[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන මහා පෙරහර මංගල්‍යය එදා සහ අද

ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන මහා පෙරහර මංගල්‍යය එදා සහ අද

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ආදාහනය කළ කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන සල් උයනේ දී අකු ධාතූන් වහන්සේ දෙනමත්, ලලාට ධාතූන් වහන්සේ, ග්‍රීවා ධාතූන් වහන්සේ හා සතර දළදා වහන්සේ පමණක් ඉතිරි වී සෙසු ධාතූන් වහන්සේලා අබ පියලි මුන් පියලි, ප්‍රමාණයට කැඩී ඉතිරි වූ බව මහා පරිනිබ්බාණ සූත්‍රය ආදී ඓතිහාසික වාර්තා අනුව සඳහන් වේ.

එම සතර දළදා වහන්සේ එක නමක් තව්තිසා දෙව්ලොව ද එකනමක් නාගපුරයෙහි (වර්තමාන නාග්පූර් හි පවුනි ප්‍රදේශයේ ජගන්නාථ විහාරයේ ද(ධාතු වංසයේ සඳහන්වන්නේ නාගලෝකයේ වැඩසිටි බවයි), එක නමක් ගන්ධාර දේශයේ ද, එකනමක් කලිගුරටේ ද වැඩ වසති. මේ අනුව නාග පුරයෙහි වැඩ විසූ ශ්‍රී දකුණු දළදා වහන්සේ දැනට පොළොන්නරුවේ බුදුරැස් විහිදෙන සෝමවතී චෛත්‍ය රාජයා තුළ ද, එක නමක් වර්තමාන පකිස්තානයේ කෞතුකාගාරයක සුරක්‍ෂිතව වැඩ වෙසෙති. වාම ශ්‍රී දළදා වහන්සේ දැනට රන් රිදී මුතුමැණික් වලින් සමන්විත ව සියැසින් දැකබලා ගැනීමේ භාග්‍ය උදාකරමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවසන සේක.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වසර 218 ක් ගතවන මොහොතේ ම ධර්‍මාශෝක මහරජතුමා මහකෙළ නාගරාජයා විසින් මවා පෙන්වන ලද සම්බුද්ධ දේහය සියැසින් දැක අසීමීත බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූයේ එකී සම්බුද්ධ රූපය ප්‍රතිමාවකට නගා බුදුරජාණන් වහන්සේ උදෙසා පාඨලී පුත්‍ර, ඉසිපතන, ලුම්බිණි, කුසිනාරා, සාංචි ආදී බෞද්ධ සිද්ධස්ථානවල පෙරහර පැවැත්වූ බවත් , චීන ජාතික පාහියං භික්‍ෂූවගේ වාර්තාවල ද සෑම අවුරුද්දේම දෙවන මස අටවක දා බුදුරදුන්ට උපහාර දැක්වීම පිණිස පිළිම පෙරහරක් පැවැත් වූ බවත් එකී පෙරහර දිනයන්හි සියලු භික්‍ෂූහු ද, ගිහිපිරිස ද එක්රැස්ව සුවඳ දුම්, මල් ආදිය පුදමින් නැටුම්, ගැයුම්, වාදන ද පැවැත් වූ අතර, බමුණන් එතැනට පැමිණ සියලු බුද්ධ ප්‍රතිමාවන් පිළිගත් ආකාරය ද සඳහන් කොට ඇත.

පාහියංගේ මෙබඳු වාර්තා අනුව අශෝකාධිරාජ්‍ය සමය පටන්ම බෞද්ධ සංස්කෘතියට පෙරහරවල අංගයන් ඇතුළත් වූ ආකාරය දැක්වේ. සංඝමිත්තා මහරහත් තෙරණිය ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරවීමේ දී පෙරහර සම්බන්ධ වූ බව සඳහන් කර ඇති අතර, එතැන් පටන් ලක්දිව පෙරහර ද ආරම්භ වන්නට ඇතැයි සැලකේ. දුටුගැමුණු රජතුමා ද ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ස්වර්ණමාලී මහසෑය තුළ නිදන් කරන මොහොතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයම සියැසින් දැක අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියට පත් වූ ආකාරයත් මහාවංශයේ සඳහන් ය. මේ අයුරින් පෙරහර බෞද්ධ සංස්කෘතියේ අංගයක් බවට පත් වූ අතර, අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවසන වාම ශ්‍රී දළදා වහන්සේ හේමමාලා දන්තකුමරු දෙපළ රා.ව. 301 දී කිත්සිරිමෙවන් රජුට භාරදීමෙන් අනතුරුව, රජතුමාට ඇති වූ සැකය දුරලමින් දළදා වහන්සේ අහසට පැන නැග ප්‍රාතිහාර්යය පෑ ආකාරය දැකීමෙන් අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියට පත් රජතුමා දළදා වහන්සේ රජගෙදරට වැඩමවා, සිංහාසනයේ වඩා හිදුවා නොයෙක් පුදපෙරහර පවත්වමින් මුළු ලක්දිවම තුන්වතාවක් දළදා වහන්සේට පූජා කළ ආකාරය මහාවංසය ආදී ග්‍රන්ථයන් හි සඳහන් වේ. එතැන්පටන් අභයගිරියෙහි ද දළදා වහන්සේ වඩා හිඳුවමින් , රාජ්‍ය සංකේතය බවට පත් කොට සෑම රජකෙනෙක් ම ස්වකීය මාලිගාවේ ම තබමින් පුද පූජා පවත්වනුයේ බුද්ධෝපස්ථානය කළ ආකාරය සඳහන් වේ. අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු යුගයේ ද විජයබා, පරාක්‍රමබාහු හා නිශ්ශංකමල්ල ආදී රජවරුද ඒ ආකාරයෙන්ම දළදා වහන්සේ සඳහා පුද පෙරහර පැවැත් වී ය. කාලිංග මාඝ චන්‍ද්‍රභාණු ආක්‍රමණ නිසා දඹදෙණියට රාජධානිය ගෙනගිය අතර භික්‍ෂූන් වහන්සේ ද දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය සමීපයෙහි සපු ගහක සඟවා බුරුමයට පැන ගියහ. 2 වන පරාක්‍රමබාහු රජතුමා ස්වකීය මාළිගාව සමීපයෙහිම දළදා මාළිගාවක් සාදා නොයෙක් පුද පූජා පැවැත් වූ අතර, පරසතුරු ආක්‍රමණ හා රාජ්‍ය තුළ ඇති වූ ගැටුම් නිසාත් දළදා වහන්සේ රැගෙන, කුරුණෑගල, යාපහුව, ගම්පොල, කෝට්ටේ ආදී රාජධානිවලට ද ගෙනගිය අතර, සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වන විට දළදා වහන්සේ රත්නපුරය, කුරුවිට දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන්ගලයට සගවා තබමින් රහසිගතව පුදපූජා පැවැත් වී ය.

පළමු රාජසිංහයන් නිසා ඇති වූ සම්බුද්ධ ශාසනයේ විනාශයත් එකදු උපසම්පදා භික්‍ෂුවක්වත් නැති වූ අතර, ධර්‍ම ශාස්ත්‍රීය ග්‍රන්ථ ද විනාශයට පත් විය. නැවත රා.ව. 1542 දී වික්‍රමබාහු රජතුමා කන්දඋඩරට සෙන්කඩගල රාජධානිය පිහිටුවාගෙන රජගේ සමීපයෙහි දෙමහල් පෝය ගෙයක් බඳවා, ඒ සමීපයෙහි දාගැබෙහි පාත්‍රා ධාතූන් වහන්සේ නිදන් කොට පෝයමලු විහාරය නමින් නම් තබා ඒ අවට වෙහෙර විහාර 86 ක් සාදවා උපසම්පදා භික්‍ෂූන් වහන්සේ 355 නමක් ඇති කොට ධර්‍මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ ශාසනයෙහි කටයුතු සැලැස්වූ ආකාරය මහාවංශයේ 92 පරිච්ඡේදයෙහි දැක්වේ. පළමු විමලධර්මසූරිය රාජ්‍ය කාලයේදී දළදා වහන්සේ දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවා මාලිගාවක් සාදවා එහි තැන්පත් කොට පෝයමලු විහාරයේ හා අස්ගිරි විහාරයේ භික්‍ෂූන් වැඩමවා පුද පූජා පැවැත්වූ අකාරය ද මැනවින් සඳහන් වේ.

ධර්‍ම ශාස්ත්‍රීය අධ්‍යාපනය වැඩි දියුණු කළ වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයන් වහන්සේ ඇතුලු මහා විහාරයීය භික්‍ෂූන් වහන්සේ සියම් රටෙන් උපසම්පදාව වැඩම වූ උපාලි හිමියන් ඇතුලු භික්‍ෂූන් වහන්සේත් සතර දේවාල පෙරහර බලන අවස්ථාවේ දී දළදා වහන්සේ උදෙසා ද මෙවන් පෙරහරක් පැවැත්වීම සුදුසු යැයි කරන ලද යෝජනා හා අදහස් ද, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ඉදිරිපත් කළෙන් රජතුමා අසීමිත සතුටට පත්ව පෙරහරක් සංවිධානය කරවා සතර දේවාල පෙරහරට පෙරටුව වීදි සංචාරය කිරීමට සැලැස් වී ය. මේ අයුරින් වර්ෂ 1700 ක් පමණ කාලයක් මුළුල්ලෙහි පවත්වාගෙන ආ මෙම පෙරහර බ්‍රිතාන්‍ය පාලකයන් නැවැත් වීය. එකල දැඩි නියඟයක් ඇති විය. මෙයට හේතුව පෙරහර නොපැවැත් වීම නිසා යැයි භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව ප්‍රකාශ කළ බවත් , එසේ නම් පෙරහර පවත්වා වැසිවස්සන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා අභියෝග කළේ ය. මල්වතු අස්ගිරි විහාරයීය භික්‍ෂූන් වහන්සේත් , බෞද්ධ පිරිසත් එකතු වී චාරිත්‍රානුකූලව පෙරහර පටන්ගෙන දෙවන දිනයේ ම දැඩි නියගය අවසන් කරමින් මහා වැසි ඇද හැලී, මහා ගංවතුරක් ඇති වූ ආකාරය දළදා වතුර නම් ග්‍රන්ථයේ සඳහන්වේ.

ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් පසු වසර කීපයක් පෙරහර නොපැවැත් වූ අතර, ක්‍රී.ව.1828 මැයි 29 වැනි දින සර් ඇඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමාගෙන් අවසර ලබාගත් රදලවරුන් විසින් මුලපටන්ම පවත්වාගෙන ආ පැරැණි සම්ප්‍රදායනුකූලවම පෙරහර නැවතත් පැවැත් වූ ආකාරය මනාව සිහියට නැගේ.

වර්තමානය වන විට මෙම පෞරාණික සම්ප්‍රදායන් ගිලිහි යාමට නොදී අතීතය සිහිපත් කරවමින් එකී සම්ප්‍රදායන් අද දක්වාම මහනුවර සිරි දළදා පෙරහර තුළින් මොනවාට විදිහා දක්වමින් ක්‍රමවත්ව හෙළ කලාවත්, පෞරාණික සම්ප්‍රදායන් හා බෞද්ධ සංස්කෘතියත් දැක බලා ගැනීමෙන් පෙර අපර දෙදිග ලෝකයා මවිතයට පත් කරවමින් ඔවුන්ගේ අමන්දානන්‍දයට හා භක්ත්‍යාදර ගෞරවයට පාත්‍ර වූ ලාංකිකයාගේ ප්‍රෞඩත්වයත්, කලාකරුවාගේ සහජ දක්‍ෂතාවයත් ඔප්නංවන මෙම ඇසළ මහා සැණකෙළිය හෙවත් මහනුවර ශ්‍රී දළදා පෙරහර ඒ අයුරින්ම සමස්ථ ලෝකවාසී මහජනතාවට සියැසින් දැකබලා ගැනීමට සැලැස්වීම මල්වතු අස්ගිරි උභය මහා විහාරයන් හි අතිගෞරවාර්‍හ මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේලා දෙනමගේ හා එකී මහ සඟරුවනේත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තුමන් ඇතුළු රජයේ හා අප ඔබ සැමගේ ඒකායන ප්‍රාර්ථනය යි.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk