[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුන් වහන්සේගේ ධර්ම පර්යේෂණයෙහි විශේෂත්වය

බුදුන් වහන්සේගේ ධර්ම පර්යේෂණයෙහි විශේෂත්වය

"ඇතැමෙක් ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිය ස්වභාව කොට ඇති දෙයක්ම සොයයි. එසේම ඇතැමෙක් ජරා, ව්‍යාධි, මරණ, ශෝක හා තමා කෙලෙසන ස්වභාවය කොට ඇත්තේ ජරා, ව්‍යාධි, මරණ ශෝක හා තමා කෙලෙසන ස්වභාව කොට ඇති දෙයක්ම සොයයි. එබඳු පුද්ගලයා ලෝභය, පස්කම් සැපය ආදියෙන් මුසපත් වූයේ වෙයි."

ධර්මය සොයා යෑම ධර්ම පර්යේෂණය යි. එය සෙසු පර්යේෂණයන් අතර ශ්‍රේෂ්ඨතම පර්යේෂණය වන හෙයින් ආර්ය පර්යේෂණය නමින් ද හැඳින්වේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දීර්ඝ කාලයක් තුළ සිය ජීවිතය ධර්ම පර්යේෂණය සඳහා කැප කළහ. ධර්ම පර්යේෂණයක අරමුණ වන්නේ ආත්මාවබෝධය ලැබීම හෙවත් උතුම් ශාන්තිපදය (අනුත්තර සන්තිවරපදං) සෙවීමයි. නැතහොත් ආත්මශාක්සාත්කරණයට පැමිණීම යි. එනම් තමා හා ලෝකය පිළිබඳ නිසි අවබෝධයක් ලැබීම යි. එය කිං කුසල ගවේසී යනුවෙන් හැඳින්වේ. (කිං සච්ච ගවේසී යනුවෙන් නොවේ.)

ධර්ම පර්යේෂණයෙහි ප්‍රතිඵල ද භෞතික මිණුම් දඬුවලින් ගණනය කළ නොහැකි ය. එය පාරභෞතික අධිගමනයන්ගෙන් එනම් ධ්‍යාන හා සමාපත්තීන්ගෙන් මෙන්ම තෙසැත්තෑ ඤාණ ප්‍රභේදයන්ගෙන් ද යුක්ත වේ.

ධර්ම පර්යේෂණයෙහි පුරෝගාමියා වූයේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ය. උන්වහන්සේ තුළ පැවැති කුසලය කුමක්දැයි සොයායෑමේ පිපාසය (කිං කුසල ගවේසී) නිසා සම්බුද්ධත්වයට පැමිණීමෙන් නැතහොත් උතුම් ශාන්තිපදය අවබෝධයෙන් පසු උන්වහන්සේගේ ධර්ම පර්යේෂණය සඵල විය. පසුව ගුණාත්මක බවින් යුතු ධර්ම පර්යේෂණයක පැවැතිය යුතු ලක්ෂණ සමුදායක් බුදුන් වහන්සේ සෙසු ජනයාගේ සුවපහසුව සඳහා පැහැදිලි කළහ. එකී ලක්ෂණ සූත්‍ර දේශනාවල ඇතුළත් වේ. ඒ අතරින් අරියපරියේසන සූත්‍රය ප්‍රමුඛ දේශනාවක් වේ.

බුදුන් වහන්සේ පළමුව අනාර්ය පර්යේෂණයක ලක්ෂණ පැහැදිලි කළහ. ඇතැමෙක් ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිය ස්වභාව කොට ඇති දෙයක්ම සොයයි. එසේම ඇතැමෙක් ජරා, ව්‍යාධි, මරණ, ශෝක හා තමා කෙලෙසන ස්වභාවය කොට ඇත්තේ ජරා, ව්‍යාධි, මරණ ශෝක හා තමා කෙලෙසන ස්වභාව කොට ඇති දෙයක්ම සොයයි. එබඳු පුද්ගලයා ලෝභය, පස්කම් සැපය ආදියෙන් මුසපත් වූයේ වෙයි. එය නිවැරැදි පර්යේෂණය නොවේ. (අනාර්ය පර්යේෂණය යි) එබඳු වූ පර්යේෂණයකින් යථාර්ථය නොදකියි. ආත්මාවබෝධය නොලබයි. යමෙක් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක හා තමා කෙලෙසන ස්වභාව කොට ඇත්තේ ද ඔහු තමන්ගේ රුචිකත්වයට මුල්තැන දෙයි. එබඳු පුද්ගලයන් විසින් අනුත්තර සන්තිවර පදය සෙවීමෙන් බැහැර වී ලෞකික වූ අරමුණු වෙත යොමු වී නොමග යයි.

නිවැරැදි හා උදාර ධර්ම පර්යේෂකයෙකුගේ කාර්යභාරය වන්නේ ජාති ධර්මයෙහි ආදීනව දැක ජාතියක් නැති උතුම් යෝගක්ෂේම නම් වූ නිර්වාණය සෙවීමයි. එසේම ජරා, ව්‍යාධි, මරණ, ශෝක හා තමා කෙලෙසන ස්වභාව කොට ඇති වස්තූන්හි ආදීනව දැක ජරා, ව්‍යාධි, මරණ, ශෝක හා තමා කෙලෙසන ස්වභාව කොට නැති උතුම් යෝගක්ෂේම නම් වූ නිර්වාණය සෙවීමයි. මෙම පර්යේෂණය පාරභෞතික වූ සත්තාවක් අරමුණු කරගෙන බිහි වූවකි. නිර්වාණගාමී සදාචාරාත්මක මූලිකම අංගය වන කුසලය යනු කුමක්දැයි සොයා යමින් උතුම් ශාන්තිපදය සොයා යාමයි. එහිදී ලෝකෝත්තර වූ ද, අධ්‍යාත්මික වූ ද ඉලක්කයක් පදනම් කර ගෙන නිරත වන පර්යේෂණයක දී අපේක්ෂිත ඉලක්කයට බාධා පමුණුවන සාධක ඉවත් කර නොපසුබට උත්සාහයෙන් ඉදිරියට ගමන් කර කටයුතු කිරීම පුද්ගල මනසෙහි පැවැතිය යුතු අත්‍යවශ්‍ය ගුණාංග වන බව අවධාරණය කෙරේ.

බුදුන් වහන්සේ සිය ධර්ම පර්යේෂණයේ දී ප්‍රකට කළ ප්‍රමුඛ චරිත ලක්ෂණයක් වන්නේ නොපසුබට උත්සාහය යි. එහි දී ක්‍රියාත්මක වූ බුදුන් වහන්සේගේ සිතෙහි අනුගාමී ක්‍රියාකාරීත්වය මෙසේ දැක්වේ. පළමුව ධර්ම පර්යේෂණය සඳහා කැමැත්තක් ඇති කර ගනියි. (ඡන්දං ජනෙති) අනතුරුව අදාළ අරමුණට සිත නතු කර කිරීමට උත්සාහවත් වේ. (වායමති.) තෙවනුව එකී අරමුණෙන් පසුනොබැසීමට හා තවදුරටත් සිත එකී අරමුණෙහි රඳවා ගැනීමට වීර්යය ආරම්භ කරයි. (වීරියං ආරභති) පසුව සිත අදාළ අරමුණට ඔසවා තබමින් දැඩි උත්සාහයක යොදවයි. (චිත්තං පග්ගණ්හාති), අනතුරුව සිත එකී අරමුණෙහි සිථිරව පිහිටුවයි නැතහොත් අරමුණ සඵල කර ගැනීමට බලවත් උත්සාහයක යෙදෙයි. (පදහති) සිතෙහි බලපැවැත්වෙන දුර්වල සිතිවිලි හෙවත් කෙලෙස් දුරු කරයි. (විනොදෙති) මෙබඳු ගුණාංග ධර්ම පර්යේෂණයක නිරත වන පුද්ගලයා තුළ ශක්තිමත්ව ක්‍රියාත්මක විය යුතු ය. එවිට අකුසල සහගත තත්ත්වයන් මනසින් දුරු වී, කුසල සහගත සිතිවිලි වර්ධනය වී, මුහුකුරා යයි. කුසල් සිතිවිලි මුහුකුරා යාමෙන් සන්තිවර පදය සෙවීමේ ධර්ම පර්යේෂණය සම්පූර්ණ වේ. මෙහිදී ධර්ම පර්යේෂණයක නිරත වන සිත ක්‍රම ක්‍රමයෙන් අවසාන අරමුණු වෙත පිවිසීම සිදුවන බව පැහැදිලි කරුණකි. මෙම අනුගාමී ප්‍රතිපදාවෙන් තහවුරු වන ධර්ම කරුණක් වන්නේ යමෙකුගේ සිත ධර්ම පර්යේෂණයට නැඹුරු වීම, ඊට කැමැත්තක් දැක්වීම, ධර්මයට රුචිකත්වයක් දැක්වීම, ශ්‍රද්ධාව වර්ධනය වීම හා සිත විචිකිච්ඡාවෙන් තොර කර ගැනීම ඉතාම වැදගත් ගුණාංග වන බවයි.

ධර්ම පර්යේෂණයක නිරත වන පුද්ගලයා සතර අගතියෙන් තොර විය යුතු ය. කැමැත්ත (ඡන්ද) ද්වේෂය(දෝස), බිය (භය) හා මෝහය (මෝහය) යන අකුසලයෙන් අගතිගාමී නොවීම ධර්ම පර්යේෂණයෙහි ගුණාත්මක බව ආරක්ෂා කරයි. සතර අගතිවල ඇතුළත් වන්නේ ප්‍රධාන කෙලෙස් සතරකි. එකී කෙලෙස්වලින් සිත කෙලෙසීමට පත් කරයි. එයින් අකුසල හා පාපී සිතිවිලි වර්ධනය කරයි. උතුම් ශාන්තිපදයෙන් දුරින් දුරු කරයි. අගතිය යනු සෘණාත්මක සිතිවිලිවලින් අන්තගාමීත්වයට පත්වීමයි. සෘණාත්මක අගතිගාමී සිතිවිලි නිසා පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික හා බාහිර ලෝකය පරිහානියට පත් කරයි.

ධර්ම පර්යේෂණයක නිරත වූ බෝසතාණන් වහන්සේ නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කළ ආකාරය මහාසච්චක සූත්‍රයෙහි දැක්වේ. උන්වහන්සේ ගෘහ ජීවිතය හා පැවිදි දිවිය පිළිබඳ පූර්ණ අවබෝධයකින් පසු වූ අතර එය ධර්ම පර්යේෂණය පහසු කිරීමට හේතු විය. අනතුරුව එකල විසූ ධර්ම පර්යේෂණයෙහි අද්දැකීම් බහුල ආචාර්යවරුන් සොයා ගියහ. ආලාර කාලාම හා උද්දකරාමපුත්ත යන තාපසයන් වෙත එළඹ ඔවුන් අවබෝධ කරගෙන සිටි ධර්මය තොල ගෑ පමණින් හා කියූ පමණින් දැනගත්හ. නමුත් එකී ආචාර්යවරුන්ගේ දැනුම අනුත්තර වූ ශාන්ති පදය අවබෝධයට ප්‍රමාණවත් නොවන හෙයින් එකී ගුරුවරුන් හැර ගොස් තමන්ම විමුක්තිය සෙවීමට උත්සාහ කළහ. එහි දී බෝසතාණන් වහන්සේ අප්‍රාණක ධ්‍යානය වඩමින් ධර්ම පර්යේෂණයෙහි නිරත වූහ. එය කිසිවෙකුටවත් සිදු කළ නොහැකි ගැඹුරු වූ වීර්ය වැඩීමකි. උන්වහන්සේ තුළ පැවැති ශාන්ති වර පදය සෙවීමේ අභිලාෂය නිසා සිය ජීවිතයේ පැවැත්ම වුවද නොතකා සිදු කළ කැපවීමේ ඵලය නිසා උන්වහන්සේ ධර්ම පර්යේෂණයෙහි මස්තක ප්‍රාප්තියට පැමිණියහ. එහි දී උන්වහන්සේ යටි දතෙහි උඩු දත තබා දිවෙන් තලු මැඩගෙන කුසල් සිතින් අකුසල් සිත නිග්‍රහ කරමින්, පෙළෙමින්, තවමින් වීර්ය වඩනවිටදී කිහිල්ලෙන් දහඩිය ගලා ගියේ ය. එසේම ආශ්වාස වාතය සමඟ අප්‍රමාණක ධ්‍යානය වඩන විටදී හිසට, දෙකන්වලට දැණුනු අපමණ වේදනාව සිතෙහි බලපැවැත්වෙන මානසික ශක්තිය හා ධර්ම පර්යේෂණයෙහි මස්තකයට පැමිණීමේ අභිලාෂය නිසාම ඉවසා ක්‍රියා කළහ. මෙසේ දුෂ්කර ක්‍රියාවක නිරතවීම නිවැරැදි, ධර්ම පර්යේෂණය නොවන බව වටහා ගත් බෝසතාණන් වහන්සේ, එය සම්බුද්ධත්වයට හෙවත් අනුත්තර සන්තිවරපදය ලැබීමට නිශ්‍රය නොවන නිසා ධ්‍යාන වඩමින් සමථ හා විදර්ශනා භාවනාවෙහි නිරත වූහ. එහි දී උන්වහන්සේ තුළ පැවැති කෘතහස්තභාවය, පූර්ව පර්යේෂණ දැනුම, සාංසාරික පරිචය, නිරත වන පර්යේෂණය පිළිබඳ පවත්නා පූර්ණ අවබෝධය පාදක කර ගනිමින් උතුම් ශාන්තිපදය සොයා ගත්හ.

මෙසේ ශාස්තෘන් වහන්සේ ධර්ම පර්යේෂණයෙහි නිරත වීමේ දී සිතෙහි පැවැති නොපසුබට උත්සාහය නිසාම උතුම් ශාන්තිපදය නම් වූ පර්යේෂණයෙහි මස්තකයට පැමිණියහ. එය මෙම ලෝකයේ කිසිවෙකු විසින් සොයා ගිය අධ්‍යාත්මික ප්‍රගමනයක් නො වී ය. එය මෙම ලෝකයේ පැවැත්මෙන් එහා ගිය පාරභෞතික වූ පරම නිෂ්ඨාවකි. එබඳු ධර්ම පර්යේෂණයකින් ලැබිය හැකි උතුම් ශාන්තිපදය සෙවීම පහසු කාර්යයක් නොවන බව බුදුන් හන්සේගේ දේශනාවෙන් පැහැදිලි වේ.

බුදුන් වහන්සේගේ ධර්ම පර්යේෂණයෙහි පැවැති ප්‍රායෝගිකත්වය නිසා සෙසු පිරිසට විවිධ න්‍යායන් මඟින් පැහැදිලි කරමින් එකී ශාන්තිවර පදය අවබෝධයට මැනවින් යොමු කළහ. එසේ ම, සෙසු ජනයා ද සිය සන්තානගත චරිත ලක්ෂණ අනුකූලව ධර්ම මාර්ගයට යොමු කළහ.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk