[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා පෙරහරයි හෙළ සංස්කෘතියයි

දළදා පෙරහරයි හෙළ සංස්කෘතියයි


දංෂ්ට්‍රාධාතු මන්දිරය අද අපට දැක ගත හැකි වන්නේ කන්ද උඩරට මහනුවර බෝගම්බර වැව හෙවත් අප අද කවුරුත් භාවිත කරන මහනුවර වැවට උතුර පැත්තෙන් එදා සිංහලේ මහරජතුමාගේ වාස භවනය වූ රජවාසලට ඉතා ආසන්නව දකුණු පසින් පිහිටා ඇති දර්ශනීය සුවිසාල මන්දිරය යි.

 

ඉතින් මේ සා විසාල මන්දිරය දළදා වහන්සේට වෙන් කිරීම තුළ ම අපට හිතා ගන්නට පුළුවන්කම තිබෙනවා දන්තධාතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මෙන් ම ඒ සඳහා අද කොපමණ මට්ටමක රාජකාරි සමූහයක් සංවිධානය වී පවතිනවා ද යන්න. ඒ වටා සිංහලයාගේ සංස්කෘතිය, ආගම ධර්මය, සාමාජික වටපිටාව යන මේ සැම කරුණක් කෙරෙහි ම දක්වා ඇති බලපෑමත් සිතා ගන්නට පුළුවනි.

මේ උතුම් පූජනීය වස්තුව නිසා ශ්‍රී ලාංකේය ජනතාවගේ ආගමික වටපිටාව, සාමාජික වාතාවරණය හා සංස්කෘතිය කෙරෙහි දක්වා ඇති බලපෑම සුළුකොට සලකන්නට හැකියාවක් නැහැ. එපමණට ම ලක්වැසියන්ගේ ජන ජීවිතය කෙරෙහි මෙම දළදා වහන්සේ බලපා තිබෙනවා. මෙය වඩාත් සාකච්ඡාවට ගැනෙන්නේ සිංහලේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස අප කා අතර ත් කතාබහට ලක් කරන දළදා පෙරහර සම්බන්ධයෙනු යි.

කෙසේ වුවත්, දළදා වහන්සේගේ උරුමය ශ්‍රී ලංකාවාසි අපට හිමි වන්නේ මහසෙන් රජුගේ පුත් සිරිමේඝවර්ණ රජතුමාගේ අවදියේ . මේ රජතුමා ලංකාවේ රජකම් කර ඇත්තේ ක්‍රි.ව. 301 සිට 328 දක්වා වූ වසර 27 ක කාලසීමාව තුළ යි. ඔබ අප දන්නා පරිදි දළදා වහන්සේ ලෙස අප වන්දනා කරන්නේ, විශේෂ අවස්ථාවල දී, දළදා ප්‍රදර්ශන පැවැත්වෙන අවස්ථාවන්හි දී, ප්‍රදර්ශනය පිණිස කරඬුවෙන් බැහැරට වැඩමවා ගනු ලබන්නේත් බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ යි. ඉතින් එදා ගුහසීව රජතුමාගෙන් හේමමාලාවන්ට මේ උතුම් වස්තුව භාර දෙන අවස්ථාවේ හෝ ඊට පෙර දළදා වහන්සේ උදෙසා පෙරහර කිරීමක් සිදු වූ බවට විදේශ වාර්තාවන් අපට හමුවෙලා නැහැ. එහෙම වුණත් අපි ඉතිහාසයෙන් දැනගෙන තිබෙනවා බුදුරජාණන් වහන්සේ එදා බුදුබව ලබා ගැනීමේ දී සෙවන දුන් ඒ විජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ක්‍රි.පූ. 3 වන සියවසේ දෙවනපෑතිස් රජතුමා දවස දඹකොළපටුනේ සිට අනුරාධපුර මහමෙවුනාව දක්වා වැඩම කරවන ලද අවස්ථාවේ එක දිගට පුද පූජා පෙරහර සහිතව වැඩම වූ ආකාරය. ඉතින් දළදා වහන්සේ පිළිබඳවත් මෙරට ජනතාව තුළ ඇත්තේ ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේට නො දෙවෙනි ගෞරවයක්, භක්තියක්. ඒ නිසා එදා කිත්සිරිමෙවන් රජු දවස වාම ශ්‍රී දළදා වහන්සේ අපට ලැබුණයින් පසුව ක්‍රමයෙන් එම උත්තම වස්තුව පිළිබඳව ද පෙරහර සංස්කෘතියක් නිර්මාණය වූ බව මහාවංසාදී මූලාශ්‍රය අපට තොරතුරු සපයන වා. එදා අශෝක අධිරාජයන් දවස දඹදිව මෙම පෙරහර සංස්කෘතිය ආරම්භ වූ බවට සාධක තිබෙනවා. පූජා සංස්කෘතිය මූලික බුදුසමයෙන් අගය කෙරෙන්නේ නැහැ. එහෙම වුණත් එදා බ්‍රාහ්මණ සංස්කෘතිය, වගේ ම හින්දු සංස්කෘතිය තුළ ආගම ධර්මය ඇදහීම සම්බන්ධයෙන් විශේෂ ලක්ෂණයක් වූයේ යාග හෝම පුදපූජා පැවැත්වීම යි. ඉතින් ඒ වෙනුවට මෙවැනි උත්තම වස්තුන් සම්බන්ධයෙන් පෙරහර පූජා උත්සව පැවැත්වීම, හිංසක යාග හෝම පූජා වෙනුවට අවිහිංසක මනස්කාන්ත උත්සවයක් වශයෙන් සලකා ක්‍රියා කිරීමක් ලෙස යි අපට පෙනෙන්නේ. මේ තත්වය හොඳ ධාර්මික හැඩගැස්වීමක්. පාහියන් නමැති චීන දේශාටක භික්ෂූන් වහන්සේගේ විස්තර වාර්තා අනුව අනුරාධපුර සමයෙහි පවා මේ පෙරහර ක්‍රමය පැවතුණා වගේ ම රාජධානි මාරුවිම ත් සමඟ පොළොන්නරු, යාපහු, දඹදෙණි, ගම්පොල, කෝට්ටේ වැනි අවදිවල පවා මේ පෙරහර සංස්කෘතිය සිංහල ජාතියේ ජීවයක් බවට පත්වෙලා මහනුවර හා ඉන් පසු අද දක්වා ත් ක්‍රමයෙන් විචිත්‍ර වෙමින් පැවතී ගෙන එන්නේ අද දවසේ සිංහල බෞද්ධ සංස්කෘතියේ කැඩපතක් හා සමානව යි. මේ නිසා ජනතාව තුළ එක් පැත්තකින් සංයමය, විනයගරුක බව වැනි සමාජශීලි ගති ගුණ බහුල වීමත්, ආගමික පැත්තෙන් තවදුරටත් ජනතාව ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් උත්තම බුදුරජාණන් වහන්සේ වෙනුවට ජීවමාන බුදුරජාණන් වහන්සේ යන සංකල්පනාවෙන් යුක්ත ව මහත් ගෞරවයෙන් දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන මේ පෙරහර සඳහා විශාල ධන පරිත්‍යාගයෙන් ඉදිරිපත් වෙන ස්වරූපයක් දක්නට ලැබෙනවා. මේ තුළින් ජනතාව තුළ බෞද්ධාගමේ මූලික ඉගැන්වීමක් වන අත්හැරීමේ හෙවත් පරිත්‍යාගශීලි ගුණය තහවුරු වෙනවා. එපමණක් නොව විනයක් නැතිනම් සංයමයක් ජනතාව තුළ හුරු පුරුදු වෙනවා.

සාමාජික වශයෙන් බලනකොට ඇසළ මාසය අතීතයේ පටන් ම ශුද්ධ මාසයක්, පූජනිය මාසයක් ලෙස සම්භාවනා ලබනවා. එය හුදෙක් දෙවියන් සතුටු කිරීම පිණිස විවිධ පූජා, නැකත් කෙළි පවත්වන මාසයක් කොට යි සලකන්නේ. මුලින් අනුරාධපුර සමයෙහි දළදා පෙරහර සියැසින් දුටු විස්තර කරන පාහියන් නම් වූ චීන ජාතික භික්ෂුවගේ වාර්තාවන්ට අනුව මේ පෙරහර එදා උන්වහන්සේ පෙන්වා දෙන්නේ බුද්ධ වර්ෂ ක්‍රමයට තුන්වන මාසයේ සිදු වූ බවක්. ඉතින් මේ බුද්ධ වර්ෂ ක්‍රමයට අනුව ගණනය කරලා බලනවිට තුන්වන මාසය කියලා කියන්නේ ඇසළ මාසය ම යි. එහෙම නම් එද ත් මේ ඇසළ මාසයේ තමයි මේ පෙරහර පවත්වා ඇත්තේ. ඒ නිසා ඒ ගැන කියන්නට තිබෙන්නේ සමාජික වශයෙන් හා සංස්කෘතික වශයෙන් බැලුවත් මේ ඇසළ මාසය එදා සිට අද දක්වා ත් පුජනිය ශුද්ධ මාසයක් ලෙස පැවතිලා තිබෙනවා. ඒ තුළින් පෙනී යන්නේ සාමාජික වශයෙන් මේ මාසය ජනතාවගේ සන්තුෂ්ටිමත් කාල පරිච්ඡේදයක් ලෙස පිළිගැනී තිබුණු බව යි.

ඉන්දියාවේ ද පුරාණ කාලයේ සිට ම ආෂාඪ උත්සවය ලෙස සලකා උත්සව පවත්වා ඇත්තේ මේ ඇසළ මාසය මුල් කරගෙන යි. ඒ වගේ ම අදත් ඇසළ පෙරහරේ සුවිශේෂ අවස්ථාවක් වශයෙන් සලකන්නේ මහ පෙරහර අවසන් කර දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීම යි.

මේ දිය කැපීමෙන් අදහස් කර ඇත්තේ සුරාසුර යුද්ධයේ දී අසුරයන් ඝාතනයට යොදා ගත් කඩු, සුරයන් විසින් සේදූ ආකාරය පිළිබිඹු කරනවා කියන අදහස යි. මේ ගැන විවිධ මතවාද තිබෙනවා. මේ අතර මේ ඇසළ පෙරහර උත්සවය විෂ්ණු දෙවියන්ගේ උපත සිහිකිරිම සඳහාත්, විෂ්ණු දෙවියන්ගේ ඉෂ්ටමිත්‍ර සුරයන් විසින් අසුරයන් ජය ගැනීම සඳහාත් යොදා ගත් එකක් ලෙසත් සලකනවා. මේ කොයි කාරණයෙන් වුණත් මේ දිය කැපීම ඇසළ පෙරහරේ ප්‍රධානතම චාරිත්‍රයක් බවට පත්ව තිබෙනවා, වගේ ම, එය වෙනත් භාරතීය හින්දු ආගමික සම්ප්‍රදායයන් හා සම්මිශ්‍රණය වී පවතින්නක් බවත් අපට පේනවා. එය ද ඈත අතීතයේ පටන් ම සිංහල බෞද්ධ සංස්කෘතිය කෙරෙහි භාරතීය ආගමික සිරිත් විරිත්වල බලපෑමක් යන්න අපට පෙන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා.

ලංකාව ඇත අතීතයේ සිට ම කෘෂිකාර්මික රටක් වශයෙන් ප්‍රකට යි. ඒ නිසා තමා සාගර වැනි වැව් අපේ පැරැණි රජදරුවන් විසින් නිර්මාණය කළේ. ඒ වගේ ම සෑම ගමක් පාසා ම වගේ වියළි කලාපයේ කුඩා ප්‍රමාණයේ වැව් දකින්නට ලැබෙනවා. මේ වැව්වලට ජලය අවශ්‍ය යි. ඉතින් නියමිත කාලයට වර්ෂාව අවශ්‍ය නිසා ප්‍රමාදයකින් තොරව වර්ෂාව ලබා ගැනීමේ අරමුණත්, පෙරහර සංස්කෘතියේ අරමුණක් බවයි.ඒ අනුව බලන කොට අපේ විද්වතුන්ගේ ද මතය වෙලා තිබෙන්නේ මේ දිය කැපීම මගින් වර්ෂාව ලබා ගැනිම අරමුණක් වූ බවයි. මේ ක්‍රමයෙන් මෙවැනි පූජනිය වස්තු උදෙසා පෙරහර පුජා පවත්වා එහි ආනුභාවයෙන් සෞභාග්‍යය උදාවෙන බවට මතයක් පවතිනවා. ඇත්තෙන් ම පූජනිය වස්තු විෂයයෙහි ගෞරව පුදපූජා පැවැත් වීමෙන් වර්ෂාව ඇතිවන බව කියවෙනවා. එහි දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දන්තධාතුන් වහන්සේ සම්බන්ධ යම් යම් සිදු වීම් සමබන්ධයෙන් මෙවැනි මත පළ කරනවා. එවැනි මත තහවුරු වී තිබෙනවා. මෙය ජන සංස්කෘතිය කෙරෙහි ඇති වී තිබෙන බලපෑමක් බව කියන්නට පුළුවනි. ඒවගේ ම අපේ අවධානයට ගත යුතු තවත් දෙයක් තමා කාලින වශයෙන් ඇති වන වෙනස්කම් පිළිගැනීම් ආදියත්, ඒ ඒ වකවානුවල දී දළදා පෙරහර හා සම්බන්ධ වී ඒවා ද පෙරහර අංග බවට පත්ව තිබෙනවා. නිදසුනක් වශයෙන් සතර දේවාල දළදා පෙරහරට එක් විම ගන්නට පුළුවනි.

මෙම ලිපියේ ඉතිරි කොටස නිකිණි අව අටවක පෝදා (අගෝස්තු 23 සිකුරාදා) පත්‍රයේ පළවේ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk