[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක්: කුහකවත සහ එහි ස්වභාවය එහි ස්වභාවය

කුහකවත සහ එහි ස්වභාවය එහි ස්වභාවය

සමාජයේ ජීවත්වන බොහෝ පුද්ගලයන් ‘කුහක’ යන වචනයේ අර්ථය නිවැරැදිව දන්නේ නැත. එම වචනය අනෙකාට බැණවැදීම සඳහා භාවිත කරන අයහපත් වචනයක් බවට ඇතැමුන් සිතාගෙන සිටී. කුහක බව යනු, තමා තුළ නැති ගුණ තිබෙනවා සේ බාහිර සමාජයට පෙන්වීම යි.

බණ පොතේ සඳහන් ව ඇති කුහක සූත්‍රයේ දී මිනිසා තුළ පවතින කුහක ගතිගුණ දක්වා තිබේ .

1.තමා තුළ නැති යහපත් ගතිගුණ තමා ළඟ ඇති බවට ප්‍රකාශ කිරීම නිදසුනක් ලෙස පංචශීලය ආරක්ෂා නොකරන මිනිසා තමා පංචශීලය රකින්නේ යැයි කීම.

2.තමා තුළ නැති යහපත් ගතිගුණ තමා ළඟ ඇති බවට අනිකා ලවා ප්‍රකාශ කිරීම උදාහරණයක් ලෙස පංචශීලය ආරක්ෂා නොකරන මිනිසා තමා පංචශීලය ආරක්ෂා කරන බවට අන්‍යයා ලවා ප්‍රකාශ කිරීම.

3.තමා ළග නැති යහපත් ගතිගුණ තමා ළඟ ඇති බවට වචනයෙන් නොකියා වෙනත් ශරීර ඉරියව්වලින් ඇඟවීම. නිදසුනක් ලෙස පංච ශීලය ආරක්ෂා නොකරන මිනිසා තමා පංචශීලය රකින පුද්ගලයෙකු ලෙසට ඇඟවීම.

4.තමා තුළ නැති උතුම් ගතිගුණ තමා තුළ ඇති බවට සමාජයේ අන්‍යයන් ප්‍රකාශ කරන විට ඒ පිළිබඳව සතුටක් ඇතිකර ගැනීම. උදාහරණයක් ලෙස පංචශීලය ආරක්ෂා නොකරන අවස්ථාවලදීත් තමා පංචශීලය ආරක්ෂා කරන පුද්ගලයකු ලෙස අන්‍යයන් හඳුන්වා දෙන විට තමා පංචශීලය ආරක්ෂා කරන පුද්ගලයකු ලෙස සතුටක් ඇතිකර ගැනීම කුහකකමයි.

අන්‍යයා පිළිබඳව එම වචනය භාවිත කළ යුත්තේ ඉහත සඳහන් කළ සිව් ආකාරයේ අශුභ ලක්ෂණ හෝ ඉන් එකක් හෝ පුද්ගලයකු තුළ පවතින්නේ නම් පමණි. එම ගතිලක්ෂණ ඔහු හෝ ඇය තුළ නැතිනම්, කුහකයා යැයි කියූ පමණින් ඔහුට එය වදින්නේ නැත. තමා තුළ එබඳු ගති නොමැති නම්, තමා එය පිළිගත යුතු ද නැත.

කුහක සූත්‍රයේ දී පෙන්වනු ලබන්නේ කුහකයා ද ගුණ යහපත් මිනිසා ද නිවැරැදිව හඳුනාගැනීමේ අපහසුකම යි. එය ලේඛනයක මුල් පිටපත හා ඡායා පිටපත මෙන් දෙකම එකම වගේ ය .දෙකම එකම වගේ වුව ද එය දෙක කි. එකම වගේ වුවද, එය දෙකක් ලෙස හඳුනා ගැනීමට නොහැකි වුවහොත්, එය තමාගේ දෝෂය කි. කුහකයා සහ කුහක නොවන්නා අතර වෙනස හඳුනා ගැනීම ද ඉතා අපහසුය. ඉර පායන තැනත්, ඉර බැසයන තැනත් අතර ඇති දුර කොපමණදැයි මැන බලා කිව හැකි ද? නොහැකිය. එය කළ හැකි වුවද, කුහකයා සහ සාමාන්‍ය මිනිසා අතර පවතින වෙනස කිව නොහැකි ය. සඳ පායන තැනත්, සඳ බැසයන තැනත් අතර ඇති දුර කොපමණදැයි මැන බලා කිව හැකිද? නොහැකිය. එය කළ හැකි වුවද, කුහකයා යන සාමාන්‍ය මිනිසා අතර පවතින වෙනස කිව නොහැකි ය.

මේ මහපොළොවත්, ඉහළ අහසත් අතර තිබෙන දුර මැන බලා කිව හැකි ද? නොහැකිය. එය කළ හැකි වුවද, කුහකයා සහ සාමාන්‍ය මිනිසා අතර පවතින වෙනස කිව නොහැකිය.

මෙම උදාහරණවලට අනුව නිගමනය කළ හැක්කේ කුහක ගති සහිත පුද්ගලයා කුහකයකු ලෙස නිවැරැදිව හඳුනා ගැනීමට නම්, සූක්ෂමවත්, සියුම්වත් ඔහු අධ්‍යයනය කළ යුතු බව යි. කුහක සූත්‍රයේ දී කුහකයා එම ගතිලක්ෂණ පෙන්නුම් කරන අවස්ථා කිහිපයක් දක්වයි. එනම්,

කුහනා ලපනා නේමිත්කිකකා
නිජ්පේසිකතා ලාභෙන ලාභං
නිජිගිංසනතා යනුවෙන්ය

කුහක සූත්‍රයේදී දක්වා ඇති කරුණු තහවුරු කිරීම සඳහා ජාතක අට්ඨකතාවෙත්, සිංහල ජාතක පොතෙහිත් කරුණු දක්වා තිබේ. කුහක ජාතකයේ දී විස්තර කර ඇත්තේ ද කුහකකම හා සම්බන්ධව එක්තරා සංසිද්ධියකි. එම ජාතක කතාව දේශනා කිරීමට හේතු වූයේ ද, හොර තපස් රකින්නාවූ එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ කුහක වත අරබයා ය.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් රාජ්‍ය කරන සමයෙහි එක්තරා කුඩා ග්‍රාමයක හොර තපස් රකින, ජටාවක් දරන එක්තරා තාපසයෙක් වාසය කළේය. එනුවර ම එක්තරා ධනවත් තරුණයකු තාපසයා කෙරෙහි පැහැදී මහත් ශ්‍රද්ධාවෙන් දන්පහන් පූජාකරමින් ඇප උපස්ථාන කරමින් තාපසතුමා ට පන්සලක් ද කරවා පූජා කළේය. ඇප උපස්ථාන ලබන තාපසයාණෝ දවසින් දවස ක්‍රමයෙන් තාමගේ සීල ගුණධර්මවලින් පිරෙන බව තරුණ ධනවතාට පෙනී ගියේ ය. තාපසයා කෙරෙහි පැහැදී සිටි තරුණයා එම තාපසතුමා ඉතාම සිල්වත් උතුමෙකු යැයි සිතා සොර සතුරන්ට භයින් තමා තුළ තිබු රත්‍රන් , මැණික් සියයක් ඒ තාපසයාණෝ වසන පන්සලට ගෙනගොස් එහි නිදන් කොට “ස්වාමීනි මෙතන මෙපමණ වස්තුව තිබේ. එය මැනවින් බලාගනු ‘මැනවැයි” තාපසයාණන්ට කීය. පින්වත, බඩු තැන්පත් කොට තබා ගැනීම නම්, තාපසවරුන් වන අපට සුදුසු දෙයක් නොවේ. අනුන්ට අයත් වස්තුව පිළිබඳව අපට ලෝභය වැනි හැඟීමක් උපදින්නේ නැත” යනුවෙන් තාපසයාණෝ ප්‍රකාශ කළහ. තාපසයාණන්ගේ එම වචන අසා ධනවත් තරුණයා තාපසයා කෙරෙහි ඇතිකරගෙන තිබූ පැහැදීම තවත් වැඩිවී ගියේය.

ඒ අනුව තරුණයා ද තම වස්තුව සොර සතුරන්ගෙන් රැක ගැනීමේ අදහසින් තමාගේ මුදලින් සාදාගත් විහාරයෙහි වැඩවසන තමාගෙන් සිව්පසය ලබන තාපසතුමා ට භාරකර යන්නට ගියේ ය. එවිට තාපසයා මෙසේ කල්පනා කරයි.

“මෙතන තිබෙන රත්‍රන්, මැණික්වලට වටිනාකම ඉතා ඉහළ යි. මහත් ධනය කි. මෙය අරගතහොත් ජීවිත කාලයට ම ඇති කිසිවෙකුටත් යටත් නොවී යහතින් ජීවත්විය හැකියි. යන තණ්හා සිතිවිල්ලත් ඇතිකරගනිමින් කිසිවෙකුටත් නොදැනෙන ආකාරයට තිබූ තැනින් එම වස්තුව හොර රහසින් අරගෙන ගොස් වෙන තැනක සඟවා තබා පසුදා ඒ ධනවත් තරුණයාගේ නිවසට දානය පිණිස ගිය අවස්ථාවේ දානය වළදා මෙසේ කීය. පින්වත, මම බොහෝ දවසක් ඔබගේ ඇප උපස්ථාන ලබා මෙහි වාසය කරමි. දැන් බොහෝ කාලයක් ගතවී ඇත. මෙසේ බොහෝ කාලයක් වාසය කරමින් ගිහි අය සමඟ මිත්‍රවීම තපස් දිවියේ සාර්ථකත්වය ට බාධාව කි. එය තාපසයන් ට කිළුටක් හා සමාන ය. අපට වැදගත් වන්නේ මිල මුදල් හෝ ඇප උපස්ථාන නොව තපස් ධර්ම රැකීම යි. එම නිසා ඔබ තනා දුන් පන්සල හැර මම වෙනත් තැනකට යන්නට අධිෂ්ඨාන කළෙමි. තරුණයා ද තාපසයාගේ උතුම් ගුණධර්ම පිළිබඳව මහත් සේ ප්‍රසාදයට පත්ව තමාගෙන් තවදුරටත් ඉටුවිය යුතු උපකාරයක් තිබේ නම්, දන්වන ලෙසට ද ප්‍රකාශ කළේ ය. තාපසයා වෙහෙරේම නවතාගැනීම තරුණයා බොහෝ උත්සාහ කළද එය නිශ්ඵල විය. අනතුරුව ගමේ කෙළවර දක්වා තාපසයා පසුපස ගමන් කළ තරුණයා තපස් දිවියට සුබ පතා ආපසු සිය නිවස ට පැමිණියේ ය.

තාපසයා ද දිගටම යන්න ගියහ. තමාගේ නිවැරැදිභාවය තවදුරටත් තරුණයාට පෙන්විය යුතු යැයි සිතූ තාපසයා ආපසු තරුණයාගේ නිවසට ආපසු ආවේය.

‘කිමෙක්ද? ස්වාමීනි ආපසු වැඩියේ” යැයි ඇසූවිට මගේ ජටාවේ රැඳී ඔබට අයිති තණකොළ පතක් තිබුණේය. අන්සතු දෙය ගැනීම අපවැනි උතුම් ගුණපිරි තාපසයන්ට සුදුසු නොවේ යැයි කීය.

ස්වාමීනි, මෙබඳු දෝෂයකින් ඔබට කුමන දෝෂයක් වේද? එය හැරදමා වැඩිය මැනවැයි කීය. තමා අතින් සිදුවන්නට ගිය පාපයන්ට බොහෝ සේ ශෝකයට පත්වන තාපස කෙනෙකි. අනුනට අයත් වස්තුවෙන් තණකොළයක් තරම්වත් අරගැනීමට සිතන තාපසයකු නොවෙයි යැයි සිතා තාපසයා පිළිබඳව තරුණයා පැහැදුණේය.

එදින වෙළෙඳාමේ යන අමුත්තකු තරුණයාගේ නිවසට පැමිණ රාත්‍රී නවාතැන් ගත්තේය. රාත්‍රියේ කතාබහට වැටුණු දෙදෙනා අතර විවිධ වු කතාබස් අතරේ තම තාපසයාගේ සීලවන්ත බවත්, සිදුවු සියල්ලත් අමුත්තාට ප්‍රකාශ කළේය. එම කතාව අසා සිටි බුද්ධිමත් ආගන්තුක වෙළෙන්දා තාපසයාගේ කපටි බව දැන සැබෑද ඒ තාපසයා. ළඟ තැබූ යම්කිසි වස්තුවක් තිබේදැයි හේ විමසීය. සැබෑය වස්තුව තැබීමි කීය.

කොපමණ ධනයක්ද? මැණික් සියයක් පමණ ධනයක් බවට ප්‍රකාශ කළ විට එම වස්තුව පන්සලේ’ තිබෙන්නේදැයි පරික්ෂා කරන ලෙසට ප්‍රකාශ කළේය. එවිට හොර තාපසයා වස්තුව සියල්ල ගෙනගොස් තිබේ. ධනවත්, තරුණයා තාපසයා අල්වාගෙන ගුටිබැට දී විමසන විට සත්‍ය සිද්ධිය කීවේය.

මේ තරම් වස්තුව රැගෙන සොරකම් කොට ජටාවේ බැදුණු තණ පත්‍රය අනුන්ගේ දෙයක් යැයි ආපසු ගෙනත් දුන්නා නොවේදැයි කියා මෙබඳු වැරැදි නොකරන්න යැයි අවවාද කළේය. සඟවා තැබූ තැනින් සියලු වස්තුව සොයා ගනු ලැබූ ආගන්තුක වෙළෙන්දා එදා රෑ නිවසේ නවාතැන් දුන් එම තරුණයාට මිනිසාගේ මනසේ ඇති කුහකවත හා එහි ස්වභාවය කියා දුන්නේය. බොහෝ මිනිසුන් තුළ මෙබඳු ස්වභාව තිබේ. ඇසුරු කිරීමෙන් ඒවා හඳුනා ගත යුතුය.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk