[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය සියලු ආගමික පූජකවරුන්ටත් - රක්ෂණාවරණය ආරම්භ කරමින් අගමැති කියයි

බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය සියලු ආගමික පූජකවරුන්ටත්
- රක්ෂණාවරණය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යතුමන් කියයි

මහා සංඝ රත්නය උදෙසා ක්‍රියාත්මක කරනු ලැබූ බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය සෙසු ආගමික පූජකවරුන්ටත් ලබාදීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය පිළිබඳව යථා කාලයේ දී ක්‍රියා කරන බව පැවසූ අගමැතිවරයා ප්‍රථම අදියර යටතේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ගෞරවනීය මෙහෙවරක් ඉටුකරන මහා සංඝරත්නය උදෙසා පිරිනැමූ බවත් අවධාරණය කළේ ය.

මහා සංඝරත්නයේ මෙන්ම සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා බුදුපුත් රක්ෂණාවරණය ක්‍රියාවට නැංවූ බවත් සඳහන් කළ අගමැතිවරයා අප රටේ බුද්ධ ශාසනය රැකීමට දේශපාලන භේද පසෙක තබා කටයුතු කළ යුතු බව ද එහිදී සිහිපත් කළේ ය. මහා සංඝරත්නය ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමෙන් බුද්ධ ශාසනය රැකෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේ ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේ ඉකුත්දා (26) අරලියගහ මන්දිරයේදී පැවැති භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ක්‍රියාවට නැංවූ බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය ඇරඹීමේ මාහැඟි පුණ්‍ය කටයුත්තට එක්වෙමිනි.

බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය සඳහා රජය රුපියල් මිලියන පනහක් සහ බුද්ධ ශාසන අරමුදල මගින් රුපියල් මිලියන හතළිහක් වැය කර රුපියල් මිලියන අනූවක ඍජු අරමුදලක් ස්ථාපිත කෙරේ. එම ආයෝජනය තුළින් වාර්ෂිකව රුපියල් මිලියන දහයක මුදලක් ඉපැයීමට බලාපොරොත්තු වෙයි. වාර්ෂිකව බුද්ධ ශාසන අරමුදල මගින් රුපියල් මිලියන විස්ස බැගින් යොදවා අරමුදල ශක්තිමත් කෙරෙයි. එම අරමුදල සඳහා අවශ්‍ය නම් පරිත්‍යාගශීලින්ට ආධාර ලබාදීමට පිළිවන.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් මෙම අරමුදලට බැර කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බැංකුවේ සභාපති ජෙයරාජ් චන්ද්‍රසේකර මහතා ප්‍රදානය කළේ ය. දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳව සිදු කළ යුතු සාකච්ඡා පැවැත්වීමට අතපසුවීම පිළිබඳව සමාව භජනය කරන ලෙස නමස්කාරපූර්වකව මහා සංඝරත්නය හමුවේ පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡා කඩිනමින් පවත්වා අවශ්‍ය පියවර ගන්නා බවට දැනුම් දුන්නේ ය.

නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශකළ පරිදිම එම ප්‍රමාදයට හේතුව වුණේ ඉකුත් වසරේ ඔක්තෝබරයේ සිදුවුණු දේශපාලන ව්‍යාකූලත්වය බව අගමැතිවරයා මෙහිදී පැවසුවේ ය.

දහම් පාසල් අධ්‍යාපනයට අදාළ වැදගත් කටයුතු රැසක් පිළිබඳව අගමැතිතුමා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත්, ඔක්තෝබරයේ දේශපාලන අස්ථාවරභාවය නිසා එය ප්‍රමාද වී තිබෙන බවත් එහි ප්‍රබල අවශ්‍යතාවන් පිළිබඳ මැදගම ධම්මානන්ද නා හිමියෝ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසී ය.

එහිදී අගමැතිවරයා මෙසේ ද කීය.

ලොව්තුරු බුදුරදුන්ගේ බුද්ධ වදන රැකගත්තේ , රැකගන්නේ මහා සංඝරත්නය යි. කිසිම බාධාවකින්, සැකයකින් තොරව සියලුම සංඝරත්නය සඳහා රක්ෂණාවරණය ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් ,වගකීමෙන් මේ මහඟු කටයුත්ත සිදුකරනවා. ඒ වාගේම රජයේ සුරක්ෂිතභාවය ලබා දෙනවා.

මෙම රක්ෂණයට අමතරව මහා සංඝරත්නය උදෙසා ශාසනයට තම දරුවන් කැප කළ මව්පියවරුන් ආරක්ෂා කර ගැනීමටත්, බුදුපුත් මව්පිය සුරක්ෂා ක්‍රමයක් , මූලික අවශ්‍යතා පවා නොමැති විහාරස්ථාන දියුණු කිරීමට බොදු ආරාම සුරක්ෂා යනුවෙන් ද වැඩසටහන් ක්‍රියාවට නංවනවා.

ගමේ පන්සල දියුණු කිරීම විශේෂයෙන් කළ යුතුයි. මේ සඳහා මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කළා. නගරයේ විහාරස්ථානවලට යම් මූල්‍ය ශක්තියක් තිබෙනවා. නමුත් ග්‍රාමීය නාගරික භේදයකින් තොරව රටේ බෞද්ධ විහාරස්ථාන රැක ගනිමින් දියුණු කරමින් කටයුතු කිරීම රජයෙන් සිදු විය යුතු කාර්යභාරයකි.

අතීතයේ සිටම පාලකයන්, දායකයන් එකට එකතු වී මහා සංඝරත්නයේ අවශ්‍යතා ඉටුකරමින් ඉදිරියටම කටයුතු කර ගෙන පැමිණියා. සමාජය විශාල පරිවර්තනයකට ලක් වුණා. ගමේ පන්සලේ සංඝයා වහන්සේ නොව වැඩිහිටි මව්පියන් බලා කියා ගැනීමටත් තත්ත්වයක් නැතිව ගියා. මෙවැනි තත්ත්වයක් මහා සංඝරත්නයට බලපානවා. මෙවැනි දේ සිදුවන්නේ අප රටේ පමණක් නොවෙයි. ලෝකයේම සිදුවෙනවා. යුරෝපයේ වැඩිහිටි ආයතනවලට මව්පියන් ඇතුළත් කරනවා. සමහර නගරවල නඩත්තුව කර ගත නොහැකි පල්ලි විකුණනවා.

මෙම රක්ෂණාවරණය ආරම්භ කිරීමේ සංකල්පය ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙයි. කාලෝචිත විශිෂ්ට වැඩපිළිවෙළක් වන මෙම කටයුත්ත රජය පිළිගත්තා. එතුමාට කෘතඥතාව පළ කරනවා. ඇමැති ගාමිණි ජයවික්‍රම මහතා මුදල් අමාත්‍යංශය සහ අප සමඟ වාද කරමින් සංකල්පය යථාර්ථයක් බවට පත් කළා. ඇමැතිවරයා ඉතා හොඳ බෞද්ධයෙක්. රට පුරාම බෞද්ධ කටයුතු වෙනුවෙන් සේවය කරනවා. අපි දෙදෙනාම 1977 පාර්ලිමේන්තුවට පැමිණියා.

එවකට හිටපු දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා අප හට පැවසුවේ ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ නවවැන්න ලෙස දක්වා තිබෙන බුද්ධාගම අපි අර්ථවත් කළ යුතු බවයි. දශකයක පමණ කාලයක් තුළදී දානපතියන්ගේ ධනය ක්ෂය වී ගොස් පන්සල් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයක් තිබුණා. එම නිසා රජයෙන් විශාල ලෙස බුද්ධ ශාසනයට උපකාර කිරීමට මුදල් වැය කළා. විමධ්‍යගත අය වැය මුදල් බුදුසසුන වෙනුවෙන් වැය කළා. ඇමැති ගාමිණි ජයවික්‍රම මහතා කුරුණෑගලට විශාල ලෙස වැඩ කළා. දිවංගත පේ‍්‍රමදාස ජනාධිපතිතුමා පාලි බෞද්ධ විශ්වවිද්‍යාල ඇති කළා. ගම් උදාව සමඟ පන්සල් ඇති කිරීමට පියවර ගත්තා. දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව මහා සංඝරත්නයට ලබා දුන්නා. දිවංගත ගාමිණී දිසානායක මහතා මහවැලිය තුළින් විහාරස්ථාන දියුණුවට විශාල වැඩ කොටසක් කළා. පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කළේ මමයි. සාරිපුත්ත අධ්‍යාපන පීඨය ඇරඹීමට ක්‍රියා කළා. දිවංගත පේ‍්‍රමදාස , විජේතුංග ජනාධිපතිවරු බුද්ධ ශාසනය රැක ගැනීමට ක්‍රියා කරමින් ඒ සඳහා වැඩ කටයතු ඉදිරියට ගෙන ආවා. නායකයින් රැක ගනිමින් දේශපාලන මතභේදවලින් වැළකී ඉදිරියට ආවා. මේ වන විට බුද්ධ ශාසන අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික අරමුදල්, සංස්කෘතික අමාත්‍යාංශය යනාදිය තුළින් ගත වුන වසර හතරහමාර තුළ රුපියල් මිලියන හත්දහසක පමණ මුදලක් බුද්ධ ශාසනයේ දියුණුවට වැය කර තිබෙනවා. මෙයාකාරයට බුදු සසුන වෙනුවෙන් මුදල් වැය කළ වෙනත් ආණ්ඩුවක් ශ්‍රී ලංකාව තුළ තිබුණේ නෑ. ආණ්ඩුවක් ලෙසින් මෙවැනි උත්තරීතර කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවීම ගැන අභිමානයක් අප තුළ පවතිනවා.

මුළුමහත් සංඝරත්නයම පිදුම් ලබන ඉතිහාසගත වන මෙම සෞඛ්‍ය රක්ෂණාවරණය සංකේතවත් කරමින් අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථම රක්ෂණාවරණය පිළිගැන්වී ය. ඉන් පසුව වැඩම කර සිටි තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය දහ අට නමකට රක්ෂණාවරණ පිළිගැන්වීම සිදු වූ අතර මහානායක, අනුනායක ස්වාමීන් වහන්සේලා දහ අටනමක් සංකේතාත්මක වශයෙන් රක්ෂණාවරණයෙන් පුදනු ලැබීය.

දිඹුල්කුඹුරේ සරණංකර විමලධම්ම අනු නා හිමි, මැදගම ධම්මානන්ද නා හිමි, මාතලේ ධම්මකුසල අනු නා හිමි, පිඹුරේ උදිත මහ නා හිමි, අහුන්ගල්ලේ සීල විසුද්ධී මහා නාහිමි, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහ නාහිමි, නාකුළුගමුවේ පේමතිලක මහ නාහිමි, එගොඩමුල්ලේ අමරමෝලි මහ නාහිමි,ආචාර්ය පහමුණේ සුමංගල නා හිමි, මඩලගම වජිරබුද්ධි මහ නා හිමි, නාගොල්ලේ නාගිත මහ නා හිමි, තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමි, ගලපිටමඩ විමලධම්ම අනුනාහිමි, වරාගොඩ පේමරතන අනු නාහිමි,මකුළෑවේ විමල නාහිමි, පල්ලෙකන්දේ රතනසාර නාහිමි යන ස්වාමින් වහන්සේලා ඒ අතර වේ. වැඩම කර සිටි සෙසු දෙදහසක් පමණ වන මහා සංඝරත්නයටද මෙහිදී රක්ෂණාවරණ හිමිකම්පත් ලබා දුන්හ.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, දිඹුල්කුඹුරේ විමල ධම්ම අනුනාහිමි, මාතලේ ධම්මකුසල අනුනාහිමි , මැදගම ධම්මානන්ද හිමි, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි එහිදී අනුශාසනා පැවැත්වූ අතර කථානායක කරු ජයසූරිය මහතා සහ බුද්ධශාසන සහ වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද එහිදී කථා කළහ.

එම අවස්ථාවට අන්‍ය ආගමික පූජකතුමන්ලා, විදෙස් නියෝජිතවරු, ඇමැති වජිර අබේවර්ධන , රාජ්‍ය ඇමැති ජේ.සී. අලවතුවල, නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර,ඇමැතිනී චන්ද්‍රාණී බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල්, හර්ෂණ රාජකරුණා මහත්ම මහත්මීන්ද සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් සෝභිත රාජකරුණා මහතා ඇතුළු ව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි, හිටපු ලේකම් චන්ද්‍රපේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂිකා දම්පිකා කනේරු ප්‍රධාන ගණකාධිකාරිනි ගයනි මුණවීර, බෞද්ධ කටයුතු සහකාර කොමසාරිස් සහන් කුරුප්පු මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගි වූහ.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk