[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසිරිත බුදුදහම හා ආගමික සහජීවනය

බුදුසිරිත බුදුදහම හා ආගමික සහජීවනය

" නිසුන්ගේ අධ්‍යාත්මික ගතිලක්ෂණ, සිතුම් පැතුම්, ගතිගුණ, අභිරුචිය, රසිකත්වය ඔවුන්ගේ අනේකවිධ චර්යාවන්, ජීවිකා වෘත්ති, අත්දැකීම්, මිනිසුන් වටා ඇති පරිසරය මේ ආදී බොහෝ දෑ ඇසුරුකොටගෙන බිහිවී, වැඩී, විකාශයට ලක්ව ඇති ආගම වූ කලී ශිෂ්ටාචාරය, සභ්‍යත්වය මෙන්ම සංස්කෘතිය සමඟ ද නොයෙක් අයුරින් බැඳී පවතින්නකි. "

ඉතිහාසය තුළ, ඈත මෑත සෑම යුගයක ම මිනිසාට සහ සමාජයට ද විශිෂ්ට මාර්ගෝපදේශකයෙකු වූ ආගම ජීවිතයේ භෞතික උවමනාවන්ගෙන් ඔබ්බට මිනිස් නෙත් යොමු කරවයි. මානව සිතුම් පැතුම් මෙන්ම අත්දැකීම් හා පරිසරය ද සැබැවින්ම විවිධාකාර ය. විචිත්‍ර ය. එබැවින් ම ලෝකයේ ආගම්ද විවිධාකාර වේ. අරමුණ, ස්වභාවය, චර්යාධර්ම, වත් පිළිවෙත් ආදී කරුණු අරබයා සපුරා සමතාවයක් දක්නා නොලැබෙන බව සැබෑවක් වන නමුදු ශරීර වර්ණය, භාෂාව, ජාතිය, කුලය, ගෝත්‍රය ආදී කරුණුවල දී මෙන්ම මෙහිදී ද කිවයුත්තේ මිනිසුන් වශයෙන් සියලු ආගම් අදහන සියල්ලන් සමාන වන බව ය. එබැවින් ම විවිධ වූ ආගම් අදහන්නවුන්, පිළිපදින්නවුන් සහජීවනයෙන් එකමුතුව විවිධත්වය තුළ ඒකත්වයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වූවකි. සාමකාමී බව, සහෝදරත්වය හා මිනිස්කම නිසැකව ම සමාජය තුළ පැවතිය යුතු බැවිනි.

බුදුදහම වූ කලී එක් අතෙකින් මධ්‍යම දේශනාවකි. ශාස්වතවාදයට හෝ එය පාදක කොටගෙන උපන් කවර වාදාන්තරයකට හෝ නොවැටුණු බුදුරජාණන් වහන්සේ ඒ කිසිවකට පක්ෂ ද නොවූහ. විපක්ෂ ද නොවූහ. එබැවින් ම ඒ කිසිදු වාදයක්, දෘෂ්ටියක් සමඟ නොගැටුණෝ ය. අශාස්වතවාදයට හෝ එය පාදකකොටගෙන උපන් කවර වාදාන්තරයකට හෝ නොවැටුණු උන්වහන්සේ ඒ කිසිවකට පක්ෂ හෝ විපක්ෂ නොවූහ. එබැවින් ඒ කිසිදු වාදයක් දෘෂ්ටියක් සමඟ නොගැටුණෝ ය. නිබඳවම සිද්ධාන්තමය වශයෙන් දාර්ශනික මධ්‍යස්ථතාවයෙහි පිහිටා එය ද අන්තවාදයක් කොට නොගෙන හේතුඵල ධර්මය නම් වූ පටිච්ච සමුප්පාදය වදාළහ. අනෙක් අතින් බුදුදහම එකී මධ්‍යම දේශනාව මත පිහිටා ඊට අනුගත වූ මධ්‍යම ප්‍රතිපදාවක් උගන්වයි. ශාස්වත වාදයෙහි ප්‍රායෝගික පිළිවෙත වූ අත්තකිලමතානුයෝගය විවිධ දුෂ්කර ව්‍රත අනුගමනය කළ යුතු යැයි ද, එයින් ආත්ම විමුක්තිය ලද හැකි යැයි ද ඉගැන්වූ අන්තවාදයක් වූයේ ය. අශාස්වතවාදයෙහි ප්‍රායෝගික පිළිවෙත වූ කාමසුඛල්ලිකානුයෝගය කම් සුවය ම ඉගැන්වූ අන්තවාදයක් වූයේ ය. ශාස්වත, යන එකී අන්තවාදයන්ට නොවැටී මධ්‍යම දේශනාව වූ පටිච්ච සමුප්පාදය දේශනා කළ බුදුන්වහන්සේ එම අන්තවාදයන්ටම අනුගත වූ අත්තකිලමතානුයෝගය, කාමසුඛල්ලිකානුයෝගය යන අන්තවාදයන්ට ද නොවැටී මධ්‍යම ප්‍රතිපදාව වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දුන්හ.

මධ්‍යම දේශනාවක් වූ ද, මධ්‍යම ප්‍රතිපදාවක් වූ ද, බුදුදහම අනුව, සිය දහමට ගරහන විට කිපීම ද, පසසන විට සතුටු වීම ද නොමනා ය. ඒ අවස්ථා දෙකේ දී ම කළ යුත්තේ ඉවසිලිමත්ව, බුද්ධිමත්ව ගරහන්නාට ද, පසසන්නාට ද, කන් දී ඇති තතු වටහාගැන්ම ය. ඒ බුද්ධානුශාසනයයි. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත් එතන්හි දී ඔබ විසින් කෝප නොඉපදවිය යුතු ය. නොසතුට, සිත්හි අමනාප බව නොඉපදවිය යුතු ය. එසේම, අනුන් මගේ හෝ ධර්මයෙහි හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එහි දී ද ඔබ විසින් පී‍්‍රතය නොඉපදවිය යුතු ය. සොම්නස නොඉපදවිය යුතු ය. සිතෙහි පී‍්‍රතියෙන් ඉල්පුණු බව නොකළ යුතු ය. එසේ කෝපවීම මෙන් ම, පී‍්‍රති වීම ද ශ්‍රාවකයාට ම අහිත පිණිස වන බවත්, අනුන් කියන දෙයෙහි ඇත්ත නැත්ත දැන දැක ගැනීමට බාධක වන බවත් බුදුරජාණන් වහන්සේ වැඩිදුරටත් වදාළහ. මෙම බුද්ධවචනය අනුව යන බෞද්ධයා සිය දහම අරබයා වුව ද උපේක්ෂා සහගත වන්නෙකි. ඔහුට සෙසු ආගමිකයන් සමඟ සුහදව සිටීමට හැකිබව අමුතුවෙන් කිවයුතු නොවේ.

බෞද්ධ ප්‍රතිපදාව නිබඳව ම සර්ව සාධාරණ ය. එහිලා ආගමික සීමාවන්ගෙන් තොරව ම පිළිපැදිය යුතු සාරධර්ම ද, අත්හළයුතු අසාර ධර්ම ද උගන්වනු ලැබේ. ගෙහසික ශීලය නොවේ නම් ගිහි බෞද්ධයෙකුගේ නිත්‍යශීලය පඤ්චශීලයයි. එහි දී පරපණ නොනැසිය යුතු ය. පරපණට ගරු කළ යුතු ය. එය සුරැකිය යුතු ය. හිංසනයෙන්, බිය වැද්දීමෙන් වැළකිය යුතු යැයි කියැවෙයි. දයා පරවශවැ සියලු පණ ඇත්තවුන්ට හිතවත්ව, සානුකම්පිතව ක්‍රියා කිරීමටම ඉගැන්වෙයි. එහිලා ආගමික සීමාවන් නැත. කවර ආගමිකයෙකු වුව ද ඔහු සප්‍රාණ මනුෂ්‍යයෙකි. සිය ජීවිතය පි‍්‍රය කරන්නෙකි. තමා වැනිම දඬුවමට නොකැමැති, නිදහස කැමැති අයෙකැයි සැලකිය යුතු ය. සියලු සත්ත්වයන්ට ජීවිත දානය දීම බෞද්ධ පිළිවෙතයි. එහිලා ආගමික හෝ වෙනත් කුමන හෝ විශේෂත්වයක් සලකනු නොලැබේ. මේ අයුරින් ම නුදුන් දේ ගැනීම, දුන් දේ කැමැති වීම, අසම්මත වූ අශිෂ්ට වූ කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, ශිෂ්ට සම්මත අඹුසැමි සබඳතා පැවැත්වීම, රැවටීමෙන් මුසාවෙන් වැළකීම, සත්‍යවාදී වීම, අහිතකර වූ මදයට ප්‍රමාදයට හේතු වන උත්තේජන භාවිතයෙන් වැළකීම, සිහියෙන් යුක්ත වීම යන පඤ්චශීලයෙහි එන සියලු චර්යාවෝ ආගමික සීමාවන්ගෙන් තොරවෙති. පංච දුෂ්චරිතයෙහි එන සමාජ විරෝධී ක්‍රියාවන් හුදෙක් බෞද්ධ සීමාව තුළ පමණක් සාවද්‍ය යැයි නොසැලකේ. එම ක්‍රියාවන්ගෙන් වැලකී පඤ්ච සත්චරිතයෙහි යෙදීමේ දී ද එබඳු සීමාවෙක් නැත. මෙබදු පිළිවෙත් රකින්නෙකුට සාමයික සහජීවනයෙන් විසීමට අමුතුවෙන් ඉගැන්වීම අනවශ්‍ය ය. ඔහු ජාතිය, ආගම, භාෂාව, කුලය, ගෝත්‍රය, ශරීරවර්ණය හෝ මිනිස් නොමිනිස්බව පවා සැලකිල්ලට නොගන්නා, ඒ සියලු විශේෂත්වයන් පසෙකලා මානව දයාවෙන් පමණක් නොව සකළ ජීව හිතවාදී බවින් යුතු තැනැත්තෙකු වන බැවිනි.

බුදුදහමෙහි ඉගැන්වෙන සිව් බඹ විහරණය ද මෙහි දී නිදසුන් කොට දැක්විය හැකි ය. කේන්ද්‍රීය බෞද්ධ සාරධර්ම ලෙස සලකාගත යුතු එම පිළිවෙත් තුළ ද ආගමික සීමාවක් හෝ වෙනත් සීමාවක් නොපැණෙයි. ‘මෙත්තාව‘ එනම් සියලු සත්ත්වයන්ගේ සෙත, යහපත, සුවය, සැපත අපේක්ෂා කිරීම, කරුණාව එනම් දුකටපත් කවරෙකුට වුව ද සානුකම්පිත වීම මුදිතාව එනම් කවරෙකුගේ වුව ද යහපත, දියුණුව දැක අව්‍යාජව ම සතුටුවීම, උපේක්ෂාව එනම් මැදිහත් චින්තනය යන බ්‍රහ්ම විහරයන් සියලු ජාතීන්ට, ආගම්, කුල, ගෝත්‍රාදියට අයත් මිනිස් නොමිනිස් සියල්ලන් වෙත පතුරුවා කි‍්‍රයා කරන බෞද්ධයාට ආගමික සහජීවනය අමුතුවෙන් ඉගැන්විය යුතු නැත.” එසේම දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව සමානාත්මතාව සමාජ වර්ගීකරණයන් නොසලකා සැමට සම ව සැලකීම ද බෞද්ධ පිළිවෙත ය.” ඒ අනුව ක්‍රියා කරන බෞද්ධයා නිසැකව ම සහජීවනයෙන් යුක්ත වූවෙකි. ආගම හෝ වෙනත් විශේෂතාවයක් සලකා පරෝපකාරයෙහි යෙදීමට, පි‍්‍රය වචනයෙන් කතා කිරීමට, අර්ථචර්යාවෙහි නියැළීමට බුදුසමය උගන්වා නැති බැවිනි. මෙසේ මෙකී නොකී සියලු බෞද්ධ සාරධර්මයන් සමාජ විෂමතා සැලකිල්ලට නොගෙන ක්‍රියාවට නැගිය යුතු අතර, එය සාමයෙන්, සහජීවනයෙන් ජීවත්වීමට අනුබල දෙයි.

බුදුරජාණන් වහන්සේගේ සාමයික සහජීවන ආදර්ශය ද සිත්ගන්නා සුළු වෙයි. මෙත්තා කරුණා දී උතුම් ගුණ ධර්මයන්ගෙන් හා අද්විතීය ප්‍රඥා මහිමයෙන් ද පිරිපුන් අසම සම ශාස්තෘවරයෙකු වූ බුදුන්වහන්සේ ඉතා ප්‍රසන්න වූ සෞම්‍ය පැවැත්මෙන් යුක්ත වූහ. එබැවින් ම ඉතා සුහදව සියලු ආගමිකයන් හා සබඳකම් පැවැත්වූහ. සහජීවනයෙන් විසූහ. විවේකී අවස්ථාවල අන්‍යාගමිකයන්ගේ ආරාමවලට වැඩමකොට ඉතා හිතවත්ව ඔවුන් ඇසුරු කළ අවස්ථා, ඔවුන්ට දැනමුතුකම් දුන් අවස්ථා සහ පිළිසඳර පැවැත් වූ තැන් ද සුත්‍රාන්තයන්හි දක්නා ලැබෙයි. එයින් උරුවෙල කාශ්‍යප නම් වූ පන්සියයක් ජටිලයනට නායක වූ මහා ජටිලයන්ගේ අසපුවට බුදුරදුන් වැඩම කළ පුවතත්, ඔහුගේ කැමැත්ත ද විමසා එම අසපුවෙහි ගිණිහල්ගෙයි වැඩ සිටි පුවතත් ඉතා ප්‍රකට ය. එම ජටිල නායකයා සහ බුදුරදුන් අතර ඇති වූ සුහද කතාබස් ද පෙළ දහම වාර්තා කරයි. එසේම ඔහුගේ අසපුවෙහි මහ යාගයක් එළඹ සිටි අවස්ථාවෙහි බුදුරදුන් එහි වැඩ නොසිටින්නේ නම් මැනවැ’ යි උරුවෙල කාශ්‍යපයන් තුළ පැවති අදහස දැනගත් පසු එතැනින් බැහැරට වැඩම කළ බවක් ද සඳහන් වෙයි. ඔහුගේ ආගමික කටයුතුවලට බාධා නොවන පිණිසත්, ඔහුගේ ශ්‍රාවකයන් තමන් වහන්සේ වෙතට යොමුවීමෙන් ඔහුට සිදුවිය හැකි අවාසිය මග හරවනු පිණිසත් එසේ බැහැරට වැඩම කිරීමෙන්ද පෙනී යන්නේ නිබඳවම අන්‍ය සාමයික උතුමන් සමග සුහදත්වයෙන් යුතුව, ඔවුනට කරදර නොවන පරිදි කටයුතු කිරීමට බුදුරදුන් ක්‍රියා කළ බව එම යාගය අවසන් වූ පසු නැවතත් බුදුහිමියෝ උරුවෙල කසුප්ගේ අරම වෙත වැඩම කළහ.

මෙලෙසින් ම, වච්ඡගොත්ත පිරිවැජියාගේ අරමට බුදුරදුන් වැඩම කළ පුවත ද පෙළ දහමෙහි වාර්තා වී තිබේ. එවකට බුදුරදුන් වැඩ සිටියේ විශාලා නුවර කූටාගාර ශාලාවෙහි ය. වච්ඡගොත්තයෝ ඉතා සුහදව උන්වහන්සේ පිළිගත්හ. ස්වාමිනි වඩිනු මැනවි. වඩිනු මැනවි. ඔබ වහන්සේ මෙහි වැඩම වූයේ බොහෝ කලෙකිනි. ඔබ වහන්සේගේ පැමිණීම ඉතා අගනේ ය . වැඩ හිඳිනු මැනවි. අසුන් පනවා තිබේ. මෙසේ පැවසූ වච්චගොත්ත තෙමේ ද මිටි අස්නක් ගෙන එකත්පසෙක හුන්නේ ය. බුදුරදුන් පොට්ඨපාද පිරිවැජියාගේ අරමට වැඩම කළ පුවත ද, මෙබඳුම නිදසුනකි. පොට්ඨපාද තෙමේ බුදුරදුන් සිය අරමට වඩිනු දුරදීම දැක උස්හඩ, මහා හඬ ඇතිව ඝෝෂා කරමින් සිටි සිය පිරිස නිහඬ කළේ ය. ‘පින්වත්නි, නිහඬවන්න, නිහඬවන්න, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වැඩමවති. නිහඬ බවෙහි ගුණ කියන, එයට කැමැති උන්වහන්සේ අප නිහඬබව දැක මෙහි වැඩම කළහොත් එය අපට මහා ලාභයකි’යි සිය සව්වන් දැනුවත් කළේ ය. පිරිස නිහඬ විය. බුදුරදුන් එහි වැඩම කළ අතර ඉහත කී වච්ඡගොත්ත මෙන්ම පොට්ඨපාද ද ඉතා සුහදව බුදුරදුන් පිළිගත් බව සඳහන් වෙයි.’ විටින් විට වෙනත් ආගමිකයෝ ද බුදුරදුන් හමුවට ආහ. අභය රාජ කුමරු, උපාලි ගෘහපති, සේල බ්‍රාහ්මණාදීන් මීට නිදසුන් වේ. ඔවුන් සමඟ ද බුදුරදුන් ඉතා විවෘතව, දැහැමි පිළිසඳර බස් දෙසූ සැටි සූත්‍ර දේශනාවල වාර්තා වී තිබේ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk