පොසොන් අව අටවක 2019.06.25
මෙත් සිත පතුරා
පරදමු සතුරා
මිනිසත්කම් සෝදාපාළුවට ගොස් ඇතැයි ද, සමාජය උඩු යටිකුරු වී ඇතැයි ද සමාජයේ ම ඇතැම්
තැනෙකින් චෝදනා නැගෙනු ඇසේ. එහෙත්, අනුන්ගේ අඩුපාඩු දකිමින්, වැරැදි දකිමින්
අනුන්ටම චෝදනා කිරීම බුදුදහම අනුමත කරන්නේ නැත. අනුන් දකින්නට පෙර තමන් දැකිය යුතු
ය. පළමුව තමන් නිවැරැදි විය යුතු ය. සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළ නම්, මව්පියන්
හරිමග යමින් දරුවන්ට පෙරගමන් කරුවන් විය යුතු ය.
පාසලක නම් ගුරුවරු, ශිෂ්‍ය නායකයන් ආදී ලෙස ඒ ආදර්ශය ලබා දිය යුතු ය. මෙලෙස සෑම
ආයතනයක ම, ඒ ඒ චරිත හසුරුවන්නෝ ඒ ඒ භූමිකාව තුළ තමන්ට අයත් යුතුකම්, වගකීම් මනාව
දැන, පවට ලජ්ජා බිය ඇතිව, නිවැරැදිව තම චරිතය හසුරුවා ගන්නේ නම් කිසිවෙක් කිසිවෙකුට
චෝදනා කළයුතු වන්නේ නැත. සමාජය ද අදැහැමින් උඩු යටිකුරු වන්නේ නැත.
සම්බුද්ධ දේශිතයට අනුව දුල්ලභංච මනුස්සත්තං - මිනිසත් බව ලැබීම ඉතාම දුර්ලභ ය. සැබෑ
තත්ත්වය නම් මිනිසත්කමින් යහපත් ඵල ලබන්නෝ අල්පවීම ය. වෙනත් ලෙසකින් කියනවා නම්
මිනිසත්කම දන්නෝ, මිනිසත්ගුණ ඇත්තෝ අල්ප ය. මිනිස් දරුවාට කුඩා කල සිටම හරි මග
පෙන්වීමක් නොලැබීම ඊට ප්‍රධාන හේතුව විය හැකි ය. කරුණාව හා ප්‍රඥාව පදනම් කොටගත්
උතුම් දර්ශනයක් ලොවට ඉගැන් වූ තථාගතයන් වහන්සේ තමන්ටත්, අනුන්ටත් අර්ථවත් වන ලෙස
ජීවිතය හැඩගස්වා ගත යුතු ආකාරය අපට උගන්වා තිබේ. ඒ ඉගැන්වීමතුළ ජීවිතය හරි මාවතකට
ප්‍රවිශ්ට කර උසස් තත්ත්වයකට පත් කරගැනීමෙහි ලා සතර බ්‍රහ්ම විහරණ ගුණයන්ට හිමි
වන්නේ සුවිශේෂී තැනකි. ‘බ්‍රහ්ම’ නම් උතුම්, ශ්‍රේෂ්ඨ යන අරුත් ගනී. විහරණ නම්
පැවැත්ම ය. එනම් උතුම් පැවතුම් සතරක් මෙහි ඉගැන් වේ. තමන්ට අහිත නොවන, අනුන්ට ද
අහිත නොවන, අර්ථයක් ම වන මේ ගුණ ධර්ම ජීවිතය තුළ පුරුදු පුහුණු කරනවා නම්
කිසිවෙකුගේ චෝදනාවට ලක්වන්නට කිසිවෙකුට ඉඩක් නැත.
ළිඳට වැටුණු කෙනෙක් ගොඩ එන්නේ නම් ඒ, ළිං කටින්ම විය යුතු ය. ඊට උත්සාහය ඇවැසි ය.
උපාය ද දත යුතු ය. එසේ නොවුණ තැන සිදු වන්නේ ළිං පතුලෙහි ම හිඳ මියැදෙන්නට ය.
අයහපත් ජීවිතය ද එවැනි ය. කෙනෙකුගේ වරදක් අනුන්ට නිවැරැදි කළ නොහැකි ය. වැරැදි
හැඩගස්වා ගත යුතු තමන් ම ය. ඒ සඳහා උතුම් ධර්ම මාර්ගයක් අපට ලැබී තිබේ. ඒ සඳහා සිත
පුරුදු පුහුණු කිරීමට නිරන්තර උත්සාහය ඇවැසි ම ය.
බුදු දහමේ සඳහන් උතුම් විහරණ ගුණයන් සතරින්, පළමුවැන්න මෙත්තාවයි. එනම් මෛත්‍රියයි.
හිත මිතුරු බවයි. ඔවුනොවුන් නුරුස්සන, හිංසාව, පීඩාව ඇති, ජීවිත බිය ඇති සමාජයක
පැවැත්ම මොන තරම් පීඩාකාරී ද? බිය ජනක ද? එහෙත් එකිනෙකා එකිනෙකා කෙරෙහි හිත මිතුරු
බවක් දක්වන්නේ නම්, එ පරිසරය තුළ මොනතරම් සුවදායී බවක් නිර්මාණය වනවා ද? සමහර අය
සුළු දෙයටත් වෛර බඳිති. පැල ඉනි වැටට, කොස් ගෙඩියට, පොල් ගෙඩියට වෛර බඳිති. ඇතැම්
සහෝදර සහෝදරියන් අතර සදාකාලිකව ම වෛරී සිතිවිලි ය. අසල්වැසියන් අතර, ගමින් ගම,
රටින් රට පැතිර මහා ඛේදනීය වේදනාබර විනාශ සිදු කරන්නේ ද මේ වෛරී සිතිවිලි ය. වෛරය
අවසානයේ ඉතිරි වන්නේ පශ්චාත්තාපය ම ය. වෛරය නිසා සිදු වූ වැරැදි යළි නිවැරැදි කළ
නොහැකි ය. එහෙයින් වෛරයේ ගිනිදැල් මෛත්‍රිය නම් වූ සිසිල් දිය දහරින් නිවා දැමිය
යුතු ය. ලෝභ, ද්වේෂ, මෝහා දී කෙලෙස්මළින් භරිත වූ මිනිස් සිතට එය අපහසු විය හැකි ය.
ශ්‍රී සද්ධර්මය අපට මග පෙන්වන්නේ ඒ මග පහසු කරන්නට ය. ඉපදෙමින්, මිය යමින් දුක්ඛිතව
ගෙවන මේ සසර ගමනේ, ජීවිතයේ යථාර්ථය මැනවින් තේරුම් ගත්තේ නම් කිසිදු කෙනෙක් කෙරෙහි
වෛරී සිතිවිලි පැන නොනඟිනු ඇත. මෙත් සිතෙහි සුවය, සැනසිලිදායක බව තේරුම් ගත් කෙනෙක්
කිසිවෙකුටත් වෛර නොකරනු ඇත. කරණීය මෙත්ත සූත්‍රයට අනුව මෛත්‍රිය වැඩීමේ දී මවක එකම
පුතුට දක්වන හිතෛෂී බවට සමාන හිතවත්කමක් සියලු ජීවීන් කෙරෙහි පැතිරවිය යුතු ම ය.
මෙත් සිතිවිලි වඩන්නාට සතුරු වීමට කිසිවෙකුටත් නොහැකි ය. මෙත් සිත හමුවේ සතුරා
පරදින්නේ ය. ඒ අනුව තමන්ට සතුරුකම් කරන අයට දිය යුතු හොඳම පිළිතුර ද මෛත්‍රිය ම ය.
ඒ මෙත් සිත තම තමන් තුළ වර්ධනය කරමු. එවිට සමාජය ම මෛත්‍රී සහගත වනු ඇත. |