[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිකිණි පුන් පොහොයයි පසුවස් විසීමයි

නිකිණි පුන් පොහොයයි පසුවස් විසීමයි

ඇසළ පුර පොහෝ දිනයෙන් ඇරැඹි වස්සාන සමය නිකිණි පුර පොහෝ දිනට එළැඹී අද වනවිට එක් චන්ද්‍ර මාසයක් සම්පූර්ණකොට ඇත.

එම පුර පොහෝ දා පෙරවස් සමාදන්විය නොහැකි වූ භික්ෂුන්ට අද දිනයෙහි පොහෝ පවුරුණු කොට පසුවස් සමාදන් වීමේ බුද්ධ නියමය ඉටුකිරීමේ හැකියාව ලැබෙන අතර බුද්ධ පරිනිර්වාණයෙන් පසු පවත්වන ලද ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ ද අදවන් දිනක දී ය.

බුද්ධෝපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ සිව් ඉරියව්වෙන් තොරව උතුම් අරහත්භාවයට පත්වීම ද සිදු වූ අද දිනය ශාසනික වශයෙන් ඉතා වැදගත් අනුස්මරණීය දිනයකි. එම උතුම් ශාසනික සිදුවීම් ද අනුස්මරණය කරමින් පාපමිත්‍ර සේවනයෙන් තොර වූ කල්‍යාණ මිත්‍ර සේවනය ලබමින් දුක් සහිත සසරින් එතෙරවීම සඳහා අධිෂ්ඨානශීලී විය යුතුව ඇත.

පුද්ගලයා හා සමාජය අතර ඇත්තේ අභේදනීය සබඳතාවය කි. මෙසේ සමාජගතවන පුද්ගලයන් එම සමාජය ඇසුරු කළ යුතු ආකාරය බුදු දහමින් පෙන්නුම් කර ඇත. ඒ සඳහා විවිධ උපදේශයන් ද ලබා දී ඇත. බාහිරව සමාජගතවීමට පෙර මූලික සමාජ ඒකකය තුළ දී සමීපතම ඥාති සමූහයා හඳුනාගන්නා පුද්ගලයා ඔවුන්ගෙන් ද ඉතා සමීපතමයින් සමග වැඩි ඇසුරක් ඇතිකර ගනී. අනතුරුව පුළුල් සමාජගතවීමකින් පසු අත්විඳීමට සිදුවන සංකීර්ණ සමාජ පරිසරය තුළදී විවිධ පුද්ගලයන්ගේ ඇසුරට පත් වේ.

එහිදී මිතුරන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉතා විමසිලිමත් ව මෙන් ම, මනා අධ්‍යනයකින් යුතුව සිදුකළ යුත්තක් බවටදහමින් උපදෙස් ලබා දී තිබේ. තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයා නිර්වාණගාමී පිළිවෙත පිළිබඳව නැඹුරු කිරීම පමණක් නොව, පුද්ගල සාර්ථකත්වය සඳහා ද ලබාදී ඇති මගපෙන්වීම අසාමාන්‍ය වූවකි.

මෙහි දී මූලික වශයෙන් ම තම ඇසුරට පත්කර ගතයුතු අය සහ නොගතයුතු අය පිළිබඳ විවිධ අවස්ථාවන් හි දී දේශනා කොට ඇති අතර උන්වහන්සේගේ මූලික පෙන්වාදීම වන්නේ සුදුසු පුද්ගලයෙකු නොවන්නේ නම් හුදකලාව හෙවත් තනිව ජීවත්වීම වඩා යහපත් බවයි. මෙහි ‘සෙය්‍යං’ යන්නෙන් දැක්වෙන්නේ‘ඉතා උතුම්’ යන්නයි. වඩාත් විමසිලිමත් ව මෙම ‘ඉතා උතුම්’ යන යෙදුම පිළබඳ විමසා බැලීමේ දී සිල්වත් බවින්, සමාධි ගුණයෙන් මෙන්ම ප්‍රඥා මහිමයෙන් යුක්ත වූ යන අදහස අර්ථ ගැන්වේ.‘සදිසං’ යන්නෙන් ප්‍රකාශ වන්නේ සමාන බව යන අදහස ය. සීල, සමාධි, පඤ්ඤා යන ගුණයන්ගෙන් තමා හා සමාන වූවකු පිළිබඳ අදහස ය.

මින් පැහැදිලි කොට ඇත්තේ තමා විසින් ඇසුරු කිරීම සඳහා යොදාගන්නා කලණ මිතුරා තමාට වඩා උසස් ගුණයන්ගෙන් යුතු පුද්ගලයෙකු විය යුතු අතර නොඑසේ නම් තම ගුණයන් හා සමාන ගුණයන්ගෙන් හෙබි පුද්ගලයෙකු විය යුතු බවයි. මෙසේ උතුම් කල්‍යාණ මිත්‍රයෙකු තම ඇසුර සඳහා සොයාගත නොහැක්කේ නම් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ගය ද, තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇත.එනම්, ‘ඒකචරියං දළ්හං කයිරා’ එකලාව නොඑසේ නම්, තනි තනිව විසිය යුතුය යනු වෙනි. පවිටු මිතුරන් ඇසුරු කිරීමෙන් සිදුවන භයානක ප්‍රතිඵල හුදකලාව විසීමෙන් කෙසේවත් අත්විඳීමට සිදුනොවන බව මින් ඉතා මැනවින් පැහැදිලිකොට ඇත.

‘සහායතා’ යන්නෙන් පැහැදිලි කෙරෙන මිතුරු බව හෙවත් යහළුකම බාලයෙකු සමඟ ඇතිකර ගන්නේ නම් එය ඉතා දරුණු ගණයේ විපත් සඳහා හේතු වේ. දෙලොව පරිහානියටත්, සසර දිගු වීමටත් හේතු වේ.

මිතුරන් ඇසුරු කිරීම පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ විසින් විවිධ අවස්ථාවන් හි දී බොහෝ අනුශාසනා කර ඇති අතර උන්වහන්සේගේ මූලික අවධානයට යොමුකොට ඇත්තේ කල්‍යාණ මිත්‍රතාවය පිළිබඳව ය.

මිතුරාගෙන් යමක් ලබාගැනීමේ අදහසින් ම ඇසුරු කරන්නන්, අවශ්‍යතාවයක දී වචනයෙන් පමණක් සංග්‍රහ කරන්නන්, පමණක් නොව එබඳු අවස්ථාවල දී ඉක්මගිය දෙයින් හෙවත් අතීතයෙන් සංග්‍රහ කරන්නන් මෙන් ම අපායට මග පෙන්වන්නන් ද මිතුරන් සේ බොහෝ දෙනාට, බොහෝ විට හමු වී නැතැයි කිව නොහැක. දහමින් ප්‍රතික්ෂේපිත මෙම පාප මිත්‍රයන් ඇසුරු කිරීමෙන් පුද්ගලයා ‘කාලපක්ඛේව චන්දිමා’ අවපස සඳමෙන් දිනෙන් දින පිරිහීමට පත්වන ආකාරය දහමින් අවධාරණය කොට ඇත. එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් ඇසුරු කළ යුතු යැයි නිර්දේශිත මිතුරන් ද සංඛ්‍යාත්මක ව දක්වා ඇති අතර ඔවුහු උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්ඛායි, අනුකම්පක යන නම් වලින් හඳුන්වා දී තිබේ.

අවශ්‍ය විටෙක ඉදිරිපත්ව උපකාරී වන, දුක සැප දෙක්හි දී අත් නොහැර සිටින, යහපත පිණිස කි‍්‍රයාකරන, සානුකම්පිතව පිහිට වන සැබෑ කලණ මිත්‍රයන් ද අඩු ප්‍රතිශතයකින් හෝ වත්මන් සමාජය තුළ දී ඇසුරට ලැබී ඇතිවාට ද සැකයක් නැත. මෙබඳු කලණ මිතුරන්ගේ ඇසුර පුරපස සඳ මෙන් මහත් දියුණුවට පත්වන බව දහමින් පෙන්නුම් කෙරේ. තථාගත දේශනය වන්නේ ඉහලෝක වශයෙන් මෙබඳු මිතුරන්ගේ ඇසුරක් හෝ සීල, සමාධි, පඤ්ඤා යන ලෝකෝත්තර ගුණයන්ගෙන් ඉහළ පරිපූර්ණත්වයක් හෝ එම ගුණයන්ගෙන් තමන්ට සමාන වන්නෙකු මිතුරෙකු ලෙස ඇසුරු කිරීම සඳහා නොලැබෙන්නේ නම් මිතුරන්ගෙන් තොරව තනි තනිව විසීම දෙලොව දියුණුව සඳහා හේතුවන බව ය.

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත මෙම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පිළිබඳ දේශනය සඳහා හේතු වී ඇති සිදුවීම වන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ අතවැසි, නොහික්මුණු භික්ෂුවකගේ අශික්ෂිත කි‍්‍රයාව කි. මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වැඩවසන ලද්දේ රජගහනුවර පුලිලලෙන නම් ඉතා සුන්දර සෙනසුනක ය.

එහි උන්වහන්සේ සමඟ ශිෂ්‍ය භික්ෂුන් දෙදෙනෙකු සිටි හ. ඉන් එක් නමක් සැදැහැති ගුරුබැතියෙන් යුතු , වත් පිළිවෙත් නිසි සේ පුරන්නෙකි. අනෙක් නම ගුරුබැතියෙන් තොර සැදැහැති බවින් තොර ය. කිසිදු වත් පිළිවෙත් නොපුරන කුසීතයෙකි. වළඳා, නිදා අනෙක් භික්ෂු නම විසින් සිදුකරන ලද වත් පිළිවෙත් තමන් විසින් සිදුකරන ලද ඒවා ලෙස ගුරු හිමියන්ට හඟවයි.

එම භික්ෂුවගේ වඤ්චාසහගත නිසරු හැසිරීම ඉතා මැනවින් දැනසිටි ගුරු හිමියන් එක් දිනක් අවවාද කරනු ලබන්නේ තමා විසින් නොකරන ලද වත්පිළිවෙත් තමා විසින් සිදුකරන ලද්දේ යැයි ප්‍රකාශ කිරීම නොකළ යුතු බවයි. නිවැරැදිව මහණදම් පිරීම කළ යුතු බවයි. මින් කෝපයට පත් මෙම නොහික්මුණු භික්ෂුව මහ කසුප් තෙරුන්ගෙන් පළිගැනීමේ අදහසින් උන්වහන්සේගේ ඉතා කුළුපග දායක නිවසකට ගොස් තම ගුරුහිමියන් අසනීප බව පවසා තමා කැමැති ආහාර පිළියෙළ කරවාගෙන එම ආහාර ගෙන නිහඬව සිටියේ ය.

පසු දින මෙම පුවත දැනගත් මහකසුප් මහතෙරුන් පැවිද්දන් විසින් දායකවරුන්ගෙන් අවශ්‍යතා කියා ඉල්ලා වැළ¼දීම නුසුදුසු බවත්, එබඳු දේ නොකළ යුතු බවත් අවවාදාත්මකව ප්‍රකාශ කිරීමෙන් පසු එම භික්ෂුව මහත් කෝපයට පත්විය. ගුරු හිමියන්ගෙන් පළිගැනීමට පෙළැඹුණි. පසු දින මහකසුප් මහ තෙරුන්වහන්සේ අනෙක් භික්ෂුව සමඟ පිඬු පිණිස වැඩම කරන ලද අතර කෝපයට පත්ව පළිගැනීමේ අපේක්ෂාවෙන් සිටි දඩබ්බර භික්ෂුව පොලු මුගුරු වලින් ගසා විහාරස්ථානයෙහි තිබූ සියලු භාණ්ඩ විනාශ කරන ලද්දේ විහාරස්ථානයට ගිනි තබා පලාගියේ ය.

මෙම සිදුවීමෙන් පසුආසන්න දිනක රජගහනුවර සිටි භික්ෂු පිරිසක් සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩමවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ දැක වැඳපුදා ගැනීම සඳහා ය. තථාගතයන් වහන්සේ සිරිත් පරිදි එම භික්ෂුන් සමඟ පිළිසඳරෙහි යෙදෙමින් රජගහනුවර පිප්පලි ගුහාවෙහි වැඩවසන මහකසුප් මහතෙරුන් පිළිබඳ තොරතුරු විචාරණ ලදහ. එහි දී එම භික්ෂුන් විසින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට උන්වහන්සේගේ අතවැසි ශිෂ්‍ය භික්ෂුවකගෙන් සිදු වූ පාපකාරී ආරාම විනාශය පිළිබඳව ප්‍රකාශ කරන ලදි.

මෙම බිහිසුණු සිදුවීම පාදක කොටගත් තථාගතයන් වහන්සේ එම භික්ෂූන් අමතමින් “එක්ව විසීම සඳහා තමාට වඩා ගුණ දහමින් වැඩි හෝ සමාන වූ කල්‍යාණ මිත්‍රයෙකු සොයාගත නොහැකි විට තනිවම ජීවත්වීම ඉතා යහපත් බව” දේශනාකොට වදාළහ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk