ඇසළ පුර අටවක 2019.07.09
උපාය දන්නෝ
අපායේ නොවැටෙති
ළමාවිය පිවිතුරු ය. නිදොස් ය. නිකැලැල් ය. වැඩිහිටි වියේ ද, වයෝවෘද්ධ වියේ ද, ළමා
කල සිහි කරන්නෝ වෙති. එහි අපූර්වත්ව ය විඳින්නෝ වෙති. අතෘප්තිකර හැඟීම්වලින් මඬනා
ලද, සමාජ ගට්ඨනයන්ට ගොදුරු වූ විෂම පැවතුම් ඇති ළමා වියක් වූයේ නම්, ආවර්ජනය කරමින්
සතුටු වන්නට අතීතයක් හෝ, සාර්ථකයැයි සැනසෙන්නට වර්තමානයක් ද නො වන්නේ ය. එහි වරද
නම් හැදු වැඩූ මව්පියන්ට ය. මන්ද, ළමාවිය ගෙවෙන්නේ මව්පිය රැකවරණයේ වන බැවින් ය.
දරුවන් ගේ ආකල්ප, චර්යාවන් කවර හෝ වෙනසකට බඳුන්වේ ද, එහි වගකිවයුතතෝ මව්පියන් ම ය.
තම ප්‍රාණය හා සරිකොට සිතමින් කායික මානසික නිරෝගි බව, නිසි අධ්‍යාපනය, යහපත් සමාජ
පරිසරය දරුවන්ට තිළිණ කරන මව්පියවරු අපමණ වෙති. ඒ අතර ඉතා සුළු පිරිසක් පමණක් ඒ
වගකීම් පැහැර හරිති. කිරි කළයට ගොම බිඳක් මුසු වූයේනම් වුව ද කිරි කළයම ඉවතලනවා
විනා ගත හැකි ප්‍රයෝජනයක් නොමැත. සමාජයක පැවැත්ම ද එලෙස ය. ළමයින් හෝ වේවා, තරුණ
කණ්ඩායම්, වැඩිහිටියන් අතර හෝ වේවා සුළු පිරිසක් වුව වැරැදි මග යනවානම් එහි අහිතකර
ඵල විඳින්නට වන්නේ සමස්ත සමාජයටම ය. එසේ හෙයින් අපගේ ළමා පරපුර ඉතා උනන්දුවෙන්,
ඕනෑකමින් රැක බලා ගැනීම, සෑම ළමයෙකුටම අපූර්වත්වයෙන් පිරුණු යහපත් ළමාවියක් තිළිණ
කරදීම සෑම මවකගේ ම, පියෙකුගේ ම දැඩි වගකීමක් වන්නේ ය.
මේ අන් කවරදාටත් වඩා ළමයින් ගැන සැලකිලිමත් විය යුතු කාලයකි. මන්ද ළමයින් වරදට යොමු
කරවන්නට නො පෙනෙන බලවේග මහා බලයකින් ක්‍රියාත්මක වන නිසා ය. විශේෂයෙන් පාසල් දරුවන්
ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සෙවනැලි අප නො සිතන තැන්වල, නො සිතන
ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බව දිනෙන් දින පළවන මාධ්‍ය වාර්තාවන්ට අනුව
පැහැදිලි ය. මේ තත්ත්වය රටක අනාගතයම විනාශයට ගෙන යන්නෙකි.
මේ නිසා අප අවදියෙන් සිටිය යුතු වේ. රටපුරා මත්ද්‍රව්‍යවලට ගොදුරු වී ඇති සහ
ගොදුරුවීමට ඉඩ ඇති තරුණ පිරිස් මත් උවදුරින් බේරා ගැනීම පිණිස නාවික හමුදාව සහ
ජනාධිපති කාර්ය සාධක බලකාය සමග එක්ව වැඩසටහන්, වැඩමුළු රැසක් දියත්කර තිබීම,
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වීම පැසසුම් කටයුතු ය.
මෙම කටයුතු ආරක්ෂක අංශවලට පමණක් සාර්ථකව ක්‍රියාවට නැංවීම අපහසු ය. ඊට සාමාන්‍ය
ජනතාවගේ සහයෝගය ද අත්‍යව්‍යශ ය. එහිදී මව්පියන් සතු කාර්ය භාරය වෙසෙස් ය. ළමාවිිය
මත් ද්‍රව්‍යවලට ගොදුරු වූයේ නම් වන විපත් මහත් ය.
නරක පැමිණෙන්නේ හොඳ වේශයකිනි. එහෙත් එය හඳුනා ගන්නට බොහෝ ළමයින්ට නුවණ මද ය. එය
දරුවන්ට තේරුම් කර දිය යුතු මව්පියන් ය. දරුවන් යන එන තැන්වල ගැවසෙන අධම මිනිසුන්ගේ
ආරෝපණය කරගත් සිනහව, ආදරය, කරුණාව, ලෙන්ගතුකම දැක දරුවන් රැවටෙන්නට ඉඩ ඇත. ළමා
පරපුර මතට ගොදුරු කර ගන්නට එසේ උපාය යොදන්නෝ අපමණ වෙති. මව්ිපියන් දරුවන්ට නියම
මාර්ගෝපදේශකයන් විය යුත්තේ හෙයිනි. දරුවාගේ සුළු වූ ද, චර්යාමය වෙනසක් හඳුනා ගන්නට
අම්මාට තාත්තාට පුළුවන. කාර්ය බහුලත්වය නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ ටිකෙන් ටික
දුරස්වන මව්පිය දූ දරු සම්බන්ධය, අන්‍යොන්‍ය ආදරය, ගෞරවය නැවත ශක්තිමත් කරගත යුතුව
තිබේ. විශේෂයෙන් නිවෙසේ සාමකාමි පරිසරය, ඉතා වැදගත් ය. ළමයින් පන්සලට වඩාත් සමීපකොට
ධාර්මික පරිසරයට යොමු කිරීමට වගබලාගත යුතු ය. එවිට දරුවන් වරදට යොමුවීමට ඇති ඉඩ
ඇහිරේ. ළමාවිය සුන්දර වන්නේත්, අනාගතය සාර්ථක වන්නේත් එවැනි රැකවරණයක හැදෙන වැඩෙන
දරුවාගේ ය. |