්ථාන කළේ ය.
මාතුපෝසක ජාතකයේ අප බෝසතාණෝ මුහුද මැද සිය නැව රුවල් බිඳී ගිය කල දින හතක් මව කර
පිට හිඳුවා පිහිනා ගොඩට ආහ.
වුද්දිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජ මජ්ජං සුපතිට්ඨං
පීතු පාදං නමා මහං
නැති බැරි කමක් මට නොපෙනෙන දයාවෙන
මට රජ කිරුළ පළඳින්නට සිතාගෙන
වෙහෙසුන පියාණෙනි දියුණුව පතාගෙන
ඔබෙ පා යුග වඳිමි මගෙ හිස තබාගෙන
දියුණුව සලසා වැළඳගෙන , පි‍්‍රය පුත්‍රයා සිඹ, රජුන් මැද මනාව පිහිටෙව්වා වු පියාගේ
පා මම වඳිමි.
බුදුරජාණන් වහන්සේ පියාට සැලකු ආකාරය බුද්ධ චරිතයෙන් පැහැදිලි වේ. සුද්ධෝදන රජතුමා
මරණ මංචකයේ සිටින කල්හි පිරිත් කියා දෑතින් ම හිස අතගා ආශිර්වාද කිරීම, පියාගේ
ඉල්ලීමට මව්පියන්ගෙන් නොවිමසා දරුවන් පැවිදි නොකිරීමට විනය ශික්ෂා පැනවීමකළ සේක.
හොඳ පියවරුන් දරුවන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නාහ. බුදුන් කල සිටි
අනාථ පිණ්ඩික සිටුතුමා, ධම්මික උපාසකතුමා, ධනංජය සිටුවරයා, අශෝක රජතුමා වැනි චරිත
තුළින් පියගුණ හා යුතුකම පැහැදිලි වේ. තෝදෙය්‍ය , අදින්න පුබ්බක, අපුත්තක වැනි චරිත
තුළින් පැහැදිලි වන්නේ දූ දරුවන්ගේ ලෝකය ගොඩනඟන්නට නොවෙහෙසුන ස්වභාවයන් ය.
කලන්දක ජාතකය තුළින් පැහැදිලි වන ආකාරයට අප බෝසතාණෝ ලෙහෙන කුලයක ඉපිද මහ මුහුදු
තීරයක ලෙහෙන කූඩුව ඉදිකොට පැටවු ද ඇති කළහ. චණ්ඩමාරුතයක් හේතුවෙන් එම කූඩුව පැටවුන්
සහිතව මුහුදට වැටිණ. එහි දී පුත්‍ර ස්නේහය කොතෙක් ද යත් සිය වලිගය තෙමා ගොඩට විත්
ගසා දැම්මේ මහා ප්‍රයත්නයක නියැලුණහ.
සුවාසු දහස ක්
යොදුන් ගැඹුරැති මුහුද ක්
ගොඩ කෙරුමැයි උද ක්
ලෙහෙනු තැත් කළ වැන්න දවස ක්
යොදුන් අසූහාර දහසක් ගැඹුර ඇති සාගරයක් ගොඩ කරමි යන අදහසින් එක්තරා කලෙක ලෙහෙනෙකු
කළ උත්සාහය මෙනි. මහා වග්ග පාලි දේශනා කළේ පුත්‍ර පේ‍්‍රමය වනාහි, සිවියත්. සමත්,
නහරත්. ඇටත් විනිවිද ගොස් එයින් නොනැවතී ඇට මිදුලුවල හැපී පවතී යනුවෙනි.
එම නිසාම දූ දරුවන්ට කවදාවත් මව්පියන්ට ඇප උපස්ථාන කර පිරිමහන්නට පුළුවන් කමක් නැත.
ඒ තරමටම මව්පිය සෙනෙහස විශාල ය. මහා සාගරය මෙන්, මහා පොළොව මෙන්, අහස මෙන් පුළුල් ව
පවතී. “ද්වින්නාහං භික්ඛවේ න සුප්පති කාරකං වදාමි. කතමේඝං ද්වින්නාහං මාතුච්ච
පිතුච්ච” යන පාඨයෙන් ඒ බව පැහැදිලි වේ. නමුත් මව්පියන්ගේ අනන්ත අප්‍රමාණ ආදරය ලබන
දූ දරුවන් විසින් මව්පියන්ට සැලකිය යුතු හා ණයෙන් නිදහස් වන ක්‍රමවේදයක් බුදුන්
වදාළහ. එනම්, ශ්‍රද්ධා, ශීල, ඍති, ත්‍යාග, ප්‍රඥා යන ගුණයන්හි නොපිහිටිය මව්පියෝ
ඇත්නම් එවැනි මව්පියන් එම ගුණයන් කෙරෙහි නැඹුරු කරවීම තුළින් මව්පියනට සැබෑ ලෙසම
සැලකුවා වන්නා හ. ආනන්තරීය පාප කර්ම තුළ වුව ද මව මැරීම, පියා මැරීම සසර ගැලවීමට
නොහැකි බලගතු කර්ම බලවේග ලෙස දක්වා ඇත්තේ ද ඒ තරමට ම මව්පිය සෙනෙහස අසීමිත බැවිනි.
තස්මාහි තෙ නමස්සෙය්‍ය
සක්කාරෙය්‍යාථ පණ්ඩිතො
අන්නේන අථ පානෙන
චත්ථෙනච සයෙනච
උච්ඡාදනෙ නහා පනේන
පාදානං ධොවනං නච
මහත් වූ ගුණ ඇති දරුවා, නුවණැති පින්වතා මව්පියන්ට වඳියි. ආහාරපාන ඉඳුම් හිටුම්
අඩුපාඩුවක් නැතිව සලකයි. එතුළින් මව්පියන්ගේ ආශිර්වාදය නොමදව දූ දරුවන්ට ලැබෙනු ඇත.
මව්පියන් ගෙදර බුදුන් ලෙස සලකා දූ දරුවන්ගෙන් විය යුතු යුතුකම් – වගකීම් නොපිරිහෙලා
ඉටුකිරීම කළ යුතුව ඇත. ලොකු මහත් වු කල මව්පියන් අමතක නොකරන්නට වග බලා ගත යුතු ය.
ඔවුන්ගේ සිත් පෙළා යහපත් සිතුම් පැතුම් සිඳ බිද දමා අමුතුම ලෝකයක ජීවත් වීමට
කවදාවත් දූ දරුවන් සිතට නොගත යුතු ය. ඒ මව ඔබ දස මාසයක් කුසෙහි රඳවා බිහිකොට රුධිරය
කිරි වශයෙන් පෙවු ආකාරයත් පියා දෑත දෙපය මහන්සි වී දාඩිය බිංදු දහස් ගණන් පොළොවට
වැගුරූ ආකාරයත් සිතට ගෙන දිවිහිමියෙන් මව්පියන්ට සලකා මතු ලොව යහපත් කර ගැනීමට සිතට
ගැනීම කාගේත් වගකීම විය යුතු ය. |