[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පණ්ඩිතයන් ඇසුරු කිරීම

පණ්ඩිතයන් ඇසුරු කිරීම

මෙහි පණ්ඩිතයෝ නමින් අර්ථ දක්වනුයේ දැනුමෙන්, බුද්ධියෙන් පමණක් පරිණත වූවෝ නොවෙති. මෙලොව යහපත පිණිස ද පරලොව යහපත පිණිස ද කටයුතු කරනු ලබන පවෙහි විපාක දන්නා වූ සත්පුරුෂයෝ ය. එනම් බුදුවරයෝ ය. පසේ බුදුවරයෝ ය ,ආර්ය ශ්‍රාවකයෝ ය, සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ ය, සිල්වත් ගුණවත් උපාසක උපාසිකාවෝ ය. ගුණවත් ගුරුවරු ය. ගුණවත් වැඩිහිටියෝ ය. සත්පුරුෂ කලණ මිතුරන් යනාදී උත්තමයෝ ය. පණ්ඩිතයා විසින් නිසි කළ යුත්ත කුමක් ද නොකළ යුත්ත කුමක් ද? යන්න මැනවින් අවබෝධ කොට ක්‍රියාත්මක විය යුතු ය.

එය උගත් ශිල්පය මතම සිට නොසිතිය යුතු ය. ධර්මය මත පිහිටා ම ක්‍රියාත්මක විය යුතු ය, පින් පව් නොදන්නා වු ද, තමාගේ හා අන් අයගේ දෙලොව පරිහානිය පිණිස වැඩ කරන්නා වූ පාපී පුද්ගලයෝ පණ්ඩිත ගණයට නො ගැනෙති. ලෝවැසි බොහෝ දෙනාට බොහෝ සෙයින් ඇසුර ලැබෙනුයේ අසත්පුරුෂයන්ගේ ය. එවැනි අවස්ථාවන්හි කළ යුත්තේ අසත්පුරුෂ බසට අවනත වී එය ක්‍රියාත්මක නොකිරීම විවිධ වූ, විෂම වූ ලෝකයෙහි ජීවත් වීමේ දී සියලුදෙනා සමඟ සමගිව ජීවත්වීම ඉතා වැදගත් ය. ඒ බවට ධම්මපාල ජාතකයෙන් මහඟු උපදේශයක් දක්වා තිබේ.

සුණෝම ධම්මං අසතං සතං ච නචාපි ධම්මං අසතං රෝචයාම හිත්වා අසන්තෙන ජගාම සන්තෙ අපි අසත්පුරුෂයන්ගේ අවවාදත්, සත්පුරුෂයන්ගේ අවවාදත් අසන්මෝ වෙමු. එහෙත් කිසි විටෙකත් අපි අසත්පුරුෂයන්ගේ අනුශාසනාවට කැමැති වන්මෝ නොවෙමු. එබැවින් අසත්පුරුෂයන්ගේ අනුශාසනාව අත්හැර සත්පුරුෂයන්ගේ අනුශාසනාව පමණක් පිළිගන්නෙමු යි යන අදහස යි අංගුත්තර නිකායෙහි තික නිපාතයෙහි පණ්ඩිතයා තුළින් විද්‍යමාන වන ලක්ෂණයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කළහ. තීනිමානි භික්ඛවේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්ඛණානි පණ්ඩිත නිමිත්තානි පණ්ඩිතාපදානි කතමානි තීනි ඉධ භික්ඛවෙ පණ්ඩිතෝ සුචින්තිත චිනිතීච හොති සුභාසිත භාසි සුක්කත කමිමකාරි මහණෙනි, මොහු පණ්ඩිතයෙකි’යි හඳුනා ගැනීමට ඔහුට පමණක් අනන්‍ය වූ ලක්ෂණයෝ පණ්ඩිතයා හැඳීන ගන්නා වූ කාරණයෝ පණ්ඩිත බව හැඳීනීමෙහි චරිතයෝ තුන් දෙනෙක් වෙති. එනම් මෙ ලෝකයෙහි පණ්ඩිත තෙමේ යහපත් සිතිවිල්ලක් ම සිතන්නේ ය, යහපත් වචනයක් ම කතා කරන්නෝ ය.

යහපත් කි‍්‍රයාවක ම කරන්නේ ය යනුවෙනි බාලයා නිරන්තරයෙන් ම වැරැදි අදහස් හේතුවෙන් තමා ද විනාශ වී, ඒ අදහස් අනුමත කර ක්‍රියාත්මක කරන්නා වු අන්‍යයන් ද විනාශයට පමුණුවති. පණ්ඩිතයන්ගේ යහපත් අදහස් හේතුවෙන් තමා ද අධ්‍යාත්මික හා ලෞකික දියුණුවට පැමිණෙති. ආශ්‍රය කරන්නා වූ අන්‍ය පුද්ගලයින් ද යහපත් මගට පමුණුවා සැපතට පත් කරවති. ධම්ම පදයෙහි පණ්ඩිත වග්ගයේ ඇසුරු කළ යුතු සහ නොකළ යුතු පුද්ගලයින් පිළිබඳව මනා ලෙස සඳහන් වේ. න භජෙ පාපකේ මිත්තේ න භජෙ පුරුසාධමෙ භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ පවට කැමති නරක යහළුවන් ඇසුරු නොකළ යුතු ය. අධම පහත් ගති පැවතුම් ඇති දුදමෝ ද ඇසුරු නොකළ යුතු ය. කලණ මිතුරන් පමණක්ම ඇසුරු කළ යුතු ය. උතුම් මිනිසුන්ගේ ඇසුර ජීවිතයට සැප ගෙන දේ ඇසුරට සුදුසු මිතුරන් සහ නුසුදුසු මිතුරන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ අනුව ගිහි කල්‍යාණ මිත්‍රයෝ සහ පැවිදි කල්‍යාණ මිත්‍රයෝ යනුවෙන් දෙකොටසකි. ගිහි කල්‍යාණ මිත්‍රයින් ලෙස උපකාරක මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා, අත්ථක්කායී අනුකම්පක මිත්‍රයා යනුවෙන් කළණ මිතුරන් සතර දෙනෙකි.

උපකාරක මිත්‍රයා යනු ස්වකීය මිත්‍රයාට වුවමනා තැන දී ඉතසිතින් සෑම උපකාරයක් ම කරන්නා වූ යහපත් තැනැත්තා ය. සිය මිතුරාට ලැබෙන සැප දුක් තමාට ලැබෙන සැප දුක් ලෙස සලකා කටයුතු කරන යහපත් මිත්‍රයා සමාන සුඛ දුක්ඛ යනුවෙන් හැඳීන්වේ. අත්තකායි මිත්‍රයා යනුවෙන් හැඳීන්වෙනුයේ තමාගේ ලෞකික දිවියත්, ලෝකෝත්තර දිවියත් සාර්ථක කර ගැනීම සඳහා මග පෙන්වන මිතුරාය’ සිය මිතුරාට ප්‍රිය මවක මෙන් අනුකම්පා කරන යහපත් මිත්‍රයා අනුකම්පක මිත්‍රයාය. ගිහි කලණ මිතුරන් සේ ම, භික්ෂූන් වහන්සේගේ අධ්‍යාත්මික දිවිය සාර්ථක කර ගැනීම සඳහා මග පෙන්වන පැවිදි කලණ මිතුරන් පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. තමාත් ධර්මයෙහි, ගුණයෙහි පිහිටා, අන් අයත් ධර්මයෙහි, ගුණයෙහි පිහිටුවීමට වෑයම් කරන උත්තමයෝ යි.

එම ඇසුර පවත්වන ගිහි පැවිදි දෙපක්ෂයට ම දෙලොව සැප සලසා ගත හැකි ය නිධීනං ව පවත්තාරං-යං පස්සේ වජ්ජදස්සිනං නිග්ගය්හවාදිං මෙධාවිං-තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස-සෙය්‍යෝ හෝති න පාපියො අනුශාසනා කරන්නා වූ ද දුගියන්ට රන් රුවන් පිරූ නිධානයක් පෙන්වා දෙන කුළුණැතියකු වැනි කරුණාවන්ත පණ්ඩිතයෙකු සේවනය කළ යුතු යි. එබඳු පණ්ඩිතයෙකු ඇසුරු කරන්නා හට දෙලොවම යහපත් වන්නේ ය අයහපත් ඇසුර ඇති දුදනන් දහසකගේ ඇසුරට වඩා එක් කලණ මිතුරු ඇසුර වටින්නේ ය කලණ මිතුරු ඇසුරෙන් මුළු ලොවම සුවපත් වන්නේ ය. වරක් ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ අසන ලදී. බුදුරජාණන් වහන්ස, සාසනයේ හරි අඩක් පවතින්නේ කල්‍යාණ මිතුරු ඇසුර මතය, ආනන්දය, සාසනයේ හරි අඩක් නොව සම්පූර්ණව පවතින්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මතය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk