[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා ගමන් මාලිගාව

දළදා ගමන් මාලිගාව

අස්ගිරි මහා විහාර පරිශ්‍රයේ පිහිටා තිබෙන සුවිශේෂ ස්ථාන අතර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය ඓතිහාසික වශයෙන් ද, පූජනීයත්වයෙන් ද සැදැහැවතුන්ගේ ගෞරවයට යොමු වන පුණ්‍ය භූමිය කි.

ඓතිහාසික සෙංකඩගල පුර මහනුවර නගරය ඉදිකරනු ලැබුවේ හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු දවස සිරිවර්ධන සෙනවිරත් සේනාපති කුමරු විසිනි. මෙම නගර නිර්මාණයත් සමඟ ඉදිකළ ආගමික මධ්‍යස්ථානයක් ද විය. එම ආගමික මධ්‍යස්ථානය එදා සිට අද දක්වා හඳුන්වනු ලබන්නේ අස්ගිරි මහ වෙහෙර නමිනි. අස්ගිරි විහාරයට එම නාමය ලැබී ඇත්තේ මීට අවුරුදු හත්සියයකට පෙර, එනම් 1312 වර්ෂයේ සෙංකඩගල නුවර අභිනවයෙන් ඉදිකරන ලද ආරණ්‍ය සේනාසනයට භික්ෂූන් වහන්සේ වැඩම කරනු ලැබූ යාපහුපුර අච්ඡගිරි හෙවත් අස්ගිරි විහාරවාසී භික්ෂූන් නිසා ය. මෙරට අවුරුදු සියයක් සම්පූර්ණ වූ යම් ඉදිකිරීමක් වේ නම් එය පුරාවස්තුවක් වශයෙන් ඇගයීමට යොමු වේ. ඒ අනුව අවුරුදු හයසියයකට අධික කාලයක් ගත වූ නිර්මාණයකට සුවිශේෂ ඇගයීමක් හිමි විය යුතු ය. එබඳු සුවිශේෂ ස්ථානයක් වශයෙන් අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය පිළිබඳ සැලකීමේ දී 2013 වර්ෂයට අවුරුදු හයසියපනහක් සපිරිණි.

පේරාදෙණි පුරය රාජධානිය කරගෙන සිටි තුන්වන වික්‍රමබාහු මහ රජතුමා ස්වකීය මෑණියන් වූ චන්ද්‍රාවතී බිසව අභාවයට පත් වූ පසු ඇය සිහිවීමට සිදුකළ විශේෂ පුණ්‍ය කර්මය වූයේ ඓතිහාසික ගෙඩිගේ විහාරය ඉදි කර පූජා කිරීම යි. ආරම්භයේ දී මෙම විහාරය ඉතාමත් දැකුම්කළු විහාරස්ථානයක් වශයෙන් පැවැති බව සිතිය හැකි ය. ඊට හේතුව විහාර පරිශ්‍රය උඩ මළුව, මැද මළුව, පහත මළුව වශයෙන් මළු තුනකට නිර්මාණය කර තිබීම යි. තව ද මෙම ගෙඩිගේ විහාර පරිශ්‍රය එකල ග්‍රන්ථධූරික මහා සංඝරත්නයට වැඩ විසීමට යෝග්‍ය සෙනසුන් තැනීමට යොදාගෙන තිබිණ. ගෙඩිගේ වෙහෙර ඉදිකිරීමෙන් පසු දිඹුලාගල සඟ පරපුරෙන් පැවත ආ ධර්ම කීර්ති තෙරුන් වහන්සේට එය පිරිනමා ඇත්තේ 1363 වර්ෂයේ දී ය. වික්‍රමබාහු මහ රජතුමාගෙන් ගෙඩිගේ විහාරය බාරගත් ධර්මකීර්ති මහා ස්වාමීන් වහන්සේගේ පටන් ඉතිහාසය පුරා මෙම විහාරස්ථානයේ වැඩ සිටි මහා සංඝරත්නයේ විශේෂත්වය උන්වහන්සේලා ධර්මධර, විනයධර මහ තෙරුන් වහන්සේලා වශයෙන් කටයුතු කර තිබීම ය. නරේන්ද්‍රසිංහ මහ රජතුමා කුමාර අවධියේ අකුරු ඉගෙනීමට යොමු කර ඇත්තේ ගෙඩිගේ රාජමහා විහාර වාසී ගොලහැංවත්තේ රාජගුරු ධර්මකීර්ති මහ තෙරුන් වහන්සේ වෙත ය. අකුරු උගත් කුමරු රජකම ලැබූ පසු ගුරු හිමියන් අමතක නොකර සුවිශේෂ ගුරු පූජාවක් කර ඇත. එනම් ධර්මකීර්ති මහ තෙරුන් ප්‍රමුඛ එම විහාර පරපුරේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට භුක්ති විඳීමට හැකිවන අයුරින් විශාල ගම්වරයක් පුද කිරීමයි.

එම භූමි පූජාවට ඇතුළත් ගොඩ මඩ ඉඩම් ගෙඩිගේ විහාරය අවට පමණක් නොව කටුගස්තොට පෙදෙසේ ද පවතී. ගෙඩිගේ විහාර තඹ සන්නසට අනුව ගෙඩිගේ වෙහෙරට පුද කර තිබෙන ඉඩම් මායිම් එක් පැත්තකින් උඩවත්ත ද, අනෙක් අතට බහිරව කන්ද ද සීමා දක්වා ඇත. ගොලහැංවත්තේ ධර්මකීර්ති මහ තෙරුන් වහන්සේ මෙන්ම ගෙඩිගේ විහාර පරිශ්‍රයේ වැඩ සිටි ගොලහැංවත්තේ ධම්මදස්සී තෙරුන් වහන්සේ ද ධර්මධර මහා යතිවරයෙකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් සියමේ ධාර්මික රජතුමා වෙත උපසම්පදාව සඳහා භික්ෂුන් වහන්සේලා ඉල්ලා රාජ සංදේශය පාලි භාෂාවෙන් ලියා ඇත්තේ ධර්ම ශාස්ත්‍රධාරී ධම්මදස්සී තෙරුන් වහන්සේ විසිනි.

අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය හෙවත් දළදා ගමන් මාළිගාව වෙනත් රජමහා විහාරස්ථානවලට නොලැබෙන පූජනීයත්වයක් ලබා ඇත. ඒ පූජනීයත්වය හිමි වන්නේ දළදා වහන්සේ ප්‍රධාන කොටගෙන ය.

දළදා ගමන් මාළිගාව

මීට සියවස් හතරකට පමණ ඉහත දී පළමුවන විමලධර්මසූරිය මහ රජතුමා දවස රත්නපුර, කුරුවිට දෙල්ගමු රජමහා විහාරයේ සිට දළදා වහන්සේ මහනුවරට වැඩම කර වර්තමාන දළදා මාලිගාවේ තැන්පත් කිරීමට පෙර තැන්පත් කරනු ලැබ ඇත්තේ අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයේ ය. එම පුණ්‍ය කටයුත්ත එදා අනිවාර්යයෙන් ම සිදුකෙරෙන්නට ඇති බව සනාථ වන්නේ වර්තමානයේ ද දළදා වහන්සේ වෙනුවෙන් පෙරහර කරඬුව දළදා පෙරහර අවසාන වන දිනයේ රාත්‍රී ගෙඩිගේ විහාරයේ තැන්පත් කර මාළිගාවේ සිදු කෙරෙන පුද සිරිත් එදිනට ගෙඩිහේ විහාරයේ දී ද සිදු කෙරෙන බැවිනි.

දළදා මාළිගාවේ තැන්පත් පෙරහර කරඬුව අලි ඇතුන් සහිතව සුවිශේෂ පෙරහරකින් ගෙඩිගේ විහාරයට වැඩමවා විහාරයෙහි තැන්පත් කිරීමෙන් අනතුරුව එම පෙරහර කරඬුව නැවත දළදා මාලිගාවට වැඩම කරනු ලබන්නේ පසු දින දවල් මහ පෙරහරෙනි. දළදා වහන්සේ වෙනුවෙන් පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කළ පසු උදේ සහ දවල් මහ බුද්ධ පූජාව ප්‍රධාන වශයෙන් රැගෙන එනු ලබන්නේ ශ්‍රී දළදා මාළිගාවෙනි. දළදා මැදුරේ ආවතේව කරන රාජකාරී පිරිස නියමිත නිල ඇඳුමෙන් සැරසී පෙරහරෙන් රැගෙන එන මුල් තැන් පූජාව ගෙඩිගේ විහාරයේ දී පූජා කරනු ලබන්නේ දළදා මාළිගාවේ පුද සිරිත්වලට අනුකූලව ය. එම පූජාව තැන්පත් කිරීමෙන් අනතුරුව අතිගරු අස්ගිරි මහානායක මහා ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය බුද්ධ පූජාව පූජා කරති.

දළදා මැදුරේ රාජකාරියේ නියුතු හේවිසි කරුවෝ හේවිසි පූජාවෙන් ද, කවිකාර මඬුව දළදා වරුණ ඉදිරිපත් කිරීමෙන් ද, යුතුව මහා බුද්ධ පූජාව ගෙඩිගේ විහාරයේ දී පවත්වන එම අවස්ථාව මහනුවර සිරි දළදා මැදුරේ අසිරිය සිහිපත් කරන්නකි. අස්ගිරි මහ වෙහෙර වාසී අති පූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ද දියවඩන නිළමේ ද , බස්නායක නිළමේ වරු ද ගෙඩිගේ විහාරය හෙවත් දළදා ගමන් මාළිගාව ඉදිරිපිට මුර නියම කරන අවස්ථාව ද මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එම මුර නියම කරනු ලබන්නේ දළදා පෙරහර කරඬුවේ ආරක්ෂාවට සහ ගෞරවනීය උපහාරය ඉහළින් ම දැක්වීම පිණිස ය. පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කර තිබෙන කාල සීමාව තුළ නොකඩවා හේවිසි ශබ්ද පූජාව පැවැත්වීම විශේෂ පූජාව කි. මෙහිදී සිදු කෙරෙන කාර්යයන් අතර ගැටඹේ තොටට දිය කැපුමට යාමට නියමිත රාජකාරී පවරනු ලබන්නේ ද ගෙඩිගේ විහාරයේ දී වීම සුවිශේෂී අවස්ථාව කි.

සියම් සම්බන්ධතාවය

සියම් උපසම්පදාව සඳහා 1753 ලක්දිවට වැඩම කළ සියම් උපාලී මහතෙරුන් වහන්සේ සමඟ පැමිණි සියම් ජාතික බ්‍රහ්මජෝති, සාරචන්ද්‍ර මණිජෝති යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අස්ගිරි ගෙඩිගේ විහාරයේ වස් වසා ඇත. එම වස් කාලය අවසානයේ ගෙඩිගේ විහාරයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ සහභාගීත්වයෙන් සියම් උපාලි මහතෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙතිස් රියන් දිග අටවිසි රියන් පළල බද්ධ සීමාවක් සම්මත කර ගෙන ඇත. මෙම බද්ධ සීමාව අද ද ගෙඩිගේ විහාරය ආසන්නයේම ඇත. සියම් උපාලි මහ තෙරුන් වහන්සේ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ආදාහනය කටයුතු සිදු කර ඇත්තේ රාජකීයයන්ගේ ආදාහන කටයුතු සිදු කෙරුණ ගෙඩිගේ විහාරය හා සමීප මැද මළුවේ දී ය. උන්වහන්සේ වෙනුවෙන් ගොඩනැංවූ තායිලන්ත ස්මාරකයට ගෞරව දැක්වීමට තායි ජාතික සැදැහැවතුන් ගෙඩිගේ විහාරය වෙත නිරන්තරයෙන් පැමිණෙති.

චන්ද්‍රවතී බෝධීන් වහන්සේ

ගෙඩිගේ රාජමහා විහාරයේ පිහිටි බෝධීන් වහන්සේ රාජ පූජිත බෝධීන් වහන්සේ නමකි. තුන් වන වික්‍රමබාහු මහ රජතුමාගේ මෑණියන් ආදහනය කළ ස්ථානයේ මෙම බෝධීන් වහන්සේ හඳුන්වනු ලබන්නේ චන්ද්‍රවතී බෝධීන් වහන්සේ නමින් ය.

වාරියපොළ සුමංගල නා හිමි

අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයේ වැඩ විසූ ඉදවලුගොඩ ධම්මපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද, උප සඟරාජ පදවියෙන් පිදුම් ලැබූ යතිවරයෙකි. අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය, දරාඬ රාජමහා විහාරය, වාරියපොළ රාජමහා විහාරය, දෙමරලාව රාජමහා විහාරය,, නිත්තවෙල රාජමහා විහාරය, ගල්මඩුව රාජමහා විහාරය, තලාව රාජමහා විහාරය, ගලපිටමඬ රාජමහා විහාරය, හන්තාන රාජමහා විහාරය, ගිනිකරාව රාජමහා විහාරය යන විහාර දහයක ආධිපත්‍ය දරා ඇත. වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි ද ගෙඩිගේ විහාරයේ වැඩවිසූ ඉදවලුගොඩ ධම්මපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය වරයෙක් වීම ගෙඩිගේ විහාර සංඝපරම්පරාවට ගෞරවයකි.

මෙහි ඉතිරි කොටස නිකිණි අව අටවක පෝදා ( අගෝස්තු 23) පත්‍රයේ පළවේ

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk