[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි දළදා පෙරහර වරුණ

සිරි දළදා පෙරහර වරුණ

දළදා පෙරහර යනු සංස්කෘතික , කලාත්මක හා පූජනීය බවින් අනූන හෙළයේ මහා කලා මංගල්‍යය යැයි කීවොත් එය වඩාත් නිවැරැදි ය. වස්සාන ඍතුව උදාවත්ම ඇසළ හෝ නිකිණි මස යෙදෙන සුභ නැකැත් අනුව කප් සිටුවීම මෙන්ම ඉපැරැණි චාරිත්‍රයක් ඉටු කිරීමෙන් මෙම මංගල්‍යය ආරම්භ වේ.

නාථ විෂ්ණුූ, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාලවල මෙසේ කප් සිටුවා පුරා දින පහක් ඇතුල් පෙරහර හෙවත් දේවාල පෙරහර පැවැත්වේ. ඉන් අනතුරුව දළදා මාලිගාවේ පෙරහර ප්‍රමුඛ කොට සිව්මහා දේවාලවල පෙරහර වීදි සංචාරය කරනු ලබයි. පුරා දින දහයක් පැවැත්වෙන මෙම පෙරහරේ මුල් පෙරහර පහ හඳුන්වන්නේ කුඹල් පෙරහර යනුවෙනි. කුඹලා සිය ගේ වටේ කැරකෙන්නාක් මෙන් දේවාල පරිශ්‍රයේ පමණක්, කෙටිදුරක් ගමන් කරන පෙරහර නිසා මෙය කුඹල් පෙරහර යනුවෙන් හඳුන්වන බව වියතුන්ගේ මතය යි.

ඉන් අනතුරුව ආරම්භ වන්නේ රන්දෝලි පෙරහරයි. එය දින පහක් පැවැත්වෙන අතර. කුඹල් පෙරහරට වඩා විචිත්‍රවත් බවක් මෙන්ම ගමන් කරන වීදිවල දුර ප්‍රමාණය අනුව ද විශේෂත්වයක් දක්වයි. මෙය රන්දෝලි යනුවෙන් හැඳින්වීම සම්බන්ධව විවිධ මත පවතී. රජතුමාගේ අග මෙහෙසිය හඳුන්වා ඇත්තේ රන්දෝලිය යනුවෙනි. අන්තඞපුර බිසෝවරු යකඩ දෝලිය ලෙස හඳුන්වා ඇති අතර, රජ බිසෝවරු මෙම පෙරහරේ ගමන් කළ නිසා මෙය රන්දෝලි යනුවෙන් හඳුන්වන බව ඇතැමුන්ගේ මතයයි. මේ මතය පිළිගැනීමට තරම් ප්‍රමාණවත් සාධක නොමැති අතර එය සාවද්‍ය අදහසක් බව පෙනේ.

කෙසේ වෙතත් මෙම අවසන් පෙරහර පහේ දේවාල සතරේ ඒ ඒ දෙවියන් උදෙසා කැප කළ රන් ආයුධ වැඩම කරනුයේ දෝලාවෙන් බැවින් මෙය රන්දෝලි යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙසේ දෝලාවන් පෙරහරේ ගෙනියනුයේ අවසන් පෙරහර පහේ පමණි. මේ නිසා ම මෙම පෙරහර රන්දෝලි හෙවත් මහ පෙරහර යනුවෙන් හඳුන්වන අතර ඉන් අවසන් දින රාත්‍රි පෙරහර මහ රන්දෝලි පෙරහර යනුවෙන් ව්‍යවහාර කරනු ලැබේ.අවසන් රන්දෝලි පෙරහර අන් සියලු පෙරහරට වඩා දීර්ඝ බවින්. විචිත්‍රත්වයෙන් මෙන්ම චාරිත්‍රමය වශයෙන් ද සුවිශේෂී බවක් ගනී. මෙදින සධාතුක කරඬුව රැගත් මංගල හස්ති රාජයාට පාවඩ එළීම, උඩුවියන් ඇල්ලීම වැනි විශේෂ අවස්ථා රැසක් දක්නට ලැබේ.

මෙම අවසන් දින රන්දෝලි මහ පෙරහර ශ්‍රී දළදා මාලිගයට ගෙවැදීමෙන් අනතුරුව නැවත සුපුරුදු පරිදි පෙරහර සකස්වී සධාතුක කරඬුව සහිතව අස්ගිරි මහා විහාරයේ ගෙඩිගේ විහාරය වෙත පිටත්ව යයි.

මෙම විහාරය අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමියන්ගේ මහ පදවියට අයත් විහාරස්ථානයක් වන අතර නේවාසික ඉපැරැණි සඟ පරපුරක් ද සිටී.

කෙසේ වෙතත් දළදා පෙරහර ගෙඩිගේ විහාරයට පැමිණෙන විට අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ, අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු කාරක සංඝ සභිකයන් වහන්සේලා මෙන්ම නේවාසික මහා සංඝයා වහන්සේ ද එම ස්ථානයට වැඩම කර සිටිති. දියවඩන නිලමේ තුමා සතර මහා දේවාලවල හා පිටිසර දේවාලවල බස්නායක නිලමේවරු කාරිය කෝරාළ ඇතුළු ඇතුල් කට්ටලේ රාජකාරි කරුවන්, කවිකාරමඬුව ප්‍රධාන පනික්කි මුර හතරට අයත් පනික්කියන්, කුඩ, කොඩි, සේසත් දරන්නන්, පාවඩ එළන්නන් ඇතුළු සැමදෙනා තම තමන්ගේ රාජකාරිවල යෙදෙති.

මහා නාහිමියෝ සිවුර හැඳ පොරවාගෙන පෙරහර ගෙඩිගේ විහාරයට පැමිණෙන තුරු බලා සිටිති. පෙරහර ගෙඩිගේ විහාරයේ විශේෂ පීඨිකාව අසලට පැමිණෙනවාත් සමඟ කාරිය කරන කෝරාළ රන් කෙන්ඩියෙන් පැන් වඩා මහ නා හිමියන්ගේ අත දෝවනය කරයි. පසුව විල්ලුද ඇතිරිල්ලක් මහ නාහිමි අතට තබා සුදුරෙද්දකින් රන්සිවිගේ මුවාකොට සධාතුක කරඬුව රැගෙන මහ නාහිමි අත තැන්පත් කරයි. ඒ වන විට හේවිසිකරුවන් හේවිසි නාද කරයි. කුඩ අල්ලයි. පාවඩ එලයි. කවිකාර මඩුවේ කවි ගායනා කරයි.

මෙලෙස මහත් හරසරින් පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයට වැඩමවා විහාර මන්දිරය තුළ සුරක්ෂිත ලෙස තැන්පත් කරති. මාලිගාවේ ලේකම් විසින් කරඬුවේ මාල පවලම් ලේඛනය කියවීමෙන් අනතුරුව ඒවා සුපරික්ෂාකාරී ලෙස බලා සුදු පිරුවටයකින් ඔතා සුරක්ෂිත පරිදි මෙකී පෙරහර කරඬුව පසුදා යළි මාලිගාවට වැඩමවන තෙක් එහි තැන්පත් කරනු ලැබේ.

ඉන් අනතුරුව මහ නාහිමියන් විසින් තේවා කටයුතු සඳහා ශී‍්‍ර දළදා මාලිගාවේ තේවාව කළ ගෙඩිගේ විහාරයේ නේවාසික භික්ෂුවක් එහි තේවාව සඳහා නම නියම කරනු ලැබේ. ඉන් පසු දියවඩන නිලමේ කරඬුවේ ආරක්ෂාවට විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේගේ ද අදහස් විමසා පිටිසර දේවාලයක නිලමේ කෙනෙක් නම් කරයි. පාතමාලේ රාළ තේවා සහායක රාජකාරියට නම් කරන අතර ඒ ඒ රාජකාරිකරුවන් වෙන වෙනම මහ නා හිමියන්ට හඳුන්වා දෙනු ලැබේ. එහි ආරක්ෂාවට මහනුවර පොලිස් අධිකාරි ඇතුලු හමුදා ප්‍රධානීන්ද පැමිණ සිටිති. ඒ සියලු දෙනා මහා නාහිමියන්ට නමස්කාර කොට තම රාජකාරි නොපිරිහෙළා ඉටුකරන බව සනාථ කරයි.

මෙසේ රාජකාරිය නියම කිරීමෙන් පසු පළමුවෙන් මහ නාහිමි ප්‍රමුඛ අස්ගිරි මහා විහාරයේ භික්ෂූන් ගිලන්පස පූජාව පවත්වන අතර, පසුදා පෙරහර කරඬුව දළදා මාලිගාවට යළි වැඩමවන තෙක් සියලු තේවා විදි මෙහිදී ඉටුකරනු ලැබේ. දළදා මාලිගාවේ ප්‍රධාන පනික්ක රාජකාරිය කරන මාලගම්මවන, මොලගොඩ, ඉහළවෙල, උඩුවෙල යන අයවලුන් නොකඩවා ශබ්ද පුජා හෙවත් හේවිසි වාදන කරයි. කවිකාර මඩුව දළදා කවි ගයයි.

දළදා මාලිගාවේ පෙරහර මෙලෙස ගෙඩිගේ විහාරයේ නවතින අතර, දේවාල පෙරහර දිය කැපීමේ මංගල්‍යය සඳහා ගැටඹේ තොටට පිටත්ව යයි. මෙහිදී ඒ ඒ දේවාලවල කපුමහතුන් රන් කෙන්ඩිය සහ රන්කඩුව රැගෙන යාම විශේෂත්වයයි. පසුදා අලුයම වන විට ගැටඹේ තොටට යන දේවාල පෙරහර දියකපනා තොටට ගොස් මොනවට සරසන ලද ඔරුවක් මත නැඟී පෙර වර්ෂයේ පැන් පුරවාගත් කෙන්ඩියත්, රන් කඩුවත් රැගෙන මහවැලි ගඟේ මදක් ඉහළට ගොස් කරවටක් වැසෙන සේ ජලයට බසී. මෙහිදී විශේෂත්වය වන්නේ පෙරහර ආරම්භයේ ඒ ඒ දේවාල වල සිට වු “කප” උගුලුවා ගෙන ගඟ මැදට ගොස් ගඟෙහි පා කර හැරීමයි. ඉන් අනතුරුව රන් කෙන්ඩියේ ඇති ගිය වර්ෂයේ පුරවාගත් පැන් යළි ගඟට හලා රන් කඩුවෙන් දිය පහරට ගසා දෙබෑවෙන ජල කඳ මැදින් රන් කෙන්ඩියට යළිත් ජලය පුරාව ගනී. එම කෙන්ඩිය සුදුපිරුවටයකින් වසා යළි ගොඩට පැමිණේ. මෙම කාර්ය සිදුකරනු ලබන්නේ ඒ ඒ දේවාලවල කපුමහතුන් ඇතුළු රාජකාරිකරුවන් විසිනි.

දිය කැපීමේ මංගල්‍යය අවසන් වී මෙම දේවාල පෙරහර නැවත මහනුවර දෙසට පැමිණ මහනුවර පුල්ලයාර් කෝවිලේ නවාතැන් ගනී. එහි දී විවිධ පුද පූජා පැවැත්වෙන අතර මෙය බෞද්ධ හින්දු සහයෝගය ප්‍රකට කරන අවස්ථාවක් ද වෙයි. මෙසේ දවල් පෙරහර ආරම්භ වන තෙක් එහි රැදී සිටින දේවාල පෙරහර ගෙඩිගේ විහාරයේ පළමු වෙඩිමුරය පත්තුවීමත් සමඟ ඒ දෙසට ගමන් කොට කන්දෙ වීදිය, යටිනුවර වීදිය දිගේ පෙළ ගැසී මාලිගාවේ පෙරහර පිටත්වන තුරු රැඳී සිටී. දියවඩන නිලමේතුමා නියමිත නිල ඇඳුමෙන් සැරසී පැමිණ සිටී. එතුමා අස්ගිරි විහාරයේ අතිගරු මහා නා හිමියන් අතින් යළි පෙරහර කරඬුව ලබාගෙන පාවඩ සහ උඬු වියන් මතින් විශේෂ පීඨිකාව වෙත ගමන් කරයි. එතන මංගල හස්තිරාජයා රන්සිව් ගේ සහිතව සැදී පැහැදී සිටී.

මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව සුභ නැකතින් දවල් පෙරහර ආරම්භ වේ. ගෙඩිගේ විහාරයෙන් ගමන් ආරම්භ කළ මෙම දළදා පෙරහර එතෙක් පෙළ ගැසී සිටි දේවාල පෙරහර ද සමඟ විදී සංචාරය කොට දේවාල චතුරස්‍රයේ තුන් විටක් ප්‍රදක්ෂිණා කිරීමෙන් අනතුරුව ගෙවැදීමෙන් දවල් පෙරහර නිමාවට පත්වේ. අනතුරුව දියවඩන නිලමේතුමා ප්‍රමුඛ බස්නායක නිලමෙවරු පෙරහර සිරිතට අනුව මහනුවර රජගෙදරට ගොස් පෙරහර මනා ලෙස නිමාකළ බව රටේ රාජ්‍ය නායකයා වන ගරු ජනාධිපතිතුමා වෙත සංදේශයක් මඟින් ප්‍රකාශකර සිටී. මේ අවස්ථාවට රාජ්‍ය නායකයාගේ පැමිණීම ද අනිවාර්යෙන් සිදු වේ.

මහනුවර මහදිසාපතිතුමා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක ප්‍රධානීන් ද මේ මොහොත නියෝජනය කරයි. පෙරහර සම්බන්ධ රජයේ වගකීම භාර කෙරෙන අවස්ථාවක් ලෙස ද මෙය හඳුන්වාදිය හැක.

මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වූ සැමගේ වස්දොස් දුරුවීම පිණිස දින හතක් පුරා මහා විෂ්ණු දේවාලයේ වලියක් මංගල්‍ය නමින් විශේෂ ශාන්ති කර්මයක් ද පැවැත්වේ. මේ සියලු චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව පෙරහර නිමාවට පත්වේ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]