[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 32: බොදු කලාකරුවන්ගේ

බොදු කලාකරුවන්ගේ දක්ෂතා හෙළිවන තිවංක පිළිමගෙය බිතුසිතුවම්

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

"ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණයක් ලෙසින් තිවංක පිළිමගෙයි බිතුසිතුවම් අගැයීමට ලක්වී ඇත. මහ බෝසතාණන් වහන්සේගේ චරිතය සහ ජාතක කතා මෙම සිතුවම්වලින් මැනවින් නිරූපණය වී ඇත. ඒ අතර වෙස්සන්තර, සස, අසංකවති, මහා සුදස්සන, උම්මග්ග, හා චුල්ලපදුම ආදී ජාතක කතා නිරූපණය දැක්විය හැකි ය."

භාරතයේ පැරැණි චිත්‍ර කලා ක්‍රමයක විකාශනයක් වූ ලංකාවේ පැරැණි චිත්‍ර කලාව ක්‍රිස්තු වර්ෂ දොළොස් වන සියවසේ දී ත් මේ රටේ නොනැසී පැවතුණු බවට පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි බිතුසිතුවම් සාක්ෂි දරනු ඇත. ඒ වන විට පුරාණ භාරතීය චිත්‍රකලාව මුළුමනින් ම අහෝසි වන්නට ආසන්න ව තිබු බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන කරුණකි.


දේවාරාධනාව

ඒ මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි යුගයේ දී එම ගොඩනැගිල්ලට ස්ථීර වූ ගොඩනැගිල්ලේ ලක්ෂණවලට හානි නොවන ආවරණයක් සැපයුවා පමණක් නොව, ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසඥ මොහොමඩ්ඛාන් බහදුර් ඝානාඋල්ලා මහතා මෙහි ගෙන්වා,තිවංක පිළිමගෙයි එවක ශේෂවී තිබුණු බිතුසිතුවම් ආරක්ෂාව සඳහා විධිවිධාන යොදවා තිබුණි. මොහමඩ් ඝානඋල්ලා මහතා විසින් තිවංක පිළිමගෙයි බිතුසිතුවම් වසාගෙන තිබුණු ලවනයන් ඉවත්කොට එම චිත්‍රවල ආරක්ෂාව සඳහා අවශ්‍ය රසායනික පිළියම් යෙදුවේ ය.

(තිවංක පිළිමගෙයි බිතුසිතුවම් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ – පුරාවිද්‍යා කොමසාරිස් පි. 6-1982 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි.)

පොළොන්නරුවේ ම උත්තරාරාමය හෙවත් ගල්විහාරය, ලංකාතිලකය සහ අනෙකුත් ස්වල්ප තැනක මෙම යුගයේ ඉතා ස්වල්ප වශයෙන් ශේෂ වු බිතුසිතුවම් දක්නට ලැබේ.

පොළොන්නරු රාජධානි සමයේ නිර්මාණය වූ සුවිශේෂ ගොඩනැඟිලිවලින් එකක් ලෙස වර්තමානයේ දී පවා තිවංක පිළිමගෙය වැදගත් වේ. ත්‍රිභංග හෙවත් තුන් පළකින් වක් වූ ප්‍රතිමාවක් නිර්මාණය කර ඒ වෙනුවෙන් ගඩොල්වලින් සාදන ලද මෙම පිළිමගෙයි මෙම බිතුසිතුවම් නිර්මාණය කර තිබේ. මෙම කාලයට අයත් වන බිතුසිතුවම් වෙනත් තැනකට වඩා විශාල සංඛ්‍යාවක් මෙහි දක්නට ලැබේ. දිගින් අඩි 123 හා පළලින් අඩි 67 ක් වූ මෙම පිළිමගෙයි, ගර්භ ගෘහයෙහි බිත්තිවල ඝනත්වය අඩි 6-8 පමණ වේ.එම බිත්තිවල ඇතුළත තිවංක පිළිම ගෙයි බිතුසිතුවම් නිර්මාණය කර ඇත.

ඓතිහාසිකත්වය

ගෙඩිගේ සම්ප්‍රදායට අයත් ගඩොල්වලින් නිර්මාණය කළ ගොඩනැගිලි කීපයක් පොළොන්නරු රාජධානි සමයේ දී ඉදිකර ඇත. ඒවා සියල්ලම මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) රජුගේ අනුග්‍රහයෙන් ඉදිකරවන ලද බව මහාවංසයේ දෙවැනි කොටසේ සඳහන් වන්නේ ය. රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදිකරන ලද තිවංක පිළිමගෙය හා එහි බිතුසිතුවම් ඒ කාලයට අයත් වන්නේ ය. එසේ වුව ද, ඇතැම් ආරම්භක ඉදිකිරීම් සහ බිතුසිතුවම් පසුකාලීනව දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236-1270) රජුගේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කරන්නට යෙදී ඇතිබවට සාධක ලැබෙන හෙයින් තිවංක පිළිමගෙය නම් වූ ගොඩනැගිල්ල ද ඊට අයත් වන බවට අනුමාන කළ හැකි ය. ඒ අනුව වර්තමානයෙහි පවා දක්නට ලැබෙන ආකාරයටත්, පොත පතෙහි දක්නට ලැබෙන ආකාරයටත් මෙම චිත්‍ර ද දෙවන වරට දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය වන්නට ඇති බව පිළිගත හැකි සාධකයක් බවට ශේෂ වී ඇති චිත්‍රවල ඇතැම් ශිල්පීය ලක්ෂණ හුවා දැක්විය හැකි ය.

(POLONNARUVA CIVILIZATION OF SRI LANKA - p.14 prof H.T.BASNAYAKA AND prof UDA HETTIGE INTER NATIONAL PUBLISHERS – GODAGE -2007)

ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණයක් ලෙසින් තිවංක පිළිමගෙයි බිතුසිතුවම් අගැයීමට ලක්වී ඇත. මහ බෝසතාණන් වහන්සේගේ චරිතය සහ ජාතක කතා මෙම සිතුවම්වලින් මැනවින් නිරූපණය වී ඇත. ඒ අතර වෙස්සන්තර, සස, අසංකවති, මහා සුදස්සන ,උම්මග්ග, හා චුල්ලපදුම ආදී ජාතක කතා නිරූපණය දැක්විය හැකි ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී .බෙල් මහතාගේ පුරාවිද්‍යා වාර්තාවල සඳහන්වන තිවංක පිළිම ගෙයි බිතුසිතුවම්වල රේඛා සටහන්වලින් පෙනීයන්නේ ඔහු මෙම බිතුසිතුවම් ගැන වාර්තා සටහන් කරන කාලයේ දී ද සමහර බිතුසිතුවම් ඉතා විනාශකාරී ලෙසින් හානියට පත් වී තිබුණු බව ය. මේවා අතර මල් ලියකම් පැවැති බවත්, ඒවා සියල්ල ම පාහේ විනාශ වී තිබුණු බවත් ය.

ජාතක කතා ඉහත සඳහන් අයුරින් මෙම බිතුසිතුවම් වලින් දැකගත හැකිවන අතර ගුත්තිල ජාතකය ඇතුළත් බිතුසිතුවම් විනාශ වී ඇතත්, එහි ඇති විශාල මාලිගය හා එහි තිබූ අලංකාර තිරපට වර්ණ සංකලනයෙන් පැරැණි චිත්‍රශීල්පීන්ගේ සහජ දක්ෂතාවය පැහැදිලි වෙයි. එමෙන් ම රජ මාලිගය තුළ සිදු වූ සිද්ධීන් ( ගුත්තිල ජාතකයට අනුව) නිර්මාණාත්මකව රූගත කර ඇත. ඒ අතරේ බිසෝවරු, රජතුමා, නාට්‍යාංගනාවන් සහ බිම වාඩිවී සිටින මහලු මිනිසාගෙන් ද විවිධ ඉරියව් සහ අංග චලනයන් මෙන් ම, එහි ඇති ස්වභාවිකත්වය ද නිරූපිත ය.

ජාතක කතාවක් වු කාලගෝල කතාවස්තුව වම්පස ඇති බිතුසිතුවම් බිත්තියේ සිතුවමට නංවා තිබේ. එහි කාලගෝලයා නිරූපණය, දිග්පිටියාගේ රූමත් බවත් මැනවින් නිරූපණය වේ. මෙකල එස්.පී. චාල්ස් මහතා සඳහන් කරන අන්දමට මෙම බිතුසිතුවම් අපේ පුරාණ චිත්‍රශිල්පීන්ගේ නිර්මාණාත්මක භාවය ඉතා විශිෂ්ට ය.

මෙම බිතුසිතුවම් අතරේ ඉතා ප්‍රකටව ඇති බුද්ධ චරිතයේ සංකස්සපුරයට (මාතෘ දිව්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දම් දෙසා ආපසු වඩින අවස්ථාව) බුදුරජාණන් වහන්සේ වඩින අවස්ථාව නිරූපණය කරන සිතුවම ඉතා විශාල ලෙසින් නිර්මාණය කර තිබේ.

ප්‍රෙස්කෝ ක්‍රමයට සිතුවම් කර ඇති බව රසායනඥයින්ගේ මතයයි. ඝනත්වයෙන් වැඩි බිත්ති මත බදාම අතුරා, ඒ මත සිතුවම් නිර්මාණය කිරීම මෙන් ම, සම්පූර්ණයෙන් ම නිර්මිත පිළිම ගෙයක් තුළ මෙවැනි චිත්‍ර දක්නට ලැබෙන ස්ථාන අතුරෙන් තිවංක පිළිම ගෙය ඉතා විශිෂ්ට ය.

(DESIGN ELIMENTS FROM SRI LANKA TEMPLE PAINTINGS – L.T.P. MANJUSRI P1.COLOMBO –(1977)

මෙම තිවංක පිළිමගෙයි බිතුසිතුවම් අප රටේ පුරාණ චිත්‍රශිල්පීන්ගේ මෙන් ම, ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ද දක්ෂතාවය පිළිබිඹු කරන කැඩපතක් බඳු ය.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]