[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතිපට්ඨාන භාවනාව 59 : නිවැරැදි අදහස් වලට ගරු කරන්න නිවන දෙසටම යොමු වන්න

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සංකප්ප මාර්ගාංගය

නිවැරැදි අදහස් වලට ගරු කරන්න නිවන දෙසටම යොමු වන්න

කායානුපස්සනාව , වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වශයෙන් සතිපට්ඨාන සතරක් තිබෙන බව කාටත් පැහැදිලි වුණා. කායානුපස්සනාවේ භාවනා ක්‍රම දාහතරක් ද , වේදනානුපස්සනාවේ වේදනා තුනක් ද, චිත්තානුපස්සනාවේ සිතට පහළවන අරමුණු දාසයක් ගැන සඳහන් කළා.

ධම්මානුපස්සනාවේ ස්කන්ධ විදර්ශනාව , නීවරණ විදර්ශනාව, ආයතන විදර්ශනාව, සත්‍ය විදර්ශනාව මෙයට පෙර සඳහන් කළා. මේ දිනවල සඳහන් කරන්නේ සත්‍ය විදර්ශනාවෙහි මාර්ග සත්‍යය යි. එනම්, නිවනට යන මඟ යි. ඒ එකම මඟ වන්නේ ආර්ය මාර්ගය යි. නිවන් මඟ, විශුද්ධි මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා , මාර්ගය වශයෙන් නාමයන් බහුලව ඇති අතර ඒ කුමන නමකින් ඇමැතුවත් එකම මඟම යි ප්‍රකාශ වන්නේ.

මෙම මාර්ගයේ ගමන් කළේ සාමාන්‍ය උතුමෝ නො වෙ යි. බුදු , පසේ බුදු, මහරහතන් වහන්සේලා යි. ඒ උතුමන් වහන්සේලා දීර්ඝ කාලයක් සිත, කය, වචනය සංවර කරගෙන, පාරමී ගුණ දියුණුවෙන් පැමිණි නිසා, එවැනි උතුම් තත්ත්වයකට පත් වුණා. සිත සාදා ගැනීම සඳහා වෙර දරා කටයුතු කළා. සිත සකසා ගන්න අසීරු වූ සැවොම සසරට වැටී දුක් විඳිනවා. ඒ නිසා අප කවුරුත් සිත සාදා ගැනීම සඳහා ම මහන්සි ගත යුතු යි. ඒ සඳහා උපදෙස් ලබා දී තිබෙනවා. යන, එන විට දී පවා අරමුණක් මෙනෙහි කරන්න පුරුදු වන්න. එවිට තමන් යන ගමන පැහැදිලි යි, පිරිසුදු යි. සිතන දේ යහපත් වෙයි. මාර්ග ඵල අවස්ථාවට සමීප වෙයි.

සම්මා සංකප්ප යනු උතුම් අදහස්. නිවැරැදි අදහස් , යහපත් අදහස්, ශ්‍රේෂ්ඨ අදහස් වලින් සමන්විත බව යි. සංකප්ප යන වචනය කොටස් තුනකට බෙදෙන අතර, එය අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප වෙයි. මෛත්‍රී භාවනාව කිරීම, තරහ, වෛර , ක්‍රෝධ නොකිරීම අව්‍යාපාද සංකල්පනාව යි. මෛත්‍රී භාවනාව දියුණු කරන විට, සම්මා සංකප්ප හොඳින් වැඩෙයි. මුල පටන් අග දක්වාම මෛත්‍රී භාවනාව පැහැදිලිව පිරිසුදුව හොඳින් දියුණු කළ යුතු යි. සත්ත්ව හිංසාවෙන් වැළකුණු විට අවිහිංසා සංකප්පය සම්පූර්ණ වෙයි. පෝයට සිල් සමාදන් වන්න, වැඳුම් පිදුම් කරන්න පන්සලට යාම සහ සති භාවනා සඳහා බැහැරව ගොස්, දූ දරු , ඥාති , හිතවතුන්ගෙන් වෙන් වී වාසය කිරීම නෙක්ඛම්ම සංකල්පනාව යි. මේ උත්තරීතර සංකල්පනා තුනක් දියුණුවෙන් අප ඉදිරියට යනවා.

එවිට තමන් ‘මා මාර්ග සත්‍ය දියුණු කරගන්නා, අනුගමනය කරන, භාවිත කරන කෙනෙක්’ යනුවෙන් සිතාගෙන මුලින් තමා සම්මා දිට්ඨිය දියුණු කරන්නෙමි යනුවෙන් භාවනාවට ගැනුණා. ‘මම සම්මා සංකල්පනාව භාවනාවට ගනිමි. මෛත්‍රී භාවනා කරමි ’ අවිහිංසා වාදීව, නෛෂ්ක්‍රම්‍ය වාදීව නිතර සිතද්දී සම්මා සංකල්පනාව හොඳින් වැඩෙයි. සිහි නුවණ හොඳින් දියුණු වෙයි. සම්මා දිට්ඨිය මෙනෙහි කළා සේ සම්මා සංකල්පනාවත් හොඳින් මෙනෙහි කරද්දී තම ගුණ නුවණ හොඳින් වැඩී ප්‍රතිපත්ති මාර්ගයේ පැහැදිලි ලෙස ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. තමන් යන මාර්ගය පැහැදිලි නම්, යන ගමන හොඳනම් සම්මා සංකප්ප යන වදනට ගෞරවය පුද කරමින් ඉදිරියට ම යන්නට අවශ්‍යය යි.

‘මම මෛත්‍රී භාවනා ඇත්තෙක් වන්නෙමි, මම බණ භාවනා කටයුතු දියුණු කරන්නෙමි, මම අවිහිංසාවාදී වන්නෙමි, මම නෛෂ්ක්‍රම්‍ය සංකල්පවාදී වන්නෙමි’ යනුවෙන් නිබඳව ම මෙනෙහි කරද්දී, ගුණ සම්පත් හොඳින් දියුණුවෙන් ජීවිතය හොඳින් සකස්කරගෙන, අඩුපාඩුකම් මඟ හරවා ගෙන, මේ යන ගමන් මඟ වරදින්නේ නැතිව, පිරිසුදුවට යහපත්ව යන්න පුළුවන්කම තියෙනවා. එවිට සම්මා සංකප්ප යන මාර්ගාංගය හොඳින් කල්පනාවෙන් හොඳට නුවණින් මෙනෙහි කරද්දී තම මාර්ගාංගය හොඳින් වැඩෙයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, දෙක එකතු කළ විට හමුවන නාමය වන්නේ ප්‍රඥාව යි. මෙය නුවණ තිබිය යුතු ම ක්‍රමයක්. නුවණ තිබුණොත් පමණක් මෙම මාර්ගාංගය හොඳින් දියුණු කරගන්න පුළුවන්.

එසේනම්, අප සති, සමාධි, ඥාන දියුණුවෙන් කටයුතු කළොත් මෙම මාර්ගය පැහැදිලි ලෙස යන්නට පුළුවන්කම තියෙනවා. බුද්ධාදී උතුමෝ ප්‍රඥාව හොඳින් ම දියුණු කළා. දාන, සීලා දී සියලු පින්කම් වලදී නුවණ පාවිච්චි කිරීම සම්මා දිට්ඨිය නම් වෙයි. හොඳ අදහස්, සිතිවිලිවලින් පින්කම් කිරීම සම්මා සංකප්ප නම් වෙයි. මේවා හොඳින් දියුණුවෙන් ඉදිරියට යන විට යන ගමන් මග නොවැරැදී ම ඉදිරියට යන්නට පුළුවන්. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ යම් ගමන් මඟක වැඩම කළා ද ඒ මඟ තමයි, මා යන්නේ යනුවෙන් අධිෂ්ඨාන කරන්නට, මෙනෙහි කරන්නට, භාවනාවට ගන්නට අවශ්‍යය යි. එවිට තම සිත බොහොම පිරිසුදු වන අතර ඒ පිරිසුදු සිතෙහි ලෝභ, ද්වේශ, මෝහ, මද, මාන , ඊර්ෂ්‍යා, ගුණ මකුකම් කිසිවක් නැති අතර පිවිතුරු සිතකින් ම ඉදිරියට යන්නට පුළුවන්.

බුද්ධ ශාසනයත් , මනුෂ්‍ය ජීවිතයත් එකතු වූ නිසා අපට මඟ නොවැරැදී ඉදිරියට ම යන්න පුළුවන්. මෛත්‍රී භාවනා කරන විට සම්මා සංකල්පනාව හොඳින් වැඩෙයි. තමන්ට මෛත්‍රී කිරීමේ පටන් සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරද්දී තරහව, වෛරය දුරුව යන අතර තමා අවංක භක්ත්‍යාදරයෙන් මෛත්‍රිය වඩන්නෙක් ද වෙයි. එසේම සත්ත්ව හිංසාවෙන් වැළකී සියලු සත්ත්වයන්ට අවිහිංසාව පුද කළ යුතු යි. එවිට තමා ද අවිහිංසාවාදී කෙනෙක් වෙයි. ලෝක සත්ත්වයා අවිහිංසාවාදී වේ නම්, සත්ත්ව ඝාතන, සත්ත්ව හිංසා සිදුවන්නේ ම නැහැ. ඇතැම් ආගම්වල සත්ත්ව ඝාතනය, සත්ත්ව හිංසාව එමට යි. ඒ අය සමීපයේ සම්මා සංකප්පයක් ඇත්තේ ම නැහැ. බුදු දහම තුළ ජීවත් වන්නන් සම්මා සංකල්පනාව හොඳින් දියුණු කරනවා. ඒ නිසා සැමටම මේ ගමන යන්න පුළුවන්. මේ අනුව සිතෙන් මෙනෙහි කරද්දී සම්මා සංකප්ප යන මාර්ගය වැඩෙන අතර භාවනාවත් දියුණු තියුණුව ඉදිරියට යන්න පුළුවන්. එවිට මේ ගුණ ධර්ම දෙක තම සිතෙහි දියුණු කර යද්දී ප්‍රඥාව නමැති ශික්ෂාව සම්පූර්ණ වෙයි. ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වෙන විට , අඩුපාඩු වන්නට බැහැ. හොඳින් ඒ සියලු කටයුතු සිදු කරගන්නට අවශ්‍යය යි. ගුණ ධර්ම හොඳින් වැඩෙන්නට අවශ්‍යය යි. එවිට සීල, සමාධි, ප්‍රඥා ගුණ සියල්ලටම සමාන වන්නේ මේ කියනු ලබන නුවණ යි. නුවණ ඇත්නම් සියල්ල දියුණු කළ හැකි යි. එවිට ප්‍රඥා පාරමිතාව හොඳින් පිරෙයි.

එසේනම් සම්මා සංකප්ප යන මාර්ගාංගය භාවනාවට ගැනීමේ දී තමන්ගේ සිත, සිතෙහි පහළවන සියලු ම අදහස් පිරිසුදු වන අතර එය යි, අපට අවශ්‍ය වන්නේ. ඒ සඳහා යි, බුදු සසුන පිහිටාධාර කර තිබෙන්නේ. යම් අරමුණක් මෙනෙහි කරනවා නම්, ඒ අරමුණ මෙහි ඇති ප්‍රඥා ශික්ෂාවට ම වැටෙයි. අදහස සම්මා සංකල්පනාව යි. ඕනෑම අරමුණක් භාවනාවට ගන්නා විට, මෙනෙහි කරද්දී සම්මා සංකප්ප මාර්ගාංගය වැඩෙයි. ‘මා භාවනාව සිහි නුවණින් දියුණු කරනවා, සම්මා සංකප්ප ආදී ගුණ ධර්ම දියුණු කරනවා’ යනුවෙන් නිබඳවම සිතද්දී , මෙනෙහි කරද්දී අපට මේ මාර්ගාංගය වඩා වර්ධනය කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා.

‘මා සම්මා සංකප්පවාදී කෙනෙක්. මා සම්මා සංකල්පනාවන් හොඳින් දියුණු කරනවා’ යනුවෙන් නිබඳව ම මෙනෙහි කරද්දී, සිතද්දී තමන්ට ධර්මය අවබෝධය කර ගන්නට අපහසුතාවයක් වෙන්නේ නැහැ. ඒ නිසා දුර්ලභව ලබා ගත් බුද්ධ ශාසනය හොඳින් තමන්ගේ නුවණට වද්දාගෙන , බුද්ධ ශාසනය යනු කුමක් දැ’යි වටහාගෙන , ගුණ ධර්ම ටික දියුණු කරගනු ලැබුවොත්, දියුණුව, යහපත, ජය නියත වෙයි.

සිතේ කහට, පාපී සිතිවිලි බහුල වන අතර මේවා දුරු කරගන්න උපදෙස් මාලාවක් සහිතව භාවනා ක්‍රම බුදුසරණ පත්‍රය මඟින් සඳහන් කරන්නේ. මේවා කවුුරුත් කියවා අනුගමනය කරන බව බොහෝ දෙනෙකුගෙන් දැනගන්නට ලැබෙනවා. ඒ භාවනා ක්‍රම තමනුත් දැනගෙන, අන් අයටත් කියා දී නිවන් මඟට හුරු පුුරුදු කරගත යුතු යි. එවිට තමන්ට විශාල ශක්තියක්,බලයක්, ගොඩනංවා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. සෑම දෙයකටම ඡන්ද ඍද්ධිපාද, චිත්ත ඍද්ධිපාද , විරිය ඍද්ධිපාද, වීමංස ඍද්ධිපාද ආදී සතර ඍද්ධිපාද අවශ්‍ය කරනවා. මේ සතරින් ම යි භාවනා ක්‍රම හොඳින් ඉදිරියට මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය , සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය , ප්‍රඥා ඉන්ද්‍රිය කියන පහ හොඳින් දියුණු කළ යුතු යි. එවිට යි නොසැලී ඉදිරියට යන්නේ. මේ කරුණු ටික විශේෂයෙන් දැනගෙන සම්බුද්ධ ශාසනයත් හොඳින් වටහාගෙන, වාසනාවන්ත ගුණ ධර්ම ටිකත් දැනගෙන, සම්බුද්ධ ශාසනයට ඇප කැප වී කරන කටයුතු ‘ගලේ කෙටූ අකුරු සේ’ තම සිතෙහි හොඳින් දරාගෙන, මාර්ගාංග වඩවා ගැනීමේ අදහස සිතෙහි තබාගෙන කටයුතු කළොත් කිසිම කෙනෙකුට වරදින්නේ නැතිව ම නිවන දක්වාම නිවන් මග යා හැකි යි. එසේනම් , සැමටම සම්මා සංකප්ප මාර්ගාංගය දියුණුවෙන් එනම් නිවැරැදි අදහස් වලටම ගරු කරමින් නිවන දෙසටම යොමුවන්න භාග්‍ය වාසනාව ලැබේවා!

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk