නිකිණි පුර පසළොස්වක 2019.08.14
අතීතයෙන් අනාගතයට
කිරි බඳුනකට මුසු වූ දිය වෙන් කිරීම ඉතා අසීරු කටයුත්තකි. එහෙත් හංසයා නම් ඒ
කාර්යයෙහි ලා සමතෙකි. හංසයා දියෙන් කිරි වෙන් කරන්නා සේ අපට ද වෙන් කරගත යුතු දෙයක්
වේ. ඒ හොඳ නරක ය. වෙනස තේරුම් ගත නො හැකි තරමට හොඳ හා නරක අද සමාජගත වී අවසන් ය.
මෙහි අතරමං වන්නෝ වෙසෙසින් කුඩා දරුවන් ය. ඔවුන්ට අත්දැකීම් මද බැවිනි. අත්දැකීම්
ඇති වැඩිහිටි සමාජයත් අවිචාරශීලිව නො මග යමින් බාල පරපුරට වැරැදි ආදර්ශ දෙනවා නම්,
වැරැදි මග යන තරුණ පරපුර දැක වැඩිහිටියන් නිහඬව සිටිනවා නම්, අපට සිදුවන්නේ අනාගතයේ
බොහෝ අනර්ථයන්ට මුහුණ දෙන්නට ය. සමාජයේ අද ඇස ගැටෙන දුරාචාර අනාගත ව්‍යසනයක
පෙරනිමිති පෙන්වයි. ඇස් නො පෙනෙන, කන් නෑසෙන මිනිසුන් සේ නිහඬව සිටියා හොඳට ම
ප්‍රමාණවත් ය. අප වෙතින්, අපගේ බාල පරපුරෙන් ගිලිහී යන වටිනා සංස්කෘතික උරුමයන්
ආරක්ෂා කරගන්නට දැන් දැන් ම පෙළ ගැසිය යුතුව ඇත.
සම්බුදු දහමින් සුපෝෂිත වූ. අපූර්වත ම හෙළ සංස්කෘතියක් අපට තිබුණි. අද ද තිබේ .
එහෙත් අතීතයේ මෙන් එය අගය කරන්නෝ, රැකගන්නෝ අද දුලබ ය. මෑත ඉතිහාසය වන තුරු ම සිංහල
බෞද්ධ සමාජය ශක්තිමත් වී තිබුණේ මව් පිය දූ දරු, ස්වාමි භාර්යා, ගුරු සිසු, සේව්‍ය
සේවක, ගිහි පැවිදි යන සමාජ කණ්ඩායම් අතර වූ යුතුකම් හා වගකීම් මත ය. සියලුම සමාජ
සාමාජිකයන් මීට ඇතුළත් වූ අතර කිසිවෙකු වෙතින් යුතුකම් ගිලිහී නො ගියේ ය. ඒ තුළ
සමාජ සුරක්ෂිතතාවය නිතැතින් ම ගොඩ නැගුණි. දම්වැල් පුරුක් සේ ඔවුනොවුන් හා බැඳී
සිටින සමාජයක කිසිවෙක් වැරැදි කරන්නට බිය වෙති. පවට ලජ්ජා වෙති. එහෙත් අද ඇතැම්
තැනෙක මව්පිය දූ දරු සම්බන්ධතාවය පවා ගිලිහී යන ආකාරයක් පෙනෙන්නට තිබේ. තාක්ෂණයේ
වේගවත් දියුණුව සමඟ වෙසෙසින් සන්නිවේදන උපකරණ අතර කාලය කා දමන ළමා, තරුණ, වැඩිහිටි
සමාජයට හොඳ නරක තෝරා බේරා ගත නො හැකි තරමට අතරමං වන සෙයක් පෙනෙන්නට තිබේ. තාක්ෂණයේ
දියුණුව ඉතා හොඳය. නරක එය නිවැරැදි භාවිතයට නොව අව භාවිතයට හුරු වීම ය . වැඩි
දෙනෙක් යන්නේ වැරැදි මග වීම ය, සමාජ විපරිනාමයන්ට වෙසෙසින් ම බලපා ඇත්තේ.
මේ පිළිබඳ
වහ වහාම අවධානය යොමු කරන්නට දැන් කාලය එළැඹ තිබේ. මව්පියන්ට, ගුරුවරුන්ට සේ ම,
පූජ්‍ය උතුමන්ටද එහි වෙසෙස් කාර්ය භාරයක් පැවරේ. අපගේ හෙළ සංස්කෘතික උරුමයන්,
අධ්‍යාත්මික ගුණ ධර්මයන් වියැකී යන්නට නො දී ආරක්ෂා කර ගන්නට අප උත්සුක නො වුණේ නම්
අඳුර අප වෙත ගලා ඒම වැළැක්විය නොහැකි ම ය. නැවත අපගේ උරුමයන් සමාජ ගත කරන්නට තවමත්
අපට අවකාශය තිබේ. දම්වැලක ශක්තිමත් බව සේ ම, ප්‍රයෝජනය ද එහි පුරුක් එකිනෙකට බැඳී
පවතින විට ය. පුරුකෙන් පුරුක ගිලිහී ගියේ නම් එහි කවර නම් ඵලයක් ද? අපේ සමාජය ද
එවැනි ය. අප විවිධ චරිත නියෝජනය කරමින් එකිනෙකාට බැඳී සිටින්නේ දම්වැල් පුරුක්
මෙනි. ඒ මිනිස් දම්වැලෙහි පුරුක් ගැලවී යා නොදී රැක ගත හැකි අපට ම ය. අප අපගේ
යුතුකම් වගකීම් බැහැර නො හරිනතාක් සමාජයේ වැරැදි සිදුවන්නේ නැත. කෙතරම් භෞතික
දියුණුවක් ලැබුව ද අධ්‍යාත්මිකව පිරිහී ගියේ නම් සමාජය විනාශවීම වැළැක්විය නො හැකි
ය. ගමත්, පන්සලත් ,වැවත්, දාගැබත් යන උදාර සංකල්පය වචනයට පමණක් සීමා නො කර අපි නැවත
ඒ අතීතයට පිය නගමු. අසීරුවෙන් හෝ පියවරෙන් පියවර තබමු. ඒ තුළ ගොඩනැගෙන සමාජයක හොඳ,
නරක, තෝරා බේරා ගැනීම අපහසු නො වනු ඇත. |