[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර දුකින් එතෙර වීමට සිව්සස් දහම

සසර දුකින් එතෙර වීමට සිව්සස් දහම

“මහණෙනි, අනාර්ය වූ, ග්‍රාම්‍ය දහමක් වූ, පෘථග්ජනයන් විසින් සේවනය කරන්නා වූ, ආර්යයන් සතු නොවූ, අවැඩ පිණිස වූ, කාම වස්තූන් කෙරෙහි ඇලීම නම් වූ කාමසුඛල්ලිකානුයෝගය ද, දුක් වූ , ආර්යයන් සතු නොවූ, අවැඩ ඇසුරු කළ, ශරීරය පෙළීමෙහි පුන පුනා යෙදීම නම් වූ අත්ථකිලමථානුයෝගය ද යන මේ අන්ත දෙකම සේවනය නොකළ යුතු ය.

මහණෙනි, තථාගතයන් විසින් මේ අන්ත දෙකට නොපැමිණ පැණැස ඇති කරන, නුවණැස ඇති කරන, මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ එය කෙලෙස් සන්සිඳුවීම පිණිස, වෙසෙස් දැනුම පිණිස, චතුරාර්ය දැනුම පිණිස, නිවන් පිණිස පවතී.”

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයෙන්, වීර්යයෙන්, ඥාන දර්ශනයෙන් තමන් වහන්සේ විසින් ම අවබෝධ කොට ගත් ගැඹුරු ධර්මය, ප්‍රථමයෙන් දේශනා කළ යුත්තේ කවරෙකුට දැයි සිතා, තමන් වහන්සේ ධර්මය සොයා යන ගමනේ දී උපකාරී වූ ආලාරකාලාම පළමුව ද, උද්දකරාමපුත්ත දෙවනුව ද, සිහිපත් වූ නමුත් ඒ වන විට ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නොමැති බව දැන, සය වසරක දුෂ්කර ක්‍රියා සමයේ දී උපකාරී වූ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ මිගදායේ සිටින බව දැන ඔවුන් සොයා එහි වැඩම කළ සේක.

බුදුරජාණන් වහන්සේ වැඩම කරනා ආකාරය දුර සිටම දුටු පස්වග තවුසෝ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වීර්යය අත්හැර කාමසුඛල්ලිකානුයෝගීව සිට දැන් අප කරා එයි. පෙර ගමන් නොකිරීමටත්, නොවැඳීමටත්, උවටැන් නොකිරීමටත් කතිකා කර කැමති නම් අසුන් ගැනීම සඳහා අසුනක් පමණක් පැනවූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ සමීපවත්ම කතිකා කරගත් පරිදි ක්‍රියා කිරීමට නොහැකි වූ ඔවුහු පසුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ වග දැන ධර්මය ඇසීමට එකඟ වූ හ.

බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී මිනිසුන් අතුරෙන් පස්වග තවුසෝ එළිමහන් පෙදෙසක රැස්ව ධර්මය ශ්‍රවණයට සූදානම් වූ හ. දෙව්බඹුන් සහිත පිරිසක් ද ඊට සහභාගි වූ හ. තථාගතයන් වහන්සේ මේ පිරිසට දේශනා කොට වදාළ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සුත්ත නම් විය. ධම්ම යනු ඥානයයි. චක්ක යනු පැවැත්මයි. ඥානය චක්‍රාකාරව පැවතීම ධම්මචක්කපවත්තන සූත්‍රයයි. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රීමුඛ පද්මය විවෘත කොට බ්‍රහ්මස්වරයෙන් ධර්ම දේශනාව ආරම්භ කළ විට සියලු ශබ්ද නැවතී දැඩි නිශ්ශබ්දතාවක් පරිසරය තුළ ඇති විය. සියලු සිවුපා සතුන් මෙන්ම පක්‍ෂීහු ද නිහඬව සිටි තැන්හිම උන්හ.

මෙම සූත්‍ර දේශනාවට අනුව ආර්ය සත්‍ය සතර ප්‍රත්‍යක්‍ෂ කොට අවබෝධ කර ගැනීමට නම් කාමසුඛල්ලිකානුයෝගය හා අත්ථකිලමථානුයෝගය යන අන්ත දෙකින් බැහැර විය යුතු බව තථාගතයන් වහන්සේ විසින් මුලින්ම වදාරණ ලද සේක. කාමසුඛල්ලිකානුයෝගය නම් අනාර්ය වූ, හීන වූ, ලාමක වූ, පුහුදුන් අය විසින් සේවනය කරනු ලබන ග්‍රාම්‍ය වූ පංචකාමයේ ඇලීමයි. කම් සැපයෙහි දොස් අනන්ත ය. නානාවිධ දුක් කරදර ඇතිවීමට මුල් වේ. බියකරු ය. කෑ විටම දිවි නසන විෂ ඵලයක් බඳුය. ගිනි ජාලාවක් බඳු ය. ආර්යයන් සඳහා නොවූ , අවැඩ ඇසුරු කරන්නා වූ සිරුර පෙළීමෙහි නැවත නැවත යෙදීම අත්තකිලමථානුයෝගයයි. දැඩි වූ දුක් උපදවන දෙයෙහි ඇලීමයි. කටුක දුක් දෙන තපස් ව්‍රතයන්හි යෙදීමයි. මෙම අන්ත දෙකෙන් ම මිදීි මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීමෙන් කෙලෙසුන් නසා, ආර්ය සත්‍යාවබෝධය ලබා, නිර්වාණාවබෝධය ලද හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

ඒ නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත, අරිඅටගි මගමැයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඒ අරිඅටගි මගයි. ප්‍රඥාව, නුවණැස ඇති කරන මේ මැදුම් පිළිවෙත තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්සිඳුවීම පිණිස, චතුරාර්ය සත්‍යය දැනුම පිණිස, නිවන් පිණිස පවතී.

ආර්ය සත්‍ය සතර නොදැනීම නිසා, ප්‍රත්‍යක්‍ෂ කර නොගැනීම නිසා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි නැවත නැවත ඉපදෙමින් සංසාරයේ ඔබ මොබ ඇවිදීමට සිදු විනැයි තථාගතයන් වහන්සේ වදාළ සේක. දීර්ඝ සසර තුළ සත්වයෙකු නරකයන්හි ප්‍රේතව, තිරිසන්ව ඉපිද ලබා ඇති දුක් ප්‍රමාණය ගණන් කළ නොහැක්කේ ය. සත්‍යාවබෝධය නොකළ හොත් මතු සංසාරයෙහි ද බොහෝ දුක් විඳීමට සිදු වේ. එනිසා අනාගතයට විඳීන්නට සිදුවිය හැකි දුකින් නිදහස් වීමට මගක් සෙවීම සඳහා කටයුතු කළ යුතු ය. එයට ඇත්තා වූ එකම මාර්ගය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි. චතුරාර්ය සත්‍ය ඉතා ගැඹුරු ය. අවබෝධ කර ගැනීම පහසු නොවේ. එහෙත් මොන දුකක් විඳ හෝ එය කළ යුතු ය.

චතුරාර්ය සත්‍ය හෙවත් ඇත්ත සතරෙහි පළමු වැන්න දුක්‍ඛ සත්‍යයයි. ඉපදීම දුක ය, ජරාව දුක ය, ව්‍යාධි දුක ය, මරණ දුක ය. අප්‍රියයන් හා එක්වීම දුක ය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක ය. කැමති දෑ නොලැබීම දුක ය. සැකෙවින් ගත් විට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචඋපාදානස්කන්ධයම දුක ය.

ඇත්ත සතරෙහි දෙවැන්න දුක්‍ඛ සමුදයාර්ය සත්‍යයයි. දුකට හේතුව වූ කාම, භව, විභව යන ත්‍රිවිධාකාර තෘෂ්ණාවෙහි ඇලීමයි. කාම තණ්හා යනු පංචකාමයේ ඇලෙන තෘෂ්ණාවයි. මෙලොව සැප විඳීය යුතුය යන හැඟීමයි. භව තණ්හාව යනු ශාස්වත දෘෂ්ටි සහගත තෘෂ්ණාවයි. මේ සැප කිසි දිනෙක නැති නොවන්නේ යැයි සිතා සැප විඳීිමයි. විභව තණ්හාව යනු උච්ඡේද දෘෂ්ටි සහගතව හටගන්නා තෘෂ්ණාවයි.

දුක්‍ඛ නිරෝධාර්ය සත්‍යය යනු දුක ඉපදීමට හේතුව වූ තෘෂ්ණාවේ නිරෝධයයි. නසා ලීමයි. දුරු කිරීමයි. අත්හැරීමයි.

දුක්‍ඛ නිරෝධ මාර්ග සත්‍යය යනු දුක්‍ඛ නිරෝධය හෙවත් නිර්වාණයට පැමිණීමේ මාර්ගයයි. ලෝකයේ ඇති සෑම දුකකටම හේතුවන තෘෂ්ණාව නැති කිරීම සඳහාත්, සසරෙහි නැවත නැවත ඉපදීම වැළකීම සඳහාත් සැබෑ සැපයට පමුණුවන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධි යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කොට සත්‍යාවබෝධය ලබා නිවන් සුවය ලැබීමට තිර අදිටනකින් යුතුව ධර්මයේ හැසිරීමට අපි ද උත්සාහවත් වෙමු. තෙරුවන් සරණයි.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk