සුදුසු වචන භාවිත කරමු
අත්තනගල්ල
රජමහා විහාරයේ
රාජකීය පණ්ඩිත
මිහිඳුපුර සුජීව හිමි
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
යෝ නින්දියං පසංසති -
තං වා නින්දති යෝ පසංසියෝ,
විචිනාති මුඛේන සෝ කලිං -
කලිනා තෙන සුඛං න වින්දති
(සං.නි., තුදුබ්‍රහ්ම සූත්‍රය).
තැනට නොගැළපෙන පරිදි දුර්වචන භාවිත කිරීම නිසා යමෙකු පව් රැස් කරගන්නා බව මෙම
ගාථාවෙන් ප්‍රකාශ වේ. ඒ අනුව හෙළා දැකිය යුතු තැන, වැරැදි ලෙස දැකිය යුතු තැන එසේ
නොකොට ඊට ප්‍රශංසා කිරීමත්, පැසසිය යුතු තැන නින්දා කිරීමත් නිසා වාචික ව පව් රැස්
වෙන බවත් ඒ පවින් සැපයක් නොලබන බවත් බුදුන් වහන්සේ පෙන්වා දෙති.
සාමාන්‍ය ජීවිතයේ දී අපට එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ඔවුන් සමඟ කතාබහ
කිරීම වැදගත් වේ. ඇතැමෙක් වචනය අවියක් කර ගනිති. තවකෙනෙක් එය නිවැරැදි ව හසුරුවා
ගැනීමට අසමත් වීම නිසා තමා ද අනුන් ද අනතුරේ හෙළති. මෙහි දී වැදගත් වන්නේ වචනය
අවියක් හෝ මොන යමක් කරගත්තත් එය නිවැරැදි ව භාවිත කිරීමයි. කිසියම් පුද්ගලයෙකු
යහපත් හෝ අයහපත් දැයි දැන ගැනීමට ඔහුගේ කථා විලාසය ඍජුව ම ඉවහල් නොවුණත් , යම්
පමණකින් කථාවිලාසයෙන් පුද්ගල ස්වභාවය පෙන්වන බව අපි දනිමු. නිදසුනක් ලෙස ධම්මපදයේ
කථාවක එන ‘කුම්භඝෝෂක’ සිටුවරයෙකැයි බ්‍රහ්මදත්ත රජුට දැනගන්නට ලැබුණේ ඔහුගේ කටහඬ
අසා සිටීමෙනි. බුදුදහම පෙන්වා දෙන පරිදි කථාබස් කිරීමේ දී වාග්සංවරය ඇති කර ගත යුතු
වේ. මෙහි දී වාග්සංවරය යන්නෙන් අදහස් වන්නේ නිහඬ ව සිටීම ම පමණක් නොව, අවස්ථාවට
සුදුසු පරිදි නිවැරැදි හා අර්ථවත් වචන භාවිත කිරීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගට අයත්
‘සම්මාවාචා’ යන්නෙන් ද පෙන්වා දී තිබෙන්නේ මෙකී වාග් සංවරය යි. විභංගපාළියෙහි
‘සම්මාවාචා’ යන්න විග්‍රහ කරන්නේ මෙසේ ය.
“තත්ථ කතමා සම්මා වාචා මුසාවාදා වේරමණී, පිසුණාවාචා වේරමණී, ඵරුසාවාචා වේරමණී,
සම්ඵප්පලාපා වේරමණී අයං වුච්චති සම්මාවාචා.”
එනම්, බොරු, කේලම්, පරුෂ හා හිස් යන වදන් ප්‍රකාශ කිරීමෙන් වැළකී නිවැරැදි හා
සුදුසු ම වදන් භාවිත කිරීම යි. මෙසේ වචනයෙහි සංවරය ඇති කර ගත් පුද්ගලයා මනසින් ද,
කයෙන් ද සංවර වන බව ධම්මපදයේ මග්ග වර්ගයෙහි සඳහන් වේ (වාචානුරක්ඛී මනසා සුසංවුතෝ -
කායේන ච අකුසලං න කයිරා).
තව ද, අංගුත්තර නිකායේ ගූථභාණි සූත්‍රයෙහි ගූථභාණි, පුප්ඵභාණි හා මධුභාණි යනුවෙන්
පුද්ගලයන් තිදෙනෙකු පිළිබඳ සඳහන් වේ. ඒ අනුව, යම් පුද්ගලයෙක් සභාවකට හෝ පිරිසක්
මැදට හෝ ඤාතීන් අතරට හෝ විශේෂ පිරිසක් අතරට හෝ රාජ සභාවට ගිය විටෙක ඔහු දන්නා දෙය
කුමක්දැයි ඇසූ විට 1. නොදන්නා දෙය දනිමි හෝ 2. දන්නා දෙය නොදනිමි, 3. දුටු දෙය
නොදුටුවෙමි හෝ 4. නොදුටු දෙය දුටුවෙමි 5. තමන්ගේ ආරක්ෂාව සඳහා හෝ 6. වෙනත් කෙනෙකුගේ
ආරක්ෂාව සඳහා, 7. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් දැන දැනත් බොරු කියන තැනැත්නා
‘ගූථභාණි’(අසුචි මෙන් දුගඳ හමන වචන) නමින් හඳුන්වා තිබේ. ඉහතින් දැක්වෙන පරිදි
‘ගූථභාණි’ නම් පුද්ගලයාගේ ලක්ෂණ සතකි.
ඉහත ලක්ෂණ හත සහිත ව එසේ බොරු නොකියා මිනිසුන් මුළාවට පත් නොකරන තැනැත්තා
‘පුප්ඵභාණි’(මල් මෙන් සුවඳ වචන) නමින් දැක්වේ. මේ අන්දමින් යමෙක් රළු වදන් බැහැර
කොට ප්‍රයෝජනවත්, මිහිරි, දයාබර, හදවතට ළං වූ, බොහෝ දෙනාට මනාප වූ වචන කියයි නම්,
ඔහු ‘මධුභාණි’(මී බඳු වචන) නම් වේ.
මෙහි දී ද බුදුරජාණන් වහන්සේ අවස්ථාවෝචිත හා නිවැරැදි වදන් භාවිත කිරීමේ අගය පෙන්වා
දී තිබේ. අද සමාජයේ බොහෝ දෙනා ඉහත දැක් වූ පරිදි ලාභ-ප්‍රයෝජන ගැන සිතමින් තමන් හෝ
තවත් කෙනෙකුන් ආරක්ෂා කරගැනීමේ අදහසින් මුසා බස් ගොතන අපමණ අවස්ථා අපට දකින්නට හා
අසන්නට ලැබේ. ඔවුහු දැන දැනත් බොරු ගොතති. එබඳු ලාභාපේක්ෂාවෙන් මුසා දොඩන, බොරු
ගොතන පුද්ගලයන් අසූචි සේ දුගඳ පතුරුවන බව පැහැදිලි ය. එම වදන් අසූචි සේ වැඩකට
නොමැති, අප්‍රියජනක, පසෙකට විසි කළ යුතු අනර්ථවත් දේ ය. ඔවුහු එබඳු දෑ පැවසීමෙන්
බොහෝ සෙයින් පව් රැස් කර ගනිති.
අනෙක් අතට, සරු දෙය සරු ලෙසටත් නිසරු දෑ නිසරු වශයෙනුත් මනා ව දැකිය යුතු බව
ධම්මපදයේ 12වැනි ගාථාවෙන් අපට උපදෙස් ලබා දේ
සාරං ච සාරතෝ ඤත්වා-
අසාරං ච අසාරතෝ. මෙහෙයින්, හරි-වැරැද්ද නිසියාකාර ව තෝරා-බේරාගෙන ජීවත් වීම ඉතා
වැදගත් වේ. එමෙන් ම, යමෙක් ප්‍රාණඝාතාදී අකුසල් කරන්නෙකු දැක, ඔහුගේ ගුණ වර්ණනා
කරයි නම්, එය මුසාවාදයට ගැණෙන හා වාචික වශයෙන් සිදුවන පාපය කි. ඒත් සමඟ ම
සියල්ලන්ගේ පැසසීමට සුදුසු වූ උතුම් ආර්ය පුද්ගලයන්ට නිරතුරු ව ම නිග්‍රහ කරයි ද
පරිභව කරයි ද, මෙය ද පාපී ක්‍රියාවකි. මේ බව සංයුත්ත නිකායේ ‘තුදුබ්‍රහ්ම’
සූත්‍රයෙහි මනා ව සඳහන් කොට තිබේ.
පුරිසස්ස හි ජාතස්ස -
කුඨාරී ජායතේ මුඛේ,
යාය ඡින්දති අත්තානං -
බාලෝ දුබ්භාසිතං භණං.
බුදුරජාණන් වහන්සේ මෙහි දී ‘දුර්වචන ප්‍රකාශ කිරීම’ සඳහා අලංකාර උපමාවක් ඇසුරු කොට
ගත්හ. එනම්, අනුවණ පුරුෂයෙකුගේ කටෙහි හටගන්නා කෙටේරියකට (පොරොව) ය. කෙටේරිය යනු
තියුණු ආයුධයකි. මේ අනුව බාලයා දුර්වචනය නමැති කෙටේරිය පාවිච්චි කිරීම නිසා තමා ම
ඉන් අනතුරට පත් කරගන්නා බව පැහැදිලි වේ. එබැවින් නිවැරැදි හා උචිත වචන භාවිත කරමින්
යහපත් වාචික සංවරයකින් යුතු ව කටයුතු කිරීමෙන් මෙලොව-පරලොව දෙලොව ම සාර්ථකත්වයට පත්
කරගැනීම අතිශයින් වැදගත් බව සිහිපත් කළ යුතු ය.
|