අග්‍ර සස්‍ය පූජා අලුත් සහල් මංගල්‍යය
ශ්‍රී දළදා මන්දිරයේ වාර්ෂිකව ඉටු කෙරෙන සතර මංගල්‍යය අතුරෙන් ව්‍යවහාර වර්ෂ
ක්‍රමයෙන් පළමු මාසය වූ සෑම ජනවාරි මාසයකට ම යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දින
දළදා වහන්සේ උදෙසා “අලුත් සහල් මංගල්ලය” පැවැත්වේ. “අලුසල් මංගල්ලය” යනු ද අලුත්
සහල් මංගල්‍යයමය..
ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන් ම ශ්‍රී දළදා වහන්සේ මුල්කොට ගනිමින් ගොඩනැගී ඇති මෙම
චාරිත්‍රය මෙරට කෘෂි ජන ජීවිතය හා බැඳුණු චාරිත්‍ර පුද සිරිත් හි සංකලනයකි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම වූ අවස්ථාවේ දී දේවානම් පියතිස්ස රජතුමා
විසින් ස්වකීය රාජ්‍යය තුන්වරක් ම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පුදනු ලැබීය. වර්ෂ
310 දී ශ්‍රී දළදා වහන්සේ වැඩමවීමෙන් අනතුරුව කිත්සිරිමෙවන් රජතුමා විසින් තුන්වරක්
ම සිරි ලක් දෙරණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයයෙහි පූජා කළ බව වංශ කතාවන් හි සඳහන්
වේ. එතැන් සිට මේ මහ පොළොවේ සැබෑ අයිතිකරු බුදුරජාණන් වහන්සේ බවට විශ්වාසයක්, බෞද්ධ
ජන සමාජය තුළ තහවුරු විය. එතැන් සිට රටේ සෞභාග්‍ය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කරමින් තම
අස්වැන්නෙන් අග්‍ර භාගය බුද්ධ පූජාවට හා දේව පූජාවට වෙන්කොට පිදීමේ සිරිත ආරම්භ
විය.
තම ගොවිතැන් කටයුතු ආරම්භයේ දී ම අස්වැන්නෙන් ප්‍රථම කොටස අලුත් සහල් මංගල්ලය උදෙසා
පිදීමට බාරවීම අනුව දළදා වහන්සේ උදෙසා සිදු කරන මෙම උතුම් චාරිත්‍රය ආරම්භ විය.
ලක්දිව රජකළ ඒ ඒ රජවරුන් විසින් ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි අලුත් සහල් මංගල්ලය
පවත්වා පූජෝපහාර දැක්වීම සඳහා ඉඩම් පමණක් නොව නිලකරුවන් ද පත් කොට පවරා දුන්හ. ඒ
ආකාරයෙන් අතීතයේ දළදා මාලිගාවට වෙන්කර පවරා දෙන ලද කුඹුරු ඉඩම්වල අස්වැන්න ගබඩා
කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් හා ගම් මට්ටමින් අටු කොටු ද පිහිටුවා තැබූහ. කීර්ති
ශ්‍රී රාජසිංහ රජතුමා දළදා වහන්සේ උදෙසා පූජා කළ කෙත් යාය හා පැරැණි අටුව
ගුරුදෙණියේ කෙත්යායට යාබදව ය. එම කුඹුරු යායට වී අමුණු දහ අටක් පමණ වැපිරෙන භූමියක්
අයත් විය. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයෙන් ගුරුදෙණියේ කෙත් යාය සහ මහ අටුව පිහිටි
භූමිය ද යට වූ බව සඳහන් වේ.
ඒ පෞරාණික අටුව වර්තමානයේ කුණ්ඩසාලේ පල්ලේකැලේ භූමියක පිහිටුවා ඇත. ගුරුදෙණිය
කුඹුරු යාය වෙනුවෙන් රජයෙන් පවරා දුන් මහවැලි ‘සී’ කලාපයෙහි යක්කුරේ කෙත්යායෙන්
ලැබෙන වසරේ අස්වැන්නේ මුල් කොටස පල්ලේකැලේ අටුවෙහි තැන්පත් කොට තිබීම සිරිත ය.
අලුත් සහල් මංගල්ලයට සුබ නැකතින් වී සහල් බෙදා දීම සිදු කරනුයේ පෞරාණික අටුව
සංරක්ෂණය කොට ඇති පල්ලෙකැලේ දී ය.
වී සහල් බෙදා දිය යුතු ලැයිස්තු තුනක් අඩංගු ය. එය ආරම්භ වනුයේ ශ්‍රී දළදා මාලිගාව
නමිනි. පළමු ලැයිස්තුවට විහාර දේවාල 91 ක් ද, දෙවන ලැයිස්තුවට 10 ක් ද, තුන්වන
ලැයිස්තුවට මල්වතු, අස්ගිරි උභය මහා විහාරයේ මහානායක හිමිපාණන් වහන්සේලා දෙනම, අනු
නායක හිමිපාණන් වහන්සේලා තුන් නම හා එම විහාර දෙක ද, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන
නිලමේ ප්‍රමුඛ රාජකාරීකරුවන්ට ද, දේවාලවලට ද වී සහල් බෙදා දීම සිදු වේ.
ප්‍රථමයෙන් ශ්‍රී දළදා මාලිගාවේ කිරිබඩ පාත්‍රයට හාල් සේරු 80ක් වෙන් කිරීමෙන්
අනතුරුව සතර මහා දේවාලය, මල්වතු, අස්ගිරි උභය මහා විහාරය හා ගංගාරාමය යන පූජනීය
ස්ථානවලට පිළිවෙළින් නියමිත කොටස් බෙදා වෙන් කෙරෙයි. ඉහත සඳහන් කළ ලැයිස්තුවේ නම්
ඇති කිසියම් සිද්ධස්ථානයකින් යමකු පැමිණ නොසිටියහොත් එම කොටසත් හිමි වන්නේ දළදා
මාලිගාවට ම ය.
අලුත් සහල් මංගල්ලයට නියමිත මූලික කටයුතු ආරම්භ වන්නේ ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ
දියවඩන නිලමේතුමාගේ උපදෙස් අනුව සුබ නැකැත් මුහුර්තීන් යොදා නැකැත් මොහොට්ටාල
විසින් නැකැත් පත්‍රයක් සම්පාදනය කිරීමෙන් අනතුරුව ය. මෙම නැකැත් පත්‍රයෙහි මූලික
වශයෙන් සඳහන් වන්නේ ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට සතර දේවාලයන් හි පෙරහර අලි ඇතුන්
සහිතව පල්ලේකැලේ අටුව වෙත ගමන් කිරීම. දියවඩන නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් වී සහල්
බෙදා දීම, පසුදා ගංගාරාම විහාරස්ථානයේ සිට පෙරහරින් ශ්‍රී දන්ත ධාතු මන්දිරය කරා
පැමිණ සුබ මුහුර්තියෙන් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ සැකසූ සුවිශේෂී ස්ථානයක වී සහල්
ගබඩා කර තැබීම සිදු කෙරේ. බෙදා දුන් වී සහල් අදාළ විහාරස්ථාන හා දේවාලයන්ට රැගෙන
යන්නේ එකට නොව වෙන වෙන ම ය. තම තමන්ට ලැබුණු වී සහල් හේමකද මත තබාගෙන රැගෙන යෑම
සාමාන්‍ය සිරිතයි.
අවසාන වශයෙන් දුරුතු පුර පසළොස්වක පෝය දිනට පෙර දින කාරියකරවන කෝරාළ විසින්
විදානේවරුන් හා ආලත්ති අම්මාවරුලවා අලුත් සහල් පිරිසුදු කොට තබා පෝය දින පෙරවරුවේ
ලිප් බැඳ එය වටා කහ දියර ඉස අලුත් සහල් සේරු 80 කින් බුද්ධ පූජාව සුදානම් කරවනු
ලැබේ. එම පූජාව සඳහා අවුල්පත් හා ව්‍යංජන ද සූදානම් කරති.
දළදා මාලිගාවේ උඩමහලේ පිරිත් කොටුවෙන් ඇතුල් වූ විට පිවිසෙන හඳුන්කුඩම තුළ හාල්
සේරු අසූවකින් පිසූ ආහාර පිරවිය හැකි විශාල කිරිබඩ පාත්‍රය තැන්පත් කොට තබා මහා
නායක හිමිපාණන් වහන්සේ ද, තේවාව භාර නායක හිමියන් ප්‍රමුඛ අනෙකුත් තේවාව භාර
ස්වාමීන් වහන්සේලා ද, දියවඩන නිලමේතුමා හා නිලකරුවෝ ද මහත් වූ ශ්‍රද්ධාවෙන් කිරිබඩ
පාත්‍රය පිරෙන තෙක් දානය බෙදති. ව්‍යංජන, අවුල්පත් හා පලතුරු ආදිය වෙන වෙන ම
තැන්පත් කිරීමෙන් පසු සියලු දාන වස්තුව ශ්‍රී දළදා වහන්සේ උදෙසා පූජා කිරීම සිදුවේ.
සතර දේවාලය ඇතුළු අනෙකුත් විහාරස්ථාන හා දේවාලවල ද මෙකී නැකැත් වේලාවේ දී අලුත්
සහලින් පිසූ බුද්ධ පූජාව හා දේව පූජාව සිදු කරති.
පෙර රජ දවස සිට අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම මංගල සම්මත අලුත් සහල් මංගල්ලය කෘෂිකර්මය
ජීවන වෘත්තිය කරගත් පැරැණි ජන සමාජයේ සංස්කෘතිය සමඟ බැඳීවිත්, ලංකා ධරණිතලයට බුදු
දහම වැඩමවීමත් සමඟ වඩා වඩාත් වර්ධනය වී කලට වැසි ලැබී අස්වැන්න ද නිසි පරිදි ලැබී
රටට, දැයට, දහමට සමෘද්ධිය, සෞභාග්‍ය ලබාගනු පිණිස චිරාගත සම්ප්‍රදායික චාරිත්‍රමය
පූජා ක්‍රමයක් ලෙසින් වර්තමානය දක්වා පවත්වාගෙන එයි.
- දීපා පෙරේරා |