[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිම් නැති ගුණ ඇති අම්මා : මගේ පැවිදි දිවිය අර්ථවත් කළේ අම්මාගේ ආශිර්වාදය යි

මගේ පැවිදි දිවිය අර්ථවත් කළේ අම්මාගේ ආශිර්වාදය යි

ශාස්ත්‍රපති පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි හිමියන්, බොදු දන සිත සුව පිණිස සදහම් මඟ දේශනා කරන ව්‍යක්ත ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස බොදු ජනතාවගේ නමස්කාර පූර්වක ගෞරවයට පාත්‍ර වූ හිමි නමකි. පොල්පිටි මූකලාන අශෝකාරාම විහාරවාසී හා සිරි විමලසිරි ඉංගී‍්‍රසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන් වන උන්වහන්සේ තමන් වහන්සේගේ මෑණියන් ගැන කී කතාවයි මේ.

පුංචි දරුවෙකුට අම්මා, තාත්තා තරම් වටිනා සම්පතක් තවත් තියෙනවා ද? තමන්ගේ ජීවිතයේ දකින උතුම් ම වීරවරිය අම්මා. ශ්‍රේෂ්ඨම වීරයා තාත්තා . මටත් ඒ වගේ. මට මතකයි, පුංචි කාලේ මගේ ලෝකයේ වීරවරිය මගේ අම්මා. තාත්තා තරම් වීරයෙක් මට සිටියේ නෑ. නෑදැයන්, සහෝදර සහෝදරියන්, යහළුවන් හැමෝම ගත්තේ දෙවැනි තැන.

මගේ අම්මා පින්නගොඩගේ කමලා පෙරේරා. මට හැම මොහොතකම ඕනෑ වුණේ මගේ අම්මා වගේ වෙන්න. ඒ නිසාම අම්මාගේ උතුම් ගතිගුණවලට මමත් හුරුපුරුදු වුණා. ඒවා මගේ ජීවිතයට සමීප කර ගත්තා. අම්මා තරම් දිරිය කාන්තාවක් මේ ජීවිතයේ දී මුණ ගැසී නැති බවයි මට නම් සිතෙන්නේ. අපේ පවුලේ දරුවෝ හය දෙනෙක්. පිරිමි දරුවො හතර දෙනයි. ගැහැණු දරුවො දෙන්නයි. චූටි නංගි ඉපදිලා වැඩි කාලයක් යන්න කලින් තාත්තා මිය ගියා. ඒ වන විට මම ඉගෙන ගත්තේ පස්වැනි පන්තියේ. දරුවන් හය දෙනෙක් දුකක්, කරදරයක් නොදී රැකබලා ගන්නා අතරේ, හොඳ අධ්‍යාපනයක් ලබාදෙන අතරේ අම්මා ධෛර්යවත් ව ජීවිතයට මුහුණ දුන්නා. අම්මාට මොන තරම් අපහසුතා දැනෙන්නට ඇති ද? ඒත් කිසි දවසක ඒ ගැන දුක් වෙනවා මා දැක නෑ.

අම්මා අපට හරිම ආදරෙයි. ඒ වගේ ම විනයගරුකයි. ගුණගරුකයි. දරුවන්ගෙනුත් ඒ ගුණ ධර්ම බලාපොරොත්තු වුණා. අපි අතින් වරදක් වෙන හැම මොහොතෙම ඇය තදින් ම කටයුතු කළා. ඒ කාලේ හැමදාම හවස හය වනවිට අපි ගෙදර බුදුන් වඳින්න ඕනෑ. හැමෝටම එක එක වැඩ පැවරුණා. එක්කෙනෙක් මල් කඩනවා. තව කෙනෙක් ගෙදර අතු ගා පිරිසුදු කරනවා. තවත් කෙනෙක් සුවඳ දුම් අල්ලනවා. මට පැවරුණේ කහ දියර ඉසීම. ඒ කාලේ අද වගේ කහ කුඩු ටිකත් කඩෙන් මිල දී ගත්තේ නෑ. අපේ වත්තේ කහ වගා කරලා තිබුණා. කහ අලයක් උරච්චි කරලා තමයි කහ කුඩු සකස් කරගත්තේ බුද්ධ වන්දනාවේ දී එකම ගාථාවක් තුන්වතාවක් කියන්න ඕනෑ. තුන් සූත්‍රය, ජය මංගල ගාථා සජ්ඣායනා කරන්න ඕනෑ. මේ විදිහට බුද්ධ වන්දනාවට පැයක්වත් ගත වෙනවා. එය අපේ ගෙදර අනිවාර්ය නීතියක්.

මේ පුරුද්ද නිසා ඉස්කෝලේ පළවැනි පන්තියේ දී මට තුන් සූත්‍රයම කට පාඩම්.

අම්මා අපට හැම අවවාදයක් ම දුන්නේ මුලින් ආදර්ශවත්වයි. මොන තරම් වැඩ කටයුතු තිබුණත් අම්මා ගෙදර ඉවුම් පිහුම් අවසන් වෙලා නිදහසේ බුද්ධ වන්දනාව සිදු කරනවා, අපි පුංචි කාලයේ සිටම අම්මා වෙතින් දුටු ගුණාංගයක්.

මා උතුම් පැවිදි ජීවිතයට ඇතුළත් කරන්න මැදිහත් වුණේ මගේ ලොකු අම්මා. (මහම්මා) අම්මා ඊට විරුද්ධ වුණේ නෑ. ආශිර්වාද කළා. ඒත් එක් අවවාදයක් දුන්නා. ඒ කවදාවත් චීවරය අතහැර නොයන ලෙසට. ඒ වගේම පැවිදි වූ දා පටන් අම්මා සෙවණැල්ලක් වගේ මා පසුපසින් සිටියා. අද මම බුද්ධ ශ්‍රාවකයෙක් ලෙස යම් තැනක සිටිනවා නම් ඒ, මගේ අම්මා නිසයි.

විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ඇතැම් අවස්ථාවල විවිධ සිදුවීම් නිසා මා මානසික වධ වේදනාවන්ට මුහුණ දුන්නා. ඒ හැම මොහොතක ම සම්බුද්ධ චීවරය දරාගෙන ඉන්නට මා තුළ ධෛර්ය, දිරිය ශක්තිය ඇති කළේ මගේ අම්මා. බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන් වහන්සේ හමුවීමත් පැවිදි ජීවිතය ශක්තිමත් කර ගැනීමට බලපෑමක් වුණා. උන්වහන්සේට මිනිසුන් ගෞරවය කරන ආකාරය, සලකන ආකාරය දැකලා ඒ වගේ භික්ෂු ජීවිතයක් ගත කළොත් මා ද ඒ වගේ ගෞරවනීය තැනකට පත්වෙයි කියලා මට සිතුණා. එදා ඒ සිතිවිල්ල මගේ ජීවිතයට ඉතා යහපත් බලපෑමක් වුණා. යම් හෙයකින් මා උපැවිදි වුණා නම් මට අද බොහෝ පසුතැවෙන්න වෙනවා. එය සංසාරික පාඩුවක්. ලෙහෙසියෙන් සම්බුද්ධ ශාසනයකට එන්නට ලැබෙන්නේ නෑ.

පුංචි කාලේ වගේ ම අසනීපයක් වෙන හැම මොහොතකම මට මතක් වෙන්නේ මගේ අම්මා. පැවිදි දිවියේ වුණත් එදා වගේ ම අදත් මගේ වෛද්‍යවරිය මගේ අම්මා. අම්මාගේ උපස්ථානය මට මහා ආශිර්වාදයක්. මානසික සුවයක්.

මම පුංචි කාලේ ටික කලක් හිටියේ මහම්මාගේ ගෙදර. අපේ ගෙදර සිට කිලෝමීටරයක් විතර දුරයි. ඒත් මම හැමදාම ඉස්කෝලේ යන්න කලින් අම්මාට වැඳලා ආශිර්වාද ගන්න ගෙදර එනවා. ‘මගේ රත්තරන් පුතාට හොඳට ඉගෙන ගෙන රටට, ජාතියට, ආගමට වැඩදායක දරුවෙක් වෙන්න ලැබේවා කියාල අම්මා ආශිර්වාද කරනවා.

අපේ අම්මා තරුණ කාලේ හරිම පියකරු කාන්තාවක්. අකුරැස්ස නගරයේ ප්‍රධාන ස්ටුඩියෝ එකක අම්මගේ ඡායාරූපයක් බොහෝ කාලයක් තිබුණා. අදත් අම්මා වෙතින් මා දකින්නේ ඉතාම පින්වන්ත, කරුණාවන්ත පෙනුමක්.

උසස් අධ්‍යාපනයක් නො ලැබුවත් දරුවන් හදාවඩා ගැනීමේ දි අම්මාට තිබුණු දැනුම, බුද්ධිය, මොනතරම් ද කියලා ප්‍රමාණය කරන්නට නො හැකියි. දරුවන් සය දෙනෙක් සමාජයට වැඩදායී පුරවැසියන් බවට පත් කරන්නට, මුනුබුරු– මිනිබිරියන්ට පවා ආදර්ශයක් වන ලෙස ජීවිතය පවත්වාගෙන යන්න අම්මා තුළ තිබෙන දැක්ම අදටත් පුදුම සහගතයි.

මගේ අම්මා තමන්ගේ අයට වගේම අනුන්ටත් කරුණාවන්තයි. ඒ වගේම කාගේ හෝ දුකක දී කරදරයක දී හරිම සංවේදීයි. ගමනක් යන වෙලාවක වුණත් පාරතොටක කවුරු හෝ සිටියොත් වාහනයට ගොඩ කරගෙන උදව් කරන්න අම්මා කිසදු අවස්ථාවක පැකිළෙන්නේ නෑ.

ඒ කාලේ අම්මාගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් බොහෝ වෙලාවට හැදුණේ වැඩුණේ අපේ ගෙදර. ඒ හැමෝගෙම කෑමවේල සැකසුණේ අම්මා අතින්. තාත්තා මිය ගිය නිසා ආර්ථික ප්‍රශ්නවලින් ගොඩ එන්නට අම්මාට රැකියාවක් කරන්න සිදු වුණා. රැකියාවට ගියත් දරුවන්ට, ඤාතීන්ට වෙන්නට තිබුණු යුතුකම් අම්මා අතින් කිසිඳු මොහොතක අතපසු වුණේ නෑ. මොන තරම් අමාරුකම්, අපහසුතා දැණුනත් ඇය යුතුකම්, වගකීම්වලට දෙවැනි තැන දුන්නේ නෑ. අම්මගේ මව්පියන් ජීවත් වුණේ අකුරැස්සේ. මොන තරම් කාර්යබහුල වුණත් මාසයකට වතාවක් හෝ අම්මා, තාත්තා බලන්න යන්න අම්මා අමතක කළේ නෑ. වැඩිහිටියන්ට සලකන හැටි ගැන අම්මා ආදර්ශයෙන් ම අපට ඉගැන්වූවා. අද වුණත් අපට යම් යම් දේ අමතක වී ගියත් ඤාති සම්බන්ධතා අමතක නො කරන්නට, යුතුකම් ඉටුකරවන්නට අම්මා අප උනන්දු කරනවා.

පුංචි කාලේ සිට ම මම අම්මා වෙතින් දුටුවේ බුදු දහමට ලැදි, ශ්‍රද්ධාවන්ත මවක්. පන්සල සමඟ ඇය බොහොම සමීපයි. දහම් දේශනා අසන්නට, දහම් පොත පත කියවන්න, භාවනා කරන්න අම්මා අදටත් කැමැතියි.

ඇතැම් පුංචි ළමයි අම්මා, තාත්තා දඬුවම් කරනවිට තරහක්, කෝපයක් ඇති කරගන්නවා. අප පුංචි කාලේ, පුංචි වරදක් කළත් අම්මා අනිවාර්යයෙන්ම අපට දඬුවම් කරනවා. පුංචි වරදකටත් කෝටු පහර වදිනවා. ලොකු වැරැදිවලට ලොකු කෝටු පහර . පොඩි වැරැදිවලට පොඩි කෝටු පහර. ඒත් අප කවදාවත් අම්මා ගැන තරහක් සිතුවේ නෑ. දඟකාරකම් අඩු කළේත් නෑ. ඒත් හැම දඟකාරකමක් ම ගෙදරට විතරයි. පාසලේ දී අප හරිම කීකරු ළමයි. අද මට සිතෙන්නේ, අපේ පවුලේ හැම දරුවෙක් ම හොඳ මඟ ගියේ අම්මාගේ ආදරය, කරුණාව වගේ ම වරදේ දී දඬුවම් දී අප නිවැරැදි කළ නිසා බවයි.

මා පුංචි කාලේ, පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න කලින් සමහර දිනවල අම්මා සමඟ ඔට්ටු දුවනවා. අම්මා මා පසුකරගෙන දුවනවා. ඒත් දැන් මගේ අම්මාට අවුරුදු අසූවත් ළං වෙලා. අද ගෙදර ගිහින් දොර අරින්න කීවත් අම්මාට දොර ළඟට එන්නත් වෙලාවක් ගත වෙනවා. ජීවිතයේ ස්වභාවය එයයි. මොන තරම් වයසට ගියත් අම්මාගේ නිර්භීතකම, අසාධාරණයේ දී නිවැරැදි පැත්ත ගැනීම, කියන්න තිබෙන දේ මුහුණටම කීම අදටත් අම්මා වෙතින් දුරස් වී නෑ. මට හිතෙන්නේ මටත් ඒ ගතිගුණ ඒ වගේම තිබෙන බවයි.

අදත් අම්මා හැම දවසකම බොහෝ වේලාවක් ගෙදරදී බුද්ධ වන්දනාව සිදු කරනවා. අවසානයේ දී දරු මුණුබුරන් ඇතුළු පරම්පරාවේ සියලු දෙනාගේ නම් කියලා සෙත් පතනවා මට ඇසී තිබෙනවා.

බෞද්ධයන් ලෙස, බුද්ධ ශ්‍රාවකයන් ලෙස මේ සංසාරික ජීවිතය දිගු කර ගැනීම අපගේ අරමුණ නොවෙයි. ඒ නිසා දරුවන් ගැන වුණත් තණ්හාවක් ඇති කර නොගන්නට අම්මාට මම හැම මොහොතෙම සිහිපත් කරනවා. වයෝ වෘද්ධ කාලයෙත් ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්නට, ධර්මානුකූලව ජීවිතය දකින්නට අම්මාට උදව් කරනවා.

අම්මා මගේ ජීවිතයේ ශක්තියයි. අම්මා නොවන්නට මට උතුම් පැවිදි ජීවිතයක් නොවන බව නැවතත් කිව යුතුයි.

මොනතරම් දුරට ඉගෙන ගත්තත්, ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස ජනපි‍්‍රය වුණත් අදත් මම මගේ ගැටලු කියන්නේ මගේ අම්මාට. ඇය ගේ ඔවදන් අදටත් මට ශක්තියක්. අම්මා මට මහාචාර්යවරියක්.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk