[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැවැත්මෙන් නැවැත්මට...

පැවැත්මෙන් නැවැත්මට...

පැවැත්මෙන් නැවැත්ම කරා ගමන් කිරීමට හැකියාව ඇති ලෝක අතර මනුෂ්‍ය ලෝකයට ලැබෙන තැන ප්‍රධාන යි.

බුද්ධත්වය දක්වා ම දියුණු කළ හැකි මනසක් ලබන්නේ මනුෂ්‍යයන් පමණ යි. එවන් මනුසත් බවක් ලබා සිටියදී ත් ඇතැම් අය නිවන් දකින්නට, දෙව්ලොව හා බඹලොව උපත ලබන්නට පැතීමත් නො දැනුවත්කමින් කරන වැඩක්.නිවන් දකින්නට හෝ තවත් භවයක උපතක් ලැබීම, පැතීම භව රාගය යි. ඒ තුළ සිදුවන්නේ කුමක් ද? කරනු ලැබු පින්කමට අනුව දෙව්ලොවක හෝ බඹ ලොවක උපත ලැබුණත්, ඒ උපත ලබන්නට කළ පින සිදුකළේ භවරාගයෙන් යුක්තව වීම නිසා ඒ රාගික සිතිවිලි අධිකවීම මත ඒ තැනැත්තාට එහිදී ද නිවනට සමීපවීම පහසු නොවේ. එහි උපදින්නේ ද මෙහි දී ම භවරාගය නම් වූ කෙලෙස් වැඩි කරගෙන වීම එයට හේතුව යි. බොහෝ දෙනා දෙව්ලොව ඉපිද නිවන් සුව විඳින්නට කැමැති වුවත් එහි දී එම කාර්යය සිදු කිරීම පහසු නොවේ.

සසරින් නිදහස් වන්නට කෙනෙකුට සිත් පහළ වන්නේ සසර දුක දැනෙන විට ය. නිස්සරණය සිදුවන්නේ ආදීනවය දකින විට ය. එලෙසින් ගත් කල දෙව්ලොව හා බඹලොව සිටින සත්ත්වයන්ට සසරට ආවේනික වු දුක් වන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී දුක් ද, (අධික කාමභෝගී ජීවිත ගත කරන නිසාත්, රිසි රිසි දේ නිරන්තරයෙන් ලැබෙන නිසාත්) කැමැති දේ නො ලැබීමේ දුක ආදි දුක් ද විඳින්නට සිදුවන්නේ ඉතා අවම මට්ටමකිනු යි. ඒ නිසා දුකින් නිදහස්වීමේ වුවමනාවක් ඔවුන්ට ඇතිවන්නේ ඉතාමත් කලාතුරකිනුයි. ඕපපාතික සත්ත්වයන් වන දෙවියන්ගේ සහ බ්‍රහ්මයන්ගේ ආයු ප්‍රමාණය ඉතා දීර්ඝ යි. ඒ නිසාම ජරා, ව්‍යාධි යන අවස්ථාවන්ට ගොදුරුවන්නේ ඉතා දීර්ඝ කාලයක් ගතවීමෙන් අනතුරුවයි. ඒ නිසා ම යථාර්ථය වටහා ගැනීමට ඔවුන්ට බොහෝ කල් ගත වෙනවා.

දෙව්ලොව උපදින ඇතැම් දෙවියන්ට ඉකිමනින් සත්‍යය වටහා ගැනීමේ හැකියාවක් ද තිබෙනවා. ඒ බොහෝ විට එසේ වන්නේ මනුෂ්‍ය ලෝකයේ දී සෝවාන් ඵලයට හෝ පත් වූ දෙවියන්ට යි.ජනවසභ සූත්‍ර දේශනාවට අනුව ජනවසභ දෙවියා බවට පත්වූයේ බුදුපියාණන් වහන්සේට ප්‍රථම ආරාම පූජාව සිදු කළ බිම්බිසාර මහ රජතුමායි. එතුමා බුදුපියාණන් වහන්සේගෙන් බණ අසා මනුෂ්‍යයෙකු ව සිටියදී ම සෝවාන් ඵලයට පත් වූ කෙනෙක්. එවන් කෙනෙක් දෙව්ලොව උපන්නත් ඔවුන් ධර්මය සෙවීම, ධර්ම සාකච්ඡා කිරීම ආදිය විශ්මය දනවන ක්‍රියාවන් නොවෙයි. මන්ද, ඒ වන විටත් යථාර්ථය දැකීම ආරම්භ කර තිබූ නිසා ය. නමුත් අධික කාමභෝගී ජීවිතයකයට යොමු වූ , දුක අවම වශයෙන් දැනෙන කෙනෙකුට එවන් පරිසරයක සිට අධ්‍යාත්මික දියුණුවක් ඇතිකර ගන්නවා ය කියන කාරණාව පහසු කටයුත්තක් නොවේ.

බුදුරජාණන් වහන්සේ අනාගාමී ඵලයට පත් භික්ෂූන් වහන්සේ නමකට පවා අවධාරණය කළේ ශුද්ධාවාස බඹලොව ඉපිද නිවන් දකිනවාට වඩා මේ මිනිසත් භවයෙහි ම ඉක්මනින් නිවන් දැකීමේ වැදගත්කමයි. ලබා ඇති වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමේ වැදගත්කමයි. අනාගාමී ඵලයට පත් වූ කෙනෙකුට ශුද්ධාවාස බඹලොව ඉපදීමෙන් පසු ඒකාන්ත වශයෙන්ම මහරහත් භාවයට පත් වී නිවන අවබෝධ කළ හැකි වුවත් බුදුපියාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේට මේ මිනිසත් භවයෙහි දී නිවන් සුව සලසා ගන්නා ලෙස අවධාරණය කළේ ශුද්ධාවාස බඹලොව පහළවීමෙන් පසු එහි දීර්ඝ කාලයක් ජීවත්වීම සලකා ගෙනය. කෙනෙක් ශුද්ධාවාස බඹලොව පහළ වූ සැණින් ම රහත් වුවත් ඉන්පසු පඤ්චස්කන්ධය පවත්නා තුරු පෝෂණය කිරීමට සිදුවෙනවා.

එය ද සුළු පටු කාලයක් නොවේ. එසේ දීර්ඝ කාලයක් පඤ්චස්කන්ධය පෝෂණය කිරීම බොහෝ පීඩාකාරි එකක් . එය මැනැවින් අවබෝධ කර ගත් නිසයි බුදුපියාණන් වහන්සේ ශූද්ධාවාස බඹලොව පහළ ව නිවන් දැකීමට කැමැත්තක් ඇති කර ගත් එම භික්ෂූන් වහන්සේ අමතා , අසූචි පොඩ්ඩකින් වුවත් ගඳ දැනෙන්නා සේ මේ භවයෙහි එක උපතකින් හෝ ඇතිවන්නේ දුකක් බවත්, තමන් වහන්සේ කිසදු මොහොතක මේ භව පැවැත්ම වර්ණනා නො කරන බවත් අවධාරණය කළේ.

මිනිස් ලොව සිටිනා බොහෝ දෙනා දෙව්ලොව ඉපිදී නිවන් දක්නට කල්පනා කර ගෙන සිටියත්, දෙව්ලොව සිටින, හිත දියුණු කර ගැනීමට කැමැති ඇතැම් දෙවියන් දෙව්ලොව ඇති අධික සැප ඒ සඳහා බාධාවක් සේ සලකනවා. සංයුක්ත නිකායේ ධම්මරථ සූත්‍රයට අනුව දෙව්ලොව උපන් එක් දෙවියෙකුට දිව්‍යාංගනාවන් සිය අධ්‍යාත්මික සංවර්ධනයට බාධා කරන පිශාචයන් සේ පෙනී තිබෙනවා. ඒ සූත්‍ර දේශනාවට මුල් වූ අතීත කථා පුවත අනුව බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසු එක් තරුණයෙක් පැහැදී පැවිදි වුණා. තදබල ලෙසින් භාවනාව පුරුදු කළ ද එය මඟ ඵල ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් වුණේ නැහැ. මේ තරුණ භික්ෂුව භාවනා කරද්දීම උද්ගත වූ රෝගාබාධයක් නිසා අපවත් වුණා. එසේ අපවත් වී තව්තිසා දෙව්ලොව උපන්නා. දෙව්ලොව උපන්නත්, තදබල භාවනාවේ යෙදී සිටියදී අපවත් වූ නිසා මේ දේවතාවා තමන් දෙව්ලොව උපන් බව හෝ දැන සිටියේ නැහැ. ඔහු සිතා සිටියේ තවමත් භික්ෂුවක් ලෙසින් ම සිටින බවයි. ඒ නිසා තමන් කලින් පුරුදු කරන ලද භාවනාරම්මණයෙහි ම සිත් අලවා ගෙන වාසය කළා. මේ දේවතාවා වෙනුවෙන් බොහෝ පරිවාර දේවතාවියන් ද පහළ වී සිටියා. එම දේවතාවියන් පැමිණ දෙව්ලොව කියන්නේ මහණ දම් පුරන්නට තිබෙන තැනක් නො වන බවත්, තමන් සමඟින් විනෝද වන්නට එන ලෙසත්, පවසා සිටියා. මේ දේවතාවාට විහිලු තහලු කළා. නමුත් ඒ දේවතාවා එම කිසිවක් ගැන අවධානය යොමු නො කොට භාවනා කරමින් සිටියා.

ඉන් අනතුරුව පරිවාර දේවතාවියන් එක් ව මූණ බලන කණ්ණාඩියක් ගෙනැවිත් එම දේවතාවා ඉදිරියේ තැබුවා. ඉන් පසු තමන්ගේ දෙව් රුව දුටු එම දේවතාවා තමන් දැන් පැවිද්දෙකු නො වන බවත්, තමන් මිනිස් ලොවින් චුතව අවුත් දෙව්ලොව උපත ලබා ඇති බවත් වටහා ගත්තා. ඒ ගැන සිතා බොහෝ දෙනා සතුටු වෙනවා වුවත්, නිශ්කාමී ජීවිතයකට හුරු වී තිබෙන මේ දේවතාවා තමන්ට උරුම වූ දේවත්වය ගැන සිතා කනගාටු වුණා. එසේ කනගාටුවෙන් සිටින එම දේවතාව, රැගෙන පරිවාර දේවතාවියන් නන්දන, උයනට ගිය ද ඔහු එයිනුදු සතුටු වුණේ නැහැ. එම පරිවාර දේවතාවියන්ගෙන් මිදී පලා ගොස් දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටි බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ තමන්ට ඇති වී තිබෙන ඇබැද්දිය පවසා මිදෙන්නට මඟක් විමසුවා.

අප්සරාවන්ගේ ඇසුර එම දේවතාවා දැක තිබුණේ මළ පෙරේතියන් නැතිනම් පිශාචයන්ගේ ඇසුරක් ලෙසිනුයි. සැවොම සතුටට පත් කරන නන්දන වනය සිත මුලාවට පත් කරන මෝහ වනයක් ලෙසිනුයි. මේ මෝහ වනයෙන් නිදහස් වෙන ක්‍රමයයි ඒ දේවතාවා බුදුපියාණන් වහන්සේගෙන් විමසා සිටියේ. මෝහ වනය යන්නෙන් අදහස් කරනුයේ පිස්සන් කොටුවක් වැනි එකක්. ධර්මය නමැති වාහනය මඟින් නිවන් පුරයට පිවිසිය හැකි ආකාරය බුදුපියාණන් වහන්සේ ධම්මරථ සූත්‍රය ඇසුරෙන් දේවතාවාට කියා දුන්නා. මේ සිද්ධියෙන් ද දෙව් ලොව ඇති නිසරු බව වටහා ගත හැකියි.

සත් බුදුරජාණන් වහන්සේලා පහළ වූ යුගයන්හි දී ශුද්ධාවාස බ්‍රහ්මලෝකවල පහළ වූ බ්‍රහ්මයන් තවමත් එම බ්‍රහ්ම ලෝකවල සිටින බව ධර්මයෙහි සඳහන් වී තිබෙනවා. එහි ඉපදීම නිසා කල්ප ගණන් දීර්ඝ කාලයක් ආයු වින්දනය කරන්නට වීම නිසා, තවමත් සසරට අයත් ව සිටින්නට වීම එක්තරා ප්‍රමාදයක් නොවේ දැයි විමසා බලන්න.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk