[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රදීප පූජා: කාර්තික මංගල්‍යය

ප්‍රදීප පූජා

කාර්තික මංගල්‍යය

බෞද්ධයාගේ මුදුන් මල්කඩක් බඳු වූ, සෙංකඩගල වැඩ වෙසෙන වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලංකාවාසී බොදු දනන්ට සේ ම ලෝකවාසී බෞද්ධයන්ට ද ඉමහත් ආශිර්වාදයකි.

දළදා වහන්සේ උදෙසා අතීතයේ සිට ම පැවැත්වෙන පූජෝපහාරයන් අතරින් සතර මංගල්‍යය ද මෙරට බෞද්ධ හා දළදා සම්ප්‍රදාය තුළ අතිශයින් වැදගත් පූජනීයත්වයක් උසුලයි. සතර මංගල්‍යයන් අතුරෙන් කාර්තික මංගල්‍යය විවිධත්වයක් ගනී. මෙම විචිත්‍රවත් උත්සවය දළදා වහන්සේගේ සහ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා පැවැත්වීමට අතීතයේ සිට ම උඩරට ගැමි මුතුන් මිත්තෝ පුරුදුව සිටියහ. කන්ද උඩරට නායක්කාර වංශික රජ දරුවන් යටතේ කාර්තිකයෙහි නොහොත් ප්‍රදීප පූජාවන් පැවැත්වීම බහුලව ප්‍රකට වූවා යැ’යි සැලකිය හැකි ය. අග්නි පූජාවෙන් ඇරැඹි ප්‍රදීප පූජාව හින්දු භක්තිකයන්ගේ දීපවාලී උත්සවයට ද සමාන වේ. කාර්තික යනු ඉල් මසට තවත් නාමයකි. කාර්තිකේය යනු කඳ කුමරුන් හඳුන්වන තවත් නාමයකි. අතීතයේ සිට ම මේ දක්වාම වසරක් පාසා ම ඉල් මස නොහොත් නොවැම්බර් මාසයේ කැති නැකතින් ඇරැඹෙන මෙම උත්සවය කැති නැකතින් උපන් කඳ කුමරුන්ට කරන ගෞරව බහුමානයක් වශයෙන් ද පැවැත්වේ.

අසූහාර දහසක් ශ්‍රී සද්ධර්මස්ඛන්ධය සංකේතවත් කොට, අසූහාර දහසක් පහන් පූජා පින්කම් පැවැත්වීම බෞද්ධයන් විසින් බහුලව සිදු කරනු ලබන ආමිස පූජා පින්කමකි. අතීතයේ සිට ම ශ්‍රී දළදා මාලිගාවේ ද පහන් දැල්වීම සිදු කරගෙන ආ අතර දළදා මාලිගාව , සතර මහා දේවාල, මල්වතු අස්ගිරි මහා විහාර හා සෙසු රජමහා විහාරයන්හි දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකසන ලද සුබ නැකැත් මුහුර්තිය අනුව ඉල් පුර පසළොස්වක පෝය දිනයේ දී පුදීප පූජා පැවැත්වීම හා පෙරහර මංගල්‍යයන් සිදු කිරීම සාමාන්‍ය පිළිවෙත ය. ඉල් පෝය දිනට පෙරදින ගම් දහයේ විදානේවරු ලවා ශ්‍රී දළදා මාලිගාව සරසවනු ලැබේ. පුර පෝය දින සුබ මුහුර්තියට අනුව පහන් දල්වා මාලිගා චතුරශ්‍රය වටා කුඩා පෙරහරක් පැවැත්වීම මෙහි දී සිදු කෙරේ. මෙම පෙරහරේ දියවඩන නිලමේ තුමා ගමන් කරන්නේ නැති අතර කාරිය කරවන කෝරාළ ගමන් කරයි. මේ දිනම කාර්තික වට්ටෝරුවේ සඳහන් අනෙකුත් විහාරාස්ථාන හා දේවාලවල ද ප්‍රදීප පූජා පැවැත්වීම සිදු වේ. කාර්තික මංගල්‍යය දින, පහන් දැල්වීමට අවශ්‍ය තෙල් බෙදා දීම සිදු කෙරෙනුයේ ශ්‍රී දළදා මාලිගාවෙනි. කාර්තිකේය පැවැත්වීමට නියමිත දිනට දින දෙකකට පෙර සිට පෙරහරකින් තෙල් නැලි එකසිය තුනක් පමණ ශ්‍රී දළදා මාලිගාවේ සිට නාථ දේවාල භූමියට රැගෙන ගොස් එහි දී කාරියකරවන කෝරාළ ඇතුළු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර දේවාලය ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන හා දේවාලවලට තෙල් බෙදාදීම සිදු කෙරේ. සතර මංගල්‍යයන් හා ඊට අමතර අනෙකුත් මංල්‍යයන් නොකඩවා චිරාගත සම්ප්‍රදායානුකූලව, උත්කර්ෂවත් ලෙස පැවැත්වීම දියවඩන නිලමේවරයා සතු කාර්ය භාරයක් වන අතර, එය ඉතා වැදගත් තැනක් ගනී.

මෙලෙස ලක්දිව මුල් යුගයේ සිට ම විහාරස්ථානවල පහන් පූජා පැවැත්වූ බව ඉතිහාස මූලාශ්‍රවල ද සඳහන් ය. කුරුරට ධනංජය රජු ඉල් මාසයේ දී කාර්තික නම් සැණකෙළියක් පැවැත්වූ බව කුරු ධම්ම ජාතක කථාවෙහි ද දැක්වේ. ලක්දිව අනුරාධපුර පණ්ඩුකාභය රාජ්‍ය කාලයේ චිත්‍රරාජ හා කාලදේවල යක්ෂ නායකයන් උදෙසා කාර්තික පූජාව පැවැත්වූ බවට සෙනරත් පරණවිතාන සූරීන් ද සඳහන් කරන අතර මහනුවර යුගයේ දී දෙවන රාජසිංහ රජ තුමාගේ කාලයේ දී ප්‍රදීප පූජා නොහොත් කාර්තික උත්සව පැවැති බව රොබට් නොක්ස්ගේ වාර්තාවල සඳහන් ය.

දේව කෝප, ජල, ගිනි, විපත් ආදී ස්වභාවික විපතට ද රෝග, අමනුෂ්‍ය, දුර්භික්ෂ ආදී බියට ද අතීතයේ සිට ම සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් සිදු කරගෙන ආ කාර්තික මංගල්‍යයත්, එයින් බුහුමන් ලබන වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේත් අදත්, හෙටත් , රටට සහ රටවැසියන්ට සෙත් ශාන්තිය උදා කරලීමට ඉමහත් පිටිවහලක් වනු ඇත.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk