[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 36: දැහැමින් ගෙවන දිවිය උතුම්

තෙවළා බුදු වදන් අතරින් 36:

දැහැමින් ගෙවන දිවිය උතුම්

" මුල් අවදියේ යහපත් දැහැමි දිවිපෙවෙතක් ගෙවූ ධනඤ්ජානි බමුණා පසුව යුතුකම් ඉටුකිරිම වෙනුවෙන් අධාර්මික වී ප්‍රමාදිව කටයුතු කළේ ය. සූත්‍රයේ දැක්වෙන පරිදි ධනඤ්ජානී ප්‍රකාශ කරන්නේ වගකීම් හා යුතුකම් ඉටු කිරීම වෙනුවෙන් තමන් ප්‍රමාදීව කටයුතු කරන බවයි."

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි සැරියුත් මහරහතන් වහන්සේ දක්ඛිණා ගිරි ජනපදයෙහි භික්‍ෂු සංඝයා පිරිවරාගෙන චාරිකාවෙහි වැඩම කළහ. එක් දිනක් රජගහ නුවර වැසි භික්‍ෂූන් වහන්සේ නමක් දක්‍ෂිණාගිරියට පැමිණ සැරියුත් මහරහතන් වහන්සේ හමු වූ හ.

එම භික්‍ෂුවගෙන් බුදුරදුන් හා මහා සංඝරත්නයෙහි සැපදුක් විචාළ සැරියුත් හිමියෝ අනතුරුව තමන් වහන්සේගේ කුලුපග දායකයෙකු වූ, තණ්ඩුලපාලද්වාර නම් ස්ථානයේ වාසය කරන ධනඤ්ජානි නම් බ්‍රාහ්මණයාගේ ද සුවදුක් විමසූහ.

සැරියුත් මහ තෙරුන්ට පිළිවදන් දුන් රජගහනුවර වැසි භික්‍ෂුව බුදුරදුන් ඇතුළු සංඝරත්නය සුවසේ වැඩ වෙසෙන බව පැවසුවේ ය. එහෙත් සැරියුත් මහතෙරුන් ගේ කුළුපග දායකයා වන ධනඤ්ජානී බ්‍රාහ්මණයා පෙර මෙන් නොව වර්තමානයේ නොයෙක් අයුරින් ඉතා දූෂිත දිවිපෙවෙතක් ගතකරමින්, අයථා අන්දමින් ධනය උපයමින්, ප්‍රමාදීව කටයුතු කරන බවත්, ඔහුගේ සැදැහවත් පළමු බිරිඳ මියගොස් ඇති හෙයින්, වෙනත් බිරිඳක් ගෙන ආවත් ඇය පළමු තැනැත්තිය මෙන් සැදැහැති තැනැත්තියක් නොවන බවත්, ප්‍රකාශ කළේ ය. තම කුළුපග දායකයා වන ධනඤ්ජානි ගැන ඇසීමෙන් සැරියුත් හිමියෝ මහත් සංවේගයට පත් වූ හ. දක්‍ෂිණාගිරි චාරිකාව නිමකළ සැරියුත් හිමියෝ පිළිවෙලින් රජගහ නුවර වේළුවනාරාමයට වැඩම කළහ. ඉක්බිති සැරියුත් මහතෙරණුවෝ ධනඤ්ජානි බ්‍රාහ්මණයා හමුවීමට ඔහුගේ නිවසට වැඩම කළහ. එම අවස්ථාවෙහි කිරිදොවමින් සිටි ධනඤ්ජානී බ්‍රාහ්මණයා සැරියුත් හිමියන්ට කිරි වළඳන මෙන් ආරාධනා කළ ද, උන්වහන්සේ දවල් දානය වළඳා සිටි හෙයින්, ඔහුගේ ආරාධනාව නොපිළිගෙන අසල වූ ගසක් යටට වැඩම කොට මදක් විවේක සුවයෙන් වැඩ සිටිය හ. සිය කටයුතු අවසන් කළ ධනඤ්ජානි බ්‍රාහ්මණයා සැරියුත් හිමියන් වෙත පැමිණ එකත් පසෙක හිඳ ගත්තේ ය. ඉක්බිති සැරියුත් හිමියෝ ප්‍රමාදීව කටයුතු කරන්නේ මන්දැයි ඔහුගෙන් විචාළ හ. එයට පිළිතුරු දුන් ධනඤ්ජානී බ්‍රාහ්මණයා “ස්වාමිනී අප විසින් මව්පියන් පෝෂණය කළ යුතු වේ.

අඹුදරුවන් රැකබලා ගත යුතු වේ. දැසි දස් කම්කරුවන්ට සැලකිය යුතු වේ. යහළු මිත්‍රයන්ට උපකාර කළ යුතු වේ. නෑදෑයින් වෙනුවෙන් යුතුකම් ඉටුකළ යුතු වේ. ආගන්තුකයන්ට සත්කාර කළ යුතු වේ. මියගිය ඤාතීන් වෙනුවෙන් ආගමික චාරිත්‍ර වාරිත්‍ර සිදුකළ යුතු වේ. දෙවියන් උදෙසා පුද පිළිවෙත් පැවැත්විය යුතු වේ. රජු වෙනුවෙන් රාජකාරිය කළ යුතු වේ. මේ සියල්ල ට ම අමතර ව අප ද අපගේ කය පෝෂණය කළ යුතු වේ. ස්වාමීනි, මෙම කටයුතු නිසා කෙසේ නම් අප්‍රමාදිව කටයුතු කළ හැකි වේද?” යනුවෙන් ප්‍රකාශ කළේ ය. ධනඤ්ජානී බමුණාට සවන්දුන් සැරියුත් හිමියෝ අනතුරුව ඔහු අමතා “බමුණ මෙලොව යම් කෙනෙක් මව්පියන් රැකීම සඳහා අධර්මචාරී හෝ විෂමචාරී වේ ද? එම අධර්ම චර්යාව, විෂම චර්යාව නිසා සිදුකරන ලද අකුසල කර්මය හේතුවෙන් ඔහුට නිරයගාමී වීමට සිදුවෙයි. යම පල්ලන් විසින් නිරයට ගෙනයනු ලබන කල්හී මම වනාහි දෙමාපියන් රැකීම සඳහා අධර්මචාරී වීමි, විෂමචාරී වීමි, යනුවෙන් ප්‍රකාශ කළත් නිරපල්ලන් ඔහු ව අතහැර දමන්නේ නැත. එසේම ඔහුගේ මව්පියෝ නිරපල්ලන් අමතා මෙතෙමේ අප නිසා අධර්මචාරී විය, විෂමචාරී විය, එබැවින් ඔහු අතහැර දමන්නැයි කියතුදු නිරපල්ලෝ එම ඉල්ලීම නොසලකා පව්කළ පුද්ගලයා නිරයට ගෙන යති (සෙසු යුතුකම් ද මෙසේම විස්තර කර ඇත).” යැයි දේශනා කළහ. ඉහතින් සඳහන් කළ පරිදි මව්පියන්, අඹුදරුවන් ආදීන් වෙනුවෙන් කළ යුතු යුතුකම් අධාර්මික නොවී, විෂමචාරී නොවී වෙනත් දැහැමි රැකියාවකින් උපයාගත් ධනයෙන් ඉටුකරනු මිස අධාර්මික වීම නොමනායැයි සැරියුත් මහතෙරුන්වහන්සේ තවදුරටත් ධනඤ්ජානී බ්‍රාහ්මණයාට පැහැදිලි කළහ.

මජ්ක්‍ධිම නිකායේ දෙවන කාණ්ඩයේ එන ධනඤ්ජානී සූත්‍රය වර්තමාන සමාජයට බෙහෙවින් අදාළ වේ. මුල් අවදියේ යහපත් දැහැමි දිවිපෙවෙතක් ගෙවූ ධනඤ්ජානි බමුණා පසුව යුතුකම් ඉටුකිරිම වෙනුවෙන් අධාර්මික වී ප්‍රමාදිව කටයුතු කළේ ය. සූත්‍රයේ දැක්වෙන පරිදි ධනඤ්ජානී ප්‍රකාශ කරන්නේ වගකීම් හා යුතුකම් ඉටු කිරීම වෙනුවෙන් තමන් ප්‍රමාදීව කටයුතු කරන බවයි. එහෙත් සැරියුත් තෙරුන් දක්වන්නේ වගකීම් හා යුතුකම් ඉටුකිරීම සඳහා වෙනත් දැහැමි රැකියා හා ජීවනෝපාය ක්‍රම කොතෙකුත් තිබිය දී අධාර්මික ජීවනෝපායක නිරත වීම නිරය ගාමී වීමට හේතු වන බව යි. නිසි කල යුතුකම් හා වගකීම් ඉටු කිරිම යහපත් ය. එහෙත් ඒ වෙනුවෙන් වැරැදි ක්‍රියාවල නිරත වීම සුදුසු නැත. ධනඤ්ජානී මෙන් සිතන අය වර්තමානයේ ද කොතෙකුත් ඇත. ධනය ඉපැයීම සඳහා යොදාගන්නා අදහැමි ක්‍රමවේද අයහපත් යැයි නොපිළිගෙන ඒ සියල්ල මව්පියන් වෙනුවෙන්, අඹුදරුවන් වෙනුවෙන්, නෑදෑ හිතමිතුරන් වෙනුවෙන්, ආගම දහම වෙනුවෙන්, රට වෙනුවෙන් හෝ තමාගේ පැවැත්ම වෙනුවෙන්, කළ දෙයකැයි සිතා සැහැල්ලුවෙන් කටයුතු කරන පුද්ගලයන් කොතෙකුත් ඇත. එසේම අදැහැමිව ඉපැයූ ධනයෙන් දැහැමි කටයුතු කරන පුද්ගලයන් වර්ණනාකරන, අගයන, පිළිගැනීමට ලක්කරන පිරිසක් ද දක්නට ලැබේ. එයින් තවදුරටත් සිදුවන්නේ අදැහැමි ක්‍රියාවට අනුබල සැපයීම කි. බුද්ධ දේශනාව ට අනුව කිසිවෙකු වෙනුවෙන් හෝ යම් කිසි දෙයක් වෙනුවෙන් දැහැමි වීම, විෂමචාරීවීම අනුමත කළ නොහැකි ය. යුතුකම් හා වගකීම් ඉටුකිරීම යහපත් දෙයක් වුව ද, එය අදහැමි ආකාරයෙන් සිදු නොවිය යුතුය යන්න ධනඤ්ජානී සූත්‍රයෙන් පැහැදිලි වේ. දැහැමින් ජීවත් වූ ධනඤ්ජානි බමුණා පසුකලෙක මරණාසන්න මොහොතෙහි සැරියුත් මහතෙරුන්ගේ පිහිට අයැද සිටි අයුරු සූත්‍ර දේශනාව අවසානයේ දැක්වේ.

දැහැමි ජීවන ක්‍රමයකින් උපයන ධනයෙන් කොතෙකුත් යහපත් දෑ කළද, එය ඉපැයීමට භාවිත කළ වැරැදි ක්‍රමවේදය නිසා එයට අනුරූපී විපාක විඳීමට සිදු වේ. සූත්‍රයේ දැක්වෙන පරිදි කෙනෙකු කළ අකුසල කර්මයේ විපාකයෙන් ගැලවීමක් බලාපොරොත්තු විය නොහැකි ය. එසේම ඒ සඳහා කිසිවෙකුටත් ඇප විය නොහැකි ය. මෙයින් අතිශය ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් වේ. කර්මය පිළිබඳ බුද්ධ දේශනාව අනුව සැම කෙනෙක්ම තමා කළ කර්මයේ ස්වාමියා මෙන්ම හිමිකරුවා වේ. එහි වගකීම වෙනත් කෙනෙකුට ආරෝපණය කළ නොහැකි ය. ඒ අනුව යහපත් අරමුණක් වෙනුවෙන් වුව අකුසල කර්ම රැස් කරන්නේ නම් එයට අනුරූපී විපාක විඳීමට සිදු වේ.

කවර නම් ජීවනෝපායකින් වුව කෙනෙකුට ධනවතෙකු බවට පත්විය හැකි ය. එසේ උපයන ධනයෙන් වුව, දැහැමි දේ කළ හැකි ය. එහෙත් එසේ ධනවත් වීම මෙන්ම අධාර්මිකව ඉපැයූ ධනයෙන් සිදුකරන යහපත් දේ වුව ද බුදුරදුන් අනුමත නොකළ බව විවිධ බුද්ධ දේශනා මගින් පැහැදිලි වේ. ධම්මපදයේ දැක්වෙන පරිදි නුවණැති පුද්ගලයා තමා නිසාවත්, අනුන් නිසාවත් පව් නොකරයි. එසේම පව් කම් කිරීමෙන් ලැබිය යුතු පුතෙකු හෝ ධනයක් වුව කැමැති නොවෙයි. අධර්මයෙන් ලැබෙන රටක් වුව නොපිළි ගනී. එසේම නුවණැතියා අධර්මයෙන් කිසිදු සමෘද්ධියක් අපේක්‍ෂා නොකරයි ( න ඉච්ඡෙය්‍ය සමිද්ධිමත්තනො). ඔහු හැම විටම සිල්වතෙකු, ප්‍රඥාවන්තයෙකු, දැහැමි අයෙකු සේ කටයුතු කරයි. මෙම බුද්ධ වචනය වර්තමාන සමාජයට කොතරම් ගැලපේ ද? කුමන හෝ ක්‍රමයකින් ධනවත් වීමට උත්සුක වන මිනිසුන්ගෙන් පිරි සමාජයක් අප ඉදිරියේ තිබේ. එසේ දූෂිත අයුරින් ධනවත් වූ පුද්ගලයන්ගෙන් සැදි සමාජයක් ද අප ඉදිරියේ තිබේ. දූෂිත පුද්ගලයන්ගේ ඇසුර ලබමින් එැවනි ක්‍රියාවලට අනුබල දෙන පිරිසක්ද දක්නට ලැබේ. මෙවන් පසුබිමක නුවණ මෙහෙයවා තම ජීවනෝපාය දැහැමි ක්‍රමයකින් සිදුකිරීමට නුවණැති පුද්ගලයාට හැකියාව තිබේ. එසේ කිරීම දුෂ්කර වුව ද, එවන් ජීවිතය සාකල්‍යයෙන්ම අර්ථවත් ය. අධර්මයෙන් ලබන සක්විති රජකමට වඩා දැහැමින් ගෙවන දිළිඳු ජීවිතය උතුම් වන්නේ එය මෙලොවට පමණක් දුක් පිණිස පවතින හෙයිනි. එහෙත් අධාර්මික ජීවිතය හැම අතින්ම අයහපත් ය. දුක්ඛදායක ය. නිරයට මාවත ය.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]