[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිිපිටක දහම-04: සීලවන්තයා මනසින් ද සිල්වත්

ත්‍රිපිටක දහම-04:

සීලවන්තයා මනසින් ද සිල්වත්

බුද්ධ ශාසනය තුළ වීමංසනය පිළිබඳව දක්වන්නට පුළුවන් හොඳම නිදර්ශනයක් ඇති සූත්‍රය වන්නේ ‘චුල්ලහත්ථිපදෝපම’ සූත්‍රය යි. බෞද්ධ දර්ශනය විමසීමට මුල්වන, විමසීමට මූලිකත්වය දෙන තැනක් මිසක, හුදු මාත්‍රයකින්, ඇසූ මාත්‍රයකින් හෝ පරපුරෙන් පරපුරට පැමිණි මාත්‍රයකින් හෝ පිළිගන්නා දර්ශනයක් නො වෙයි.

එසේනම්, බෞද්ධ දර්ශනය හොඳ ඥාන ගවේශී, හොඳ වීමංසනශීලී, මෙය අදහන්නට, මෙය නො පිළිගන්නට මෙය එලෙසම වෙනවා යැ’යි කියන්නට වෙන දෙයක් නො වෙයි, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ විමසන්න යනුවෙන්. ධර්මය විමසද්දී බබළනවා යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළා.

ඇත් පියවර උපමා කරගෙන බලන්න, ඇතෙක් සොයන කෙනෙක් මුලින් ම ගිය ගමන එතැනින් සීමා වුණේ නැහැ කියනවා, ඔහු දුටුවා වෙනත් ඇතුන් සිටින බව. මේ එක් ඇත් පියවරක් වෙන්නට පුළුවන් යනුවෙන් තවත් ඇත් පියවර සොයාගෙන ඔහු ගියා. අවසානයේ සොයපු ඇතා දුටු සැනින්, ඇතා පිළිබඳව එයා නිවැරැදි ලෙසම , නිශ්චිත ලෙසම අදහසකට පත්වුණා, මේ මා සොයපු ඇතා යනුවෙන්. එතෙක් ඔහු නිශ්චිත අදහසකට ආවේ නැහැ.

එසේනම්, මෙය යි, ඇත් පියවරේ උපමාව. එවිට උපමේය බවට පත් වෙන්නේ මේ ශාසනයේ ඇතැම් වේලාවට යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කර, බණ අසා ඒ කෙනා තථාගත ශාසනයේ ශ්‍රද්ධාව ලබනවා. ඉන්පසුව එයා කල්පනා කරනවා, පැවිදි වෙන්නට ඕනෑ යනුවෙන්. එයා පැවිදිවීම සඳහා ශාසනයට පැමිණ, පැවිදි භාවය ලබාගෙන හික්මෙනවා. ශාසනයට පළමුව පැමිණි කෙනෙක් ‘සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො’ යනුවෙන් ශික්ෂාවන් සමාදන්ව , ඒ ශික්ෂාවන්වල හැසිරෙනවා. එසේනම්, පැවිද්දට පත්වූ පසුව එයා සාමාන්‍ය ලෙස නොවේ, ශික්ෂාවන්වල හැසිරෙන්නේ. සිල්පදවලින් එහාට ගිය ශීලයක් එයා රකිනවා. ‘පාණාතිපාතං පහාය , පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපණ්නො සබ්බපාණභූත හිතානුකම්පී විහරති’ යනුවෙන්. එවිට සතුන් නො මැරීම පමණක් නො වෙයි, ඔහු කරන්නේ නැත්තේ. පාණාතිපාතය සමාදන්ව සිටිනවා. පාණාතිපාතාව දුරු කරලා, සතුන් මැරීම දුරු කරලා, එයින් වැළකී, එපමණක් නො වෙයි, ‘නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපණ්නො’ ඔහු දඬු මුගුරු සතුන් මරණ දේ සියල්ල බහා තබා ඔහු සතුන් මැරීම පිළිබඳව ලජ්ජිත වෙලා , ලජ්ජාවට පත්ව සියලු ප්‍රාණ භූතීන්, ලොවේ සිටින සියලු ප්‍රාණීන් සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. එවිට කායික සංවරය තමයි, සතෙක් මරන්නේ නැහැ යනුවෙන් සමාදන් වන විරති ශීලය. ඊටපසුව එහි ඇති චෛතසික සංවරය තමයි, හිතේ ඇති සංවරය තමයි, ‘දයාපණ්නො සබ්බපාණභූත හිතානුකම්පී විහරති’ සියලු ප්‍රාණ භූතීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කිරීම ය.

එවිට දැන් අපට පේනවා, මේ ශාසනයේ මුලින්ම සඳහන් වෙන්නේ ශීලයක් විදිහට ගිහියෙකුට පංචශීලය යි. සාමණේර භික්ෂූන් වහන්සේට, පැවිද්ද ලබා ගත් උතුමන්ට මුලින්ම සමාදන් වෙන්නේ සාමණේර දස ශීලය යි. ඒ ගැන සඳහන් කරනවිට, පළමුව සතුන් නො මැරීම ගැනයි අප කතා කරන්නේ. සතුන් නො මැරීම හුදෙක් සතා නොමරා සිටිනවා කියන තැන පමණක් නො වෙයි, සිතෙන් අන් අය ගැන තරහෙන් , ද්වේශයෙන් ගැටී සිටීමෙන් ද ශාසනයේ සිල්වත් වන කෙනා දුරු වෙනවා. ඒ ගැනයි මෙලෙස සඳහන් කරන්නේ. එසේනම්, අමතක කරන්නට එපා, 'සික්ඛාසාජීවසමාපන්නො' ශික්ෂාව සහ ආජීවයට පත් වෙලා. පිරිසුදු ආජීවයට පත් වෙනවා. කෙලෙස ද? එයා පාණාතිපාතාව සමාදන් වෙලා සිටින කෙනෙක් බවට පත්ව සිටිනවා. ‘පාණාතිපාතං පහාය’ පාණාතිපාතා වේරමණී, සමාදන්ව සිටින කෙනෙක් බවට පත්ව සිටිනවා. එය වේරමණී යනුවෙන් සඳහන් කරද්දී කයෙන් පමණක් හික්මීම නො වෙයි, එයා මානසිකව පවා’ සබ්බපාණභූතහිතානුකම්පී විහරති’ යනුවෙන් සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා’ යන කාරණය යි යෙදෙන්නේ.

එලෙස ශීලය ගැන මේ සූත්‍රය තුළ දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk