[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජර මර සහ බර කරත්ත

 ජර මර සහ බර කරත්ත

 

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීමේ දී උන් වහන්සේගේ දේශනා ශෛලීන් දෙකක් ගැන අපගේ අවධානය යොමු කළ යුතු වෙනවා. ඉන් එක් දේශනා ක්‍රමයක් වන්නේ නීතත්ථ දේශනා ය. අනෙක නෙය්‍යත්ථ දේශනා ය. නීතත්ථ කියන්නේ පමුණුවන ලද අර්ථ ඇති කියන එකයි. නැතිනම් ඍජුව ම වචනාර්ථය ඇති කියන එකයි.

නෙය්‍යත්ථ කියන්නේ පමුණුවා ගත යුතු අර්ථ ඇති කියන එකයි . එයින් අදහස් කරන්නේ කිසියම් ධර්ම කාරණාවක් විස්තර කිරීමේ දී යොදා ඇති වචනයේ තේරුම ගැන අවධානය යොමු කරනවාට වඩා ඉන් අදහස් කරන කාරණාව කුමක්දැයි වටහා ගෙන සමස්ත අදහස ම අවබෝධ කර ගැනීම යි. ඒ අනුව ‘සබ්බේ සංඛාරා අනිච්චා’ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ යන ඉගැන්වීම් නීතත්ථ දේශනාවක්. ‘භාර නික්ඛේපනං සුඛං’ – යනුවෙන් දක්වා ඇති තැන සාමාන්‍ය වචනාර්ථය වන්නේ බර බහා තැබීම සුවයකි යන්නයි. නමුත් බර කියන්නේ කුමක් ද? කරෙන් ඔසවා ගෙන යන බරක් ද? සිතේ දරාගෙන යන බරක් ද?යි ඍජුව ම කියා නැහැ. ඒ අදහස, අප ඒ හා විස්තර කරන අනෙකුත් කාරණා සමඟ ගළපා තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා එය නෙය්‍යත්ථ දේශනාවක් ලෙසින් දැක්විය හැකියි.

බුදුරජාණන් වහන්සේ අප විසින් උසුළනු ලබන බර ගැන සූත්‍ර දේශනා කිහිපයක දී ම දේශනා කර තිබෙනවා. විශේෂයෙන් ම සිත දරා සිටින බර, කෙලෙස් බර, වගකීම් නමැති බර ගැනයි මේවායෙන් අදහස් කරන්නේ. භාර සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය හා ධාතු විභංග සූත්‍රය යන සූත්‍ර දේශනා ඇසුරෙන් බරෙන් නිදහස්වීමේ සුවය ලබා ගත යුතු වෙනවා. ඒ සඳහා මේ සූත්‍ර දේශනා ගැන ගැඹුරින් අධ්‍යයනය කළ යුතු වෙනවා.

පඤ්චස්කන්ධය කියන්නේ සත්ත්වයා විසින් උපාදානය කර ගැනීම නිසා මේ දීර්ඝ සංසාරයේ දිගින් දිගටම උසුලාගෙන යන මහත් බරක්. මේ බරෙහි ස්වභාවය නිසි ලෙසින් වටහා ගත්තේ නැති නිසයි එම බර බිමින් තබන්නේ නැති ව උසුළා ගෙන යන්නේ. යමෙක් මේ පඤ්චස්කන්ධය උපාදානය කිරීම නමැති බර බහා තැබුවහොත්, බරෙන් නිදහස්වීමේ උතුම් සුවය භුක්ති විඳින කෙනෙක් බවට පත් වෙනවා.

භාර සූත්‍රය ඇසුරෙන් අපි උසුළන බර ගැන පළමුවෙන් ම අවධානය යොමු කරමු. මිනිසුන් වන අපට මේ ගෙවන ජීවිතයේ දී විවිධාකාර බර වර්ග උසුළන්නට වෙනවා. ඒවා ව්‍යවහාරයේ දී ජීවන බර, පවුලේ බර, ශරීරයේ බර, ණය බර ආදී වශයෙන් හැඳින්වෙනවා. කෙනෙකුට ලෙහෙසියෙන් දරා ගන්නට බැරි එවන් විවිධ බර වර්ග තිබෙනවා. භාර සූත්‍රයට අනුව මේ සියලු බර වර්ගවලට වඩා මිනිසාට දරා ගැනීමට අපහසුම බර වන්නේ, දරුණුම බර වන්නේ පඤ්ච උපාදානස්කන්ධයන්ගේ බරයි.

භාරා හවේ පඤ්චක්ඛන්ධා
භාරහාරෝ ච පුග්ගලෝ
භාරහාරං දුක්ඛං ලෝකේ
භාර නික්ඛේපනං සුඛං

මෙහිදී බර වශයෙන් දක්වා ඇත්තේ පඤ්ච උපාදානස්කන්ධ බරයි. බර ගෙනියන, උසුළන තැනැත්තා පුද්ගලයා වශයෙන් දක්වා තිබෙන අතර බර උසුළාගෙන යාම දුකක් වශයෙන් ද, බර බහා තැබීම උතුම් සැපයක් වශයෙන් ද දක්වා තිබෙනවා.

මේ දීර්ඝ සංසාර ගමනේ අප පුහුදුන් සත්ත්වයන් ලෙසට දිගින් දිගටම කර ගසා ගෙන යන්නේ ම පඤ්චුපාදානස්කන්ධ බරයි. මෙහිදී අප ජන ව්‍යවහාරයේ තිබෙන කියමනක් ගැන අපගේ අවධානය යොමු කරමු. ‘ජරමර අස්සේ බර කරත්ත’ යනුවෙන් අපගේ පැරැණි කියමනක් තිබෙනවා . මෙහි අධ්‍යාත්මික අර්ථය අප විසින් වටහා ගත යුතුයි. ජරමර කියන්නේ ජරා මරණ දෙකට යි. ජරා මරණ දෙක ඇත්තේ පඤ්චුපාදානස්කන්ධය නම් වූ බර කරත්තය තුළ යි. පඤ්චුපාදානස්කන්ධයමයි ජරා මරණ දුකට පත්වන්නේ. පඤ්චස්කන්ධය උපාදානය කර ගත් නිසාමයි සත්ත්වයෙක් ලොව පහළ වන්නේ හෙවත් ජාතිය ඇති වන්නේ. ජාතිය ඇති වූ නිසයි ජරා මරණ දෙකට ගොදුරු වන්නේ, ජරා, මරණ යන පද දෙකේ විරුද්ධාර්ථ පදවන්නේ අජර සහ අමර යන පද දෙකයි. කෙනෙක් අජර, අමර තත්ත්වයට හෙවත් නිවනට පත් වෙනතුරු පඤ්චුපාදානස්කන්ධය නම් වූ බර කරත්තය ඇදගෙන යාමට සිදු වෙනවා. තෘෂ්ණාව වැඩි තරමට ම මේ පඤ්චුපාදානස්කන්ධය නම් බර කරත්තයේ බර අධික වෙනවා. එසේ නම් මේ බරෙන් නිදහස් වන්නේ කවදා ද? කෙසේද? යි අප විමසා බැලිය යුතු වෙනවා.

පඤ්චස්කන්ධයට වන උපාදානය නැති කළ විට පඤ්චුපාදානස්කන්ධ බරෙන් නිදහස් විය හැකි වෙනවා. පඤ්චස්කන්ධයට වන දැඩි බැඳීයාම උපාදානයයි. එසේ දැඩි බැඳීයාමක් වන්නේ පඤ්චස්කන්ධයන් තණ්හාවෙන් අල්ලා ගන්නා නිසයි. එබැවින් යමෙක් තණ්හාව දුරු කරන්නේ නම්, උපාදානය ද දුරුව යනවා. නිවන ඇත්තේ එතැනයි. (තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති) උපාදානය දුරු වන විට ඉතිරි වන්නේ පඤ්චස්කන්ධය පමණයි. සත්‍යවබෝධය ලැබූ රහතන් වහන්සේලාට පවා පඤ්චස්කන්ධය තිබෙනවා. උන්වහන්සේලා ඒ පඤ්චස්කන්ධය තණ්හා, මාන, දිට්ඨි වශයෙන් උපාදානය කරන්නේ නැහැ. ඒ නිසා ම ඒ පඤ්චස්කන්ධයේ ඉදිරි පැවැත්මක් නැහැ. භවයක් නැහැ. හේතුඵල දහමට අනුව කර්මය ද, ජන්මය ද, උපාදානය හා භවය ද එකට ගමන් කරන ධර්මතාවන්. රහතන් වහන්සේලා කියන්නේ උපාදානය නැති කළ උත්තමයන්ටයි. ඒ නිසා උන්වහන්සේලා මරණින් මතු නැවත භවයක පහළ වන්නේ නැහැ. කෙනෙක් නැවත භවයක පහළ වන්නේ, සසර සැරි සරන්නේ පඤ්චස්කන්ධය උපාදානය කිරීම නිසා හෙවත් පඤ්චස්කන්ධයේ ආසක්ත වූ නිසයි. රහතන් වහන්සේ පඤ්චස්කන්ධයේ ආසක්ත වන්නේ නැති නිසා උන්වහන්සේ සත්ත්ව යන නමින් ද හඳුන්වන්නේ නැහැ.

මේ අනුව පඤ්චස්කන්ධයේ බර දරා ගෙන යන්නේ කවුරුන් විසින් ද? එය දරා ගෙන යන්නේ මේ පඤ්චස්කන්ධය ඇසුරේ ම ක්‍රියාත්මක වන සම්මුති ලෝකයේ මම නමින් හඳුන්වන සත්ත්වයා ය. නැතිනම් පුද්ගලයා ය. මම කියන හැඟීම (මමායනය, මමංකාරය) ඇති වන්නේ ම පඤ්චස්කන්ධය මුල් කර ගෙන ය. ඒ නිසයි ‘මා’ හඳුන්වා දීමේ දී තමන්ගේ යැයි සිතන රූපය දෙසට ඇඟිල්ල දිගු කරමින් හඳුන්වාදීම කරන්නේ. එසේ ම මගේ යැයි පවසන සෑම දෙයක් ම විස්තර කිරීමේ දී තම සිරුර දෙසට ඇඟිල්ල දිගු කරන්නේ මේ රූපස්කන්ධය ප්‍රකට ව පෙනෙන පඤ්චස්කන්ධය ඇසුරු කරගෙන ඒ හැඟීම එන නිසයි. මම ය, මගේ ය, මට අවශ්‍ය ලෙසින් පාලනය කළ හැකි ය යන දෘෂ්ඨීන් ඇති වන්නේ මේ පඤ්චස්කන්ධය මුල් කරගෙනයි. පඤ්චස්කන්ධය ඇසුරු කර ගෙන ඇති වන මේ හැඟීම සහමුලින් ම දුරු වන්නේ පඤ්චස්කන්ධය බර සම්පූර්ණයෙන් ම බහා තැබූ පසුවයි. පඤ්චස්කන්ධය මුල් කර ගෙන ඇති වන මේ මම කියන හැඟීම ද තෘෂ්ණාවෙන් ම පෝෂණය වෙන එකක්. ඒ නිසාමයි අපට මේ බර මෙතරම් ම දැනෙන්නේ.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk