කුසලය අකුසලය
හඳුනා ගන්න
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
මේ වස්සාන කාලයයි – 2
මෙම කාලයෙහි නිගන්ඨනාථපුත්ත හෙවත් මහා වීර නම් ජෛන ශාස්තෘවරයා හා විශේෂයෙන්
එතුමාණන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ මහ වැසි වැටෙන කාලය තුළ එළියට ගමන් කිරීමෙන්
බැහැර වී ඔහුන්ගේ අසපුවල ම, කුටිවලම වාසය කළා.
එයට හේතුව වූයේ ඔවුන් පරම අවිහිංසාවාදීන් වීම තෘණවලට පවා කුඩා පැලෑටිවලට පවා ජීවයක්
ඇති බව සැලකුවා. ඒවා තමාගේ දෙපයට හසුවී පෑගීම, පොඩි වීම, පාපයක් හැටියට සැලකුවා. ඒ
වගේ ම ඔවුන් කට හා නාසය පවා වසාගෙන සිටියේ හුස්ම ගන්නා විට පවා සත්වයන් මුඛයෙන් හෝ
නාස් කුහරවලින් ඇතුළට ගොස් මිය යෑමෙන් ඔවුන්ට පාපයක් සිදුවිය හැකි බව විශ්වාස කළ
නිසයි. ඒ වගේ ම ඔවුන් ගමන් කරන විට නිරන්තරයෙන් ම මුස්ණකින් ඉදිරිය නිතරම පිරිසුදු
කරමින් ගමන් කිරීමත් චාරිත්‍රයක් ව පැවැතුණා. මේ පරම අවිහිංසාවාදී ලෙස හඳුනා
ගනිමින් ඔවුන් ගත කළ දැඩි වූ ව්‍රත ක්‍රමය නිසා සමාජයේ එක්තරා ආකල්ප ගොඩනැඟී
තිබුණා. ඔවුන් අනුගමනය කළ දහස් ගණන් පිරිස් ජන සමාජය තුළ එදා භාරතයේ ජීවත්ව සිටියා.
මේ අනුව එම පිරිස් හා තවත් විවිධ පිරිස් වැසි කාලය තුළ එක් තැනක නතර වී සිටියා.
පුරුදු පරිදි ශාක්‍යමුණින්ද්‍රයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස් මෙසේ හැසිරීම පිළිබඳව අර
ජෛන ශාස්තෘවරයා ගේ මාර්ගය අනුගමනය කරන පිරිස් හා එයට ගරු කළ පිරිස් විසින් මේ
භික්ෂූන් වහන්සේලාගේ චර්යාව පිළිබඳව නුගුණ ප්‍රකාශ කළා. අකමැත්ත ප්‍රකාශ කළා.
බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ම පහළ වුණේ සියලු දෙනා කෙරෙහි ම මහා කරුණාවෙනුයි.
අනුකම්පාවෙනුයි. පිහිට වීම පිණිසයි.
කුමන හෝ ආකාරයකින් සියලු සත්ත්වයන්ට, පිහිට වීමේ මාර්ගය සම්මා සම්බුදු රජාණන්
වහන්සේ නමකගේ චර්යාවයි. මේ නිසා මහජන මතයට ගරු කරමින් හා ඇහුම්කන් දෙමින්
බුදුරජාණන් වහන්සේ “වස්සූපනායික ධර්ම” හෙවත් මේ වස් විසීමේ ශික්ෂා ප්‍රඥප්තිය පනවනු
ලැබුවා.
මෙහි දී අපට බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්මය අනුව මේ ඇති වූ සිද්ධිය පිළිබඳව
ධර්ම විවරණයක් කරගත හැකියි. පැළෑටිවල ජීවය යනු සත්ත්වයන්ට පවතින ප්‍රාණය හා සමාන
නොවන බව ඉතාම පැහැදිලියි. එසේ නම් ගහකොළ, එළවළු, බෙහෙත්, හේත් වර්ග මේ සියල්ල ම ජීව
කියන වචනයෙන්, ප්‍රාණය තිබෙන වස්තූන් හැටියට සැලකුවොත් මනුෂ්‍යයන්ට පාපයෙන් ගැලවීම
නම් කෙසේවත් සිදු කළ නොහැකිවනු ඇති. එයට හේතුව ගහකොළ, එළවළු ස්වභාවික වස්තු
මනුෂ්‍යයන් ඇතුළු ප්‍රාණීන්ගේ ජීවත්වීමට අවශ්‍ය වන නිසා ය. ඒවායෙහි ජීවයක් හැටියට
සැලකුවත් ජීවත්වන ප්‍රාණියකුට පවතින ප්‍රාණයක්, විඥාණයක්, පැවැත්මක් එහි ඇති බව
බුදු දහමේ සඳහන් වෙන්නේ නැහැ. එය සත්‍යයක් . ඒ වගේ ම ගමන් කිරීමේ දී අදහසකින් තොරව,
සිතිවිල්ලකින් තොරව යම් ප්‍රාණීන් දෙපයට යට වී කරදරයකට පත් වුණත්, මිය ගියත් එය
අකුසල රැස්වන කර්මයක් හැටියට පෙන්වා දෙන්නේ නැහැ. අප මොනතරම් මුඛය හා නාසය, කන්
සිදුරු වසාගෙන සිටියත්, බිම පිසදමමින් ගමන් කරනවා කීවත් ඇහැට නොපෙනෙනා ක්ෂුද්‍ර
ජීවීන්ගේ පටන් ඕනෑතරම් ප්‍රාණීන් මහපොළොවෙහි සිටිය හැකියි. වාතයේ සිටිය හැකියි.
ඔවුන් මිය යෑම වැළැක්වීම ඇවිදීම නතර කිරීමෙන් පමණක් සිදු කළ නොහැකි වනු ඇති. එසේ
නම් කළ හැකි වන්නේ ඒ ඒ පුද්ගලයන්ට පාදයක් හෝ බිම නොතබා උඩට වී සිටීම පමණකි.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කර්මය යනු චේතනාවයි. සිතින් සිතා ඒ සිතිවිලි
ක්‍රියාත්මක කරන්නේ නම්, කතා කරන්නේ නම් ක්‍රියාවට නංවන්නේ නම් එය ම කර්මය හැටියට
කුසල හෝ අකුසල කර්ම හැටියට ධර්ම කතාවේ පෙන්වා දෙනවා. එයයි බෞද්ධ දර්ශනයේ විග්‍රහය.
දීපා පෙරේරා |