පෙරහර පූජා
දළදා පෙරහර
ලක්දිව බුදු සසුන පිහිටුවීමෙන් පසු ඉන්දියානු බෞද්ධ සභ්‍යත්වය තුළ වැඩි දියුණු වී
පැවැති සංස්කෘතික ලක්ෂණ ලංකා සමාජයට හඳුන්වා දෙන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ
විසිනි. තම පියා දඹදිව ආරම්භ කරන ලද මේ උත්සව හා පෙරහර නැරඹූ සාමාන්‍ය ජනයාගේ සිත්
සතන් කෙරෙහි ඒවා බලපෑ අයුරු වටහාගෙන ලංකාවේ ද එම සිරිත පුරුදු කිරීමට උන්වහන්සේ
සිතුවා විය හැක.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වූ දා පටන් ඒ සඳහා පුද පූජා පෙරහර සිදුකළා සේ ම දළදා
වහන්සේ වැඩම වූ තැන් පටන් ඒ සඳහා ද උදාර අන්දමින් පෙරහර පවත්වන ලදී. බෞද්ධ
සභ්‍යත්වය මේ රටේ තහවුරු වී ශතවර්ෂ ගණනාවක් ඉකුත් වී පැවැත්ම එහිලා ආධාර වූ එක්
කරුණක් වන්නට ඇත. අනෙක් කරුණ නම් දළදා වහන්සේට අන් කිසිම පූජනීය වස්තුවකට නො ලැබුණු
අන්දමේ රාජ්‍ය ගෞරවයක් ලැබීම ය.
අප රටට දළදා වහන්සේ වැඩමවූයේ කළිඟු රට දන්ත පුරයෙනි. දළදා වහන්සේ කළිඟු රට වැඩ
සිටිය දී ද දළදා වහන්සේ වෙනුවෙන් පෙරහර පවත්වා තිබේ.
පැරැණි වංශකතා අනුව දළදා පෙරහර ආරම්භ වී ඇත්තේ හතරවන සියවසේ දී ය. එනම් දළදා වහන්සේ
ලංකාවට වැඩම වූ වකවානුවේ දී ය. කිත්සිරි මේඝවණ්න රජු දළදා වහන්සේ රාජකීය අයුරින්
දළදා මන්දිරයේ සිට අභයගිරි විහාරයට පෙරහරින් වැඩමවා ප්‍රදර්ශනය කර ඇති අතර, ඒ සඳහා
විවිධ පුද පූජාද පවත්වා ඇත.
කලට වේලාවට වැසි ප්‍රාර්ථනා කිරීම ඇසළ උත්සවයේ ප්‍රධාන අරමුණු අතර වේ. දළදා පෙරහර,
දේවාල පෙරහර, දිය කැපීමේ පෙරහර ආදී සිදු කරනුයේ එකී අරමුණ පෙරදැරිව බව විශ්වාස කළ
හැකි ය. ගොවිතැනින් ජීවත් වූ මිනිසුන් වැසි නැති කාලයට වැස්ස ලබා ගැනීම සඳහා යම්
යම් වස්තුන්ගේ පිහිටාධාරය පැතූහ. ඔවුුන් ඒ සඳහා රජුගේ ද පිහිට ඇයැද සිටියහ. වැස්ස
ලබාදිය හැකියැයි විශ්වාසය තැබු යම් යම් වස්තු රජවරුන් සන්තකව පැවතුණි. ශ්‍රී මහා
බෝධියත්, දන්ත ධාතුන් වහන්සේත් එබඳු වූ වස්තුහු වූහ. ඒ අනුව මෙබඳු පූජනීය වූත්,
රාජකීය වූත් වස්තුන් විෂයයෙහි පූජා පෙරහර පැවැත්වීමෙන් හා ආගමික පුද පිළිවෙත්
කිරීමෙන් උපද්‍රව දුරු වී, වැසි වැටී, රටේ සෞභාග්‍ය උදාවේ යැයි විශ්වාසයක් පැවැතියේ
ය. පෙරහරේ ප්‍රධාන අංගයන් වූ සිටුවීමත්, දිය කැපීමත් මගින් නිරූපණය වන්නේ මේ අදහස
බව විශ්වාසය යි.
ක්‍රි.ව. 1236 – 1270 පරාක්‍රමබාහු රජ දවස ද උසස් අන්දමින් දළදා පෙරහර පැවැත් වූ
බවට තොරතුරු වංශකතාවල දැක්වේ. තම රාජධානියේ වැදගත් ස්ථාන වෙත දළදා වහන්සේ මහ
පෙරහරින් වැඩමවීම මෙකල පැවැති විශේෂ චාරිත්‍රයකි. දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන මෙබඳු
උදාර වූ පුද පූජාවන්ගේ ප්‍රතිඵල වශයෙන් රාජ්‍යයේ සුරක්ෂිතභාවයත්, ජනතාවගේ
දයානුකම්පාවත් නිතැතින් ම යොමු වේ යැයි රජු කල්පනා කරන්නට ඇත. එදා දළදා වහන්සේ
වැඩමවන විට මහා මාර්ගය සමතලා කොට, සුදු වැලි අතුරා, ධජ පතාකාදියෙන් අලංකාර කරවී ය.
මග දෙපස තැඹිලි, බෝදිලි, නවසි, තල්, කිතුල් ආදි ගස් සිටු වූයේ ය. මනහර සිතුවමින් හා
මලින් පිරි පුන්කළස්වලින් මග දෙපස සැරසී ය. විශාල තොරන් බැන්ද වී ය. විසිතුරු
සිතුවමින් නිමවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් සැදුම්ලත් තෙමඟුල් ප්‍රාසාද ද ඉදි
කරවී ය.
මෙම පෙරහරේ ගමන් කළ ඇතුන්ගේ කුංචනාදයෙන් හා අසුන්ගේ හේෂාරාවයෙන් ද, තැන තැන නටමින්
යන නාට්‍යකරුවන්ගේ හා නා නා තුර්ය භාණ්ඩයන්ගෙන් නිකුත් වූ මිහිරි ස්වරයෙන් ද නැඟුණු
රාවයෙන් පොළොව ගිගුම් දුන්නේ ය.
දළදා වහන්සේ වැඩ සිටි සෑම රජධානියක ම පාහේ මෙබඳු පෙරහර සිදුකොට පූජා පැවැත්වීම
චාරිත්‍රයක් වශයෙන් කරගෙන ආ බව පෙනේ. සුබ නැකතක් බලා දළදා මාළිගය පිරිසුදු කර,
වියන් බැඳ, නානා පට පිළියෙන් පිවිතුරු කොට සරසා, රජු, ඇමැතිවරු සහ නුවර වැසියෝ එක්ව
සත් දවසක් පුරා මල් පහනින් මහ පෙරහර පුදති. පස්වරුවේ නගරය සුරපුර මෙන් සරසති.
ඉන්පසු දළදා වහන්සේ වැඩහුන් කරඬුව විසිතුරු කොට සරසන ලද රථයක වැඩමවති. මෙසේ නුවර
පැදකුණු කළ මහා පෙරහර නැවත දළදා මාලිගයට ගෙව දී ඇත.
අනුරාධපුර යුගයේ ද, පොළොන්නරු යුගයේ ද,දඹදෙණිය යුගයේ ද, යාපහුව රාජධානි යුගයේ ද,
කුරුණෑගල රාජධානි යුගයේ ද, කෝට්ටේ යුගයේ ද ඉන් අනතුරුව මහනුවර සමය දක්වා වූ කාලය
තුළ දී දළදා පෙරහරට මුල් තැන දී ක්‍රියාකොට තිබුණි.
වර්තමාන ඇසළ පෙරහර ද බොහෝ දුරට චිරාගත පෞරාණික සිරිත් විරිත් අනුකූලව පවත්වාගෙන යනු
ලැබේ. මූලික කප් සිටුවීමේ චාරිත්‍රයෙන් ඇරඹෙන වර්තමාන ඇසළ උළෙල දේවාල පෙරහර පවත්වා
අනතුරුව කුඹල් පෙරෙහර ද, රන්දෝලි පෙරහර ද, පැවැත්වීමෙන් සමාප්ත වේ. දළදා මාළිගා
පෙරහර ප්‍රධාන කොට සතර දේවාල පෙරහර පෙර සිරිත් පරිදි නියමිත දින ගණනක් වීථි සංචාරය
කරයි. සතර දේවාල පෙරහර පෙළ ගැසී දළදා මාලිගාව අසලට සැපත්ව මාළිගය අභියස සිටියි.
පෙරහර ගමන් ආරම්භ කරනුයේ වෙඩි හඬක් මගින් දෙනු ලබන සංඥාව අනුව ය. පළමු වෙඩි හඬින්
සතර දේවාල පෙරහර ද, දෙවැනි වෙඩි හඬින් ධාතු කරඬුව ඇතුපිට තැන්පත් කිරීම ද, තුන්වෙනි
වෙඩි හඬින් මාළිගා පෙරහර ප්‍රධාන සතර දේවාල පෙරහර ගමන ආරම්භ කිරීම ද සිදු කරයි.
එදා සිට මේ දක්වා මෙම දළදා පෙරහර මංගල්‍ය අති උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී දළදා
වහන්සේ විෂයයෙහි සිදු කරනු ලබන උසස් පූජෝත්සවයක් සේ සලකා පුරාණ චාරිත්‍රානුකූලව නො
කඩවා පවත්වාගෙන එනු ලබයි. ඒ අනුව වර්තමානයේ මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු අස්ගිරි උභය මහාවිහාරයීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ගේ පූර්ණ
අවවාදානුශාසනාවන්ට අනුව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමාගේ මග පෙන්වීම මත මෙම
මහා සංස්කෘතික මංගල්‍ය සිදු කෙරේ.
- නයනා නිල්මිණී |