නමදිමු අනුබුදු මිහිඳු හිමි
අනුබුදු මිහිඳු මා හිමියනි,
තිබූ ගනඳුර එළිය කර
එදා පොසොන් පොහොය දිනේ
අපේ රටට පායාලා
තිස්ස රජුට
ඇත් පිය සටහනින් යුතු මග දෙසුවේ ය
උතුම් තිසරණෙහි සැම පිහිටෙව්වේ ය
තිසරණ බලෙන් අපෙ දිවි දිලෙනවා සිකුරුයි
තිසරණ බලෙන් අපෙ රට රැකෙනවා සිකුරුයි
මාලඹේ කේ. ඩබ්ලිව්. සිරිසේන
****
මිහිඳු උදානය
සමනොළ සිරසේ සිරිපා සිසිලයි සිවු මහා ගංගා පවසන ගී යයි
සැම තැන සුදිලෙන වෙහෙර විහාරයි නැඟෙන සාධු නද රමණී යයි
නමදින ජන ගඟ මන පිනවමිනේ ‘මිහිඳු’ උදානය පැතිරී යයි
තම නම සපුරා ‘ලංකා’ සැරදේ මිහිඳු දහම් මග සුරැකේ මයි
රාජකීය පණ්ඩිත ශාස්ත්රවේදී
සුමනදාස මුදන්නායක
බැද්දෙගෙදරමුල්ල
මීගොඩ
****
මිහිඳු හිමියනි
අඳුරේ සිටිය ලක් වැසියන් හට පිහිට
වැන්නට දඹදිවෙන් පැමිණියෙ මෙහෙට
අරහත් මිහිඳු හිමි ගුණ ගී ගයන්නට
මට අවසරයි! හිමි පා යුග වඳින්නට
නිර්මල බුදු දහම ලක්දිව බැබළෙන්නේ
දසතම පිරිස් ඒ දම් රස විඳ ගන්නේ
අට ලෝ දහම අනුවම දිවි ගෙන යන්නේ
සමිඳුන් නිසා බැව් ලොව කවුරුත් දන්නේ
ලයනල් දසනායක
නාමල් උයන
නියඳගල , පන්නිපිටිය
****
කවි කුසුම්
පොසොන් සඳේ සඳ එළියෙන් මිහි මඬලම සන සවයි
බෝපත් සිලි සිලි නාදෙන් මඳනළ පවනට බමයි
මුවන් සිටිය මිහින්තලේ මුළු පෙදෙසම සුවඳ හමයි
අම්බස්තල කඳු මුදුනේ අරිහත් ධජ ලෙළ දෙවයි
තුන් කල් වාසී වූ සිරිලක් දනන් හට
හැකි වූ මහා මෙහෙයක් සිදු කරන් නට
අනුබුදු මිහිඳු මහ රහතන් වහන් සෙට
පූජා කරන්නෙමි මේ කවි කුසුම් මිට
ඇටැම්පොල ඤාණිස්සර මාහිමි
ශ්රී චිත්ත විවේකාරාමය
දෙමැද, දැරණියගල
****
දන්සල්
පොසොන් පොහොය දිනයේ අපි මෙහි එන්නේ
මොරටු නගරේ ඉඳලා අනුරාධපුර එන්නේ
දස දෙසින්ම ජන ගංඟා ඇදී එන්නේ
පිනට කැමැති අය මහා දන්සල් දෙන්නේ
සාධු නාදේ දසතින්ම ඇසෙන වානේ
සක් දෙවියෝ මේ නාදය අසා සිටින්නේ
සතර දෙසින් ජන ගංඟා ගලා එන්නේ
පින්වත් අය මහා දන්සල් දෙන වානේ
ඊ. අයිරින් ද සොයිසා
කල්දෙමුල්ල පාර, මොරටුව |