ඛුද්දක නිකායෙහි
උදාන පාලිය:
යසෝජ සූත්‍රය: දුක සැප කෙරෙහි නොසැලීම
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ
ආරාමයේය.
ඒ දවස්වල යසෝජ තෙරුන් ප්‍රමුඛ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ
බැහැදකින්න සැවැත්නුවරට පැමිණ සිටියා. ඉතින් ඒ ආගන්තුක භික්ෂූන් වහන්සේ නේවාසික
භික්ෂූන් වහන්සේලා සමඟ පිළිසඳරින් සතුටු වෙද්දී, සේනාසන පහසුකම් සලසද්දී, පාත්‍ර
සිවුරු තැන්පත් කරද්දී විශාල ලෙස ශබ්ද ඇති වුණා. මහා ශබ්ද ඇති වුණා.
එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඇමතුවා.
“පින්වත් ආනන්ද, ඔය උස් හඬින්, මහා හඬින් ශබ්ද කරන්නේ කවුද? මාළු අල්ලන තැනක කෑකෝ
ගසමින් මාළු අල්ලන මිනිසුන් වගේ”
“ස්වාමීනි මේ යසෝජ තෙරුන් ප්‍රමුඛ පන්සියයක් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ
බැහැදැකීමට පැමිණ සිටින්නේ. ඒ භික්ෂූන් නේවාසික භික්ෂූන් සමඟ පිළිසඳර කතා බහේ
යෙදෙනවා. සේනාසන පැනවෙනවා. පාත්‍රා සිවුරු තැන්පත් කෙරෙනවා. ඔය උස් හඬ ,මහා හඬ
ඇහෙන්නේ ඒ නිසයි.”
එසේනම් පින්වත් ආනන්ද, මගේ වචනයෙන් ඒ භික්ෂූන් අමතන්න. ‘ඔය ආයුෂ්මතුන් වහන්සේලාට
අන්න ශාස්තෘන් වහන්සේ අමතනවා’ කියලා”.
“එසේය, ස්වාමීනි, කියලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පිළිතුරු දී ඒ භික්ෂූන් වෙත ගොස්
ඒ භික්ෂූන්ට මෙසේ පවසා සිටියා.
“පි‍්‍රය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවනවා.
“එසේය, පි‍්‍රය ආයුෂ්මතුනි, කියා ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට
පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණි භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන්
වන්දනා කර පැත්තකින් වාඩිවුණා. ඒ භික්ෂූන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ අසා වදාළා.
“පින්වත් මහණෙනි, උස් හඬින් , මහ හඬින් ශබ්ද කළේ ඇයි? මසුන් මරණ තැන්වල කෑකෝ ගහන
මිනිසුන් වගේ.”
මෙසේ වදාළ විට ආයුෂ්මත් යසෝජ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නමයි පන්සියයක් පමණ භික්ෂූන් මේ සැවැත්
නුවරට පැමිණුනේ. මේ ආගන්තුක භික්ෂූන් නේවාසික භික්ෂූන් සමඟ පිළිසඳර කතා කරද්දී,
සේනාසන පහසුකම් සලසද්දී, පාත්‍ර සිවුරු තැන්පත් කරද්දී තමයි මෙසේ උස් හඬ , මහ හඬ
ඇති වුණේ”
පින්වත් මහණෙනි, මම ඔබ සැම බැහැර කරනවා. මා සමීපයේ ඔබ සැම වාසය කරන්න ඕන නැහැ”
“එසේය, ස්වාමීනි” කියලා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී ආසනෙන් නැගිට
වන්දනා කළා. සකස් කරගත්තු ආසන නැවත තැන්පත් කළා. පාත්‍ර සිවුරු රැගෙන වජ්ජි දේශය
බලා පිටත් වුණා. වජ්ජි ජනපදයේ පිළිවෙලින් චාරිකාවේ සැරිසරා යද්දි වග්ගුමුදා නදිය
වෙත පැමිණුනා. පැමිණ, වග්ගුමුදා නදී තීරයේ කොළ අතු සෙවිලි කළ කුටි හදාගෙන. වස්
සමාදන් වුණා.
ඉතින් ආයුෂ්මත් යසෝජ තෙරුන් වස් සමාදන් වූ භික්ෂූන් ඇමතුවා.
“පි‍්‍රය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අප බැහැර කොට වදාළේ අපේම යහපත
කැමැති නිසාම යි. හිතවත්කමට යි. අනුකම්පාවෙන්ම යි. අනුකම්පාව උපදවා ගෙනම යි. ඉතින්
පි‍්‍රය ආයුෂ්මතුනි, ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සතුටු වන්නේ යම් ආකාරයකට ද අපත් ඒ
ආකාරයට මේ වස් කාලය ගත කරමු.”
“එසේය, ආයුෂ්මතුනි, කියා ඒ භික්ෂූන් වහන්සේ ආයුෂ්මත් යසෝජ තෙරුන්ට පිළිතුරු වදාළා.
ඉතින් ඒ භික්ෂූන් හුදෙකලා වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරිය ඇති කරගත්තා.
දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුණා. ඒ වස් කාලය ඇතුළත ඒ සියලුම භික්ෂූන්
ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළා.
භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කර විශාලා මහනුවර බලා චාරිකාවේ වැඩම කළා.
එහිදී භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. එදා
භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදා ගං තෙර සිටි භික්ෂූන්ගේ සිත් ගැන තම සිතින් විමසා බලා
ආයුෂ්මත් ආනන්දයන් අමතා මෙසේ වදාළා.
“පින්වත් ආනන්ද, යම් දිශාවක වග්ගුමුදා ගං තෙර භික්ෂූන් සිටිත් නම්, ඒ දිශාව මට
එළියක් පහළ වුණා වගේ. පින්වත් ආනන්ද, මට ඒ දිශාව ආලෝකයක් පහළ වුණා වගේ. එහි වඩින්න
වුණත්, සිහි කරන්න වුනත් කිසිම අප්‍රසන්න කමක් නැහැ. පින්වත් ආනන්ද, ඔබ වග්ගුමුදා
නදී තීරයේ සිටින භික්ෂූන් සමීපයට දූතයෙක් යවන්න ඕන. ඔය ආයුෂ්මතුන් වහන්සේලා
ශාස්තෘන් වහන්සේ කැඳවනවා , ඔය ආයුෂ්මතුන් වහන්සේලාගේ දැකීමට ශාස්තෘන් වහන්සේ
කැමැතියි කියලා.”
“එසේය, ස්වාමීනි” කියලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී
එක්තරා භික්ෂුවක් ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට මෙසේ කියා සිටියා.
පි‍්‍රය,ආයුෂ්මත, මෙහි එන්න, වග්ගුමුදා ගංතෙර වසන භික්ෂූන්ට මෙසේ කියා සිටින්න.
පි‍්‍රය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබ අමතනවා. ශාස්තෘන් වහන්සේ ආයුෂ්මතුන්
වහන්සේලා දකින්නට කැමැතියි කියලා”.
“එසේය ආයුෂ්මත “ කියලා ඒ භික්ෂුව ආයුෂ්මත් ආනන්දයන්ට පිළිතුරු දීලා. බලවත්
පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින වේගයෙන්, දික් කළ අතක් හකුළන වේගයෙන් මහා වනයේ
කූටාගාර ශාලාවෙන් නො පෙනී ගියා. වග්ගුමුදා ගං තෙර වසන ඒ භික්ෂූන් ඉදිරියේ පහළ වුණා.
ඒ භික්ෂුව වග්ගුමුදා ගං තෙර වසන ඒ භික්ෂූන්ට මෙහෙම කිව්වා.
“පි‍්‍රය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබ අමතනවා. ශාස්තෘන් වහන්සේ ආයුෂ්මතුන්
වහන්සේලා දකින්න කැමැතියි.”
“එසේය, ආයුෂ්මත” කියලා ඒ භික්ෂූන් අර භික්ෂුවට පිළිතුරු දුන්නා. වැඩසිටිය ආසන ආදිය
පිළිවෙලකට තැන්පත් කළා. පාත්‍ර සිවුරු අරගත්තා. බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග
හරින වේගයෙන්. දිගු කළ අතක් හකුළන වේගයෙන් වග්ගුමුදා ගං තෙරින් නො පෙනී ගියා. මහා
වනයේ කූටාගාර ශාලාවේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා.
ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ආනෙඤ්ජ සමාධියෙන් (ධ්‍යාන බලයෙන් යුතු අරහත් ඵල
සමාධියක්) වැඩසිටියේ. එතකොට අර භික්ෂූන්ට මෙහෙම හිතුනා. ‘දැන් භාග්‍යවතුන් වහන්සේ
වැඩසිටින්නේ කුමන විහරණයකින් ද?” කියලා. ඉතින් ඒ භික්ෂූන්ට මේ අදහස ඇතිවුණා.
‘ආනෙඤ්ජ සමාධියෙන් දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. ඒ සියලු දෙනාම ආනෙඤ්ජ
සමාධියට සමවැදුණා.
ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රැය ගෙවෙන වේලෙහි පළමු යාමය ගෙවුන කල්හි ආසනයෙන්
නැගිට්ටා. සිවුරු ඒකාංශ කොට පොරවා ගත්තා. භාග්‍යවතුන් වහන්සේ වෙත වන්දනා කරගත්තා.
භාග්‍යවතුන් වහන්සේට මෙසේ වදාළා.
“ස්වාමීනි, රාත්‍රී බොහෝ වේලා ඉක්ම ගියා. පළමු යාමය ගෙවුණා. ආගන්තුක භික්ෂූන්
වාඩිවෙලා බොහෝ වේලාවක් වෙනවා. ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසඳර කතාබහේ යෙදෙන සේක්වා!”
එහෙම කිව්වාම භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්දයන්
වහන්සේ රැය ගෙවෙන වේලෙහි මධ්‍යම ගෙවුණ කල්හි ආසනයෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කොට
පොරවා ගත්තා. භාග්‍යවතුන් වහන්සේ වෙත වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙසේ
කිව්වා.
“ස්වාමීනි, රාත්‍රී බොහෝ වේලා ඉක්ම ගියා. මධ්‍යම යාමයත් ගෙවුනා. ආගන්තුක භික්ෂූන්
වාඩිවෙලා බොහෝ වේලාවක් වෙනවා. ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසඳර කතාබහේ යෙදෙන සේක්වා!”
දෙවෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුණා. තුන්වෙනි වතාවටත් ආයුෂ්මත්
ආනන්දයන් වහන්සේ රැය ගෙවෙන වේලෙහි පශ්චිම යාමය ගෙවුන කල්හි, අරුණ උදාවෙද්දී, රැය
පහන් වෙද්දී, ආසනයෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කොට පොරවා ගත්තා. භාග්‍යවතුන් වහන්සේ
වෙත වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, රාත්‍රිය ඉක්ම ගියා. පශ්චිම යාමයත් ගෙවුණා. අරුණත් උදාවුණා. රැය පහන්
වුණා. ආගන්තුක භික්ෂූන් වාඩිවෙලා බොහෝ වේලාවක් වෙනවා. ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසඳර
කතාබහේ යෙදෙන සේක්වා!
එවිට භාග්‍යවතුන් වහන්සේ සමාධියෙන් නැගිට වදාළා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ හට මෙය
පවසා වදාළා.
“පින්වත් ආනන්ද, ඔබ මේ ගැන දන්නවා නම්, ඔහොම හිතන්නේ නෑ. පින්වත් ආනන්ද, මමත් මේ
භික්ෂූන් පන්සියයත් ආනෙඤ්ජ සමාධියෙනුයි වැඩ හිටියේ”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“යම් කෙනෙක් කාම කටුව ජයගත්තා නම්, ආක්‍රෝශ කිරීම, වධ බන්ධනත් ජයගත්තා නම් , ඔහු
නොසැලී ඉන්නේ පර්වතයක් වගෙයි. සැප දුක් දෙකේ ම සැළෙන්නෙ නැහැ. ඔහු තමයි භික්ෂුව.”
- නයනා නිල්මිණී |