සම්මා දිට්ඨිය
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
තලල්ලේ
චන්දකිත්ති හිමි
මේ මිනිස් ලෝකයේ බොහෝ මිනිසුන් හොඳ හෝ නරක ඇසුර නිසා වෙනස් වෙනවා. හොඳ අය ඇසුරු
කරනවිට හොඳ වෙනවා. නරක අය ඇසුරු කරන විට ඉබේ ම නරක් වෙනවා. ඒ ඇසුරට සම්මා දිට්ඨික
මිත්‍රයා සහ මිථ්‍යා දෘෂ්ඨික මිත්‍රයාගේ ඇසුර බලපානවා.
සම්මා දිට්ඨිකයා කියන්නේ යහපත් දැක්මක් ඇති තැනැත්තා යි. යහපත් දැක්මක් නැති
තැනැත්තා මිථ්‍යා දෘෂ්ඨිකයා යි. සම්මා දිට්ඨිකයා මූලික ව කොටස් දෙකකට බෙදා තිබෙනවා.
ඒ බාහිර සහ ශාසනික වශයෙන්. මේ ශාසනයෙන් පිටත කර්මඵල අදහන පුද්ගලයා බාහිරක සම්මා
දිට්ඨිකයා යැයි හඳුන්වනු ලබන අතර, මේ ශාසනය තුළ කර්මඵල අදහන පිරිස ශාසනික සම්මා
දිට්ඨිකයා යි. ලෞකික සම්මා දිට්ඨිකයා කියන්නේ මේ පිරිසට ම යි. මොවුන්ට ඇත්තේ කාරණා
දහයක් ගැන යහපත් දැක්මක්. දසවත්ථුක සම්මා දිට්ඨිය කියන්නේ එය යි. දසවත්ථුක සම්මා
දිට්ඨිය උපකාරි වන්නේ සත්ත්වයාගේ යහ පැවැත්මට යි. එය ලෞකික යි. ලෝකෝත්තර සම්මා
දිට්ඨිය ද මිථ්‍යා දෘෂ්ඨියක්. නමුත් එය නියත මිථ්‍යා දෘෂ්ඨියක් නොවේ. දසවත්ථුක
සම්මා දිට්ඨියවත් නැති පිරිස නියත මිථ්‍යා දෘෂ්ඨිකයෝ ලෙසයි හඳුන්වන්නේ.
අන්‍ය ශාසනවල සිටින, කර්මඵල අදහන, දසවත්ථුක සම්මා දිට්ඨිය ඇති, ලෞකික සම්මා දිට්ඨිය
ඇති අය ලෝකෝත්තර සම්මා දිට්ඨියේ සිට බලන විට අනියත මිථ්‍යා දෘෂ්ඨිකයන් වශයෙනුත්
හැඳින්විය හැකි යි. නියත මිථ්‍යා දෘෂ්ඨිකයන්ට මරණින් පසු ඒකාන්තයෙන් ම දුගතිය
උරුමවුවත්, අනියත මිථ්‍යා දෘෂ්ඨිකයන් එලෙස දුගතිගාමී වන්නේ නැහැ.
දසවත්ථුක මිථ්‍යා දෘෂ්ඨියෙන් යුක්ත පුද්ගලයා නියත මිථ්‍යා දෘෂ්ඨිකයා යි. ඒ පුද්ගලයා
කාරණා දහයක් පිළිගන්නේ නැහැ. දුන් දේ විපාක නැහැ, ප්‍රාර්ථනා කරන දේ ඒ ආකාරයෙන් ම
ලබන්න බැහැ, ඥාතීන්ට, දෙවියන්ට පින් අනුමෝදන් කරන ක්‍රියාකාරකම්වලින් ප්‍රයෝජනයක්
නැහැ. අප කරන හොඳ හෝ නරක ක්‍රියාවන්හි කර්ම විපාක නැහැ. මෙලොවක් නැහැ, පරලොවක්
නැහැ. අම්මා කියා විශේෂ කෙනෙක් නැහැ, තාත්තා කියා විශේෂ කෙනෙක් නැහැ. දෙවියන්,
බ්‍රහ්මයන්, පේ‍්‍රතයන්, භූතයන්, පිසාචයන් ආදී වශයෙන් ඕපපාතික කියා සත්ත්ව
කොට්ඨාශයක් නැහැ. මෙලොව පරලොව, දෙලොව ම සිය ප්‍රඥාවෙන් දැනගෙන අන්අයට මග කියාදෙන
මහරහතන් වහන්සේලා කියා පිරිසක් මේ ලෝකයෙහි නැහැ කියා සිතන අය නියත මිථ්‍යා
දෘෂ්ඨිකයන් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ කියන නියත මිථ්‍යා දෘෂ්ඨික භාවයෙන් යමෙක්
දිගට ම කටයුතු කරනවා නම්, ඒ පුද්ගලයා මරණින් මතු අනිවාර්යෙන් ම උපදින්නේ අවීචි මහා
නරකාදියේ යි. හොඳ නරක පිළිබඳ විශ්වාසයක් නොමැති පුද්ගලයා නරකින් වළකින්න උත්සාහ නො
කිරීම තුළ නරක දේ ම වැඩි වැඩියෙන් කරන්න පුළුවන්. ඒ හේතුවෙන් ඒ පුද්ගලයා යන්නේ
දුගතියට යි.
නියත මිථ්‍යා දෘෂ්ඨිකයෙකුට සම්මා දෘෂ්ඨිකයෙක් වීමට බැරි ද? නියත මිථ්‍යා
දෘෂ්ඨිකයෙකුට පවා සම්මා දෘෂ්ඨිකයෙක් වෙන්න පුළුවන්. එසේනම් ඒ පුද්ගලයා කළයුත්තේ හොඳ
කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීම යි. කල්‍යාණ මිත්‍ර ප්‍රතිපදාව ඉතා වටිනවා. ඒ
කල්‍යාණ මිත්‍ර ඇසුර තුළ ඒ පුද්ගලයා නියත මිථ්‍යා දෘෂ්ඨි භාවයෙන් මිදී දසවත්ථුක
සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා.
දසවත්ථුක සම්මා දිට්ඨිය කියන්නේ මුලින් කියූ අයහපත් විශ්වාස දහය අතහැර හොඳ විශ්වාස
දහයෙන් යුක්ත වීමට යි. ඒ විශ්වාසයන් ඇතිවීමට කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැසී ඒ කල්‍යාණ
මිත්‍ර ඇසුර ලබන්න ඕනෑ. මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදෙන්න නම් සම්මා දිට්ඨිය ඇති කරගන්න
ඕනෑ. සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට කළ යුතු ක්‍රියාකාරකම් දෙකක් තිබෙනවා.
1. පරතෝඝෝෂය 2. යෝනිසෝමනසිකාරය
පරතෝඝෝෂය කියන්නේ අනුන්ගෙන් අසා දැන ගැනීම යි. කල්‍යාණ මිත්‍රයෙක් නිතර ම ධර්මයෙහි
වටිනාකම කියා දෙනවා. ධර්ම ඤාණය ලබා දෙනවා. කල්‍යාණ මිත්‍රයා එහෙම ධර්මයේ වටිනාකම
කියාදෙන විට ඒ කියන කාරණා හොඳින් විමසා බලා කටයුතු කරන්න ඕනෑ. එහිදී අපිට
යෝනිසෝමනසිකාරය අවශ්‍ය වෙනවා.පරතෝඝෝෂය සහ යෝනිසෝමනසිකාරය සම්මා දිට්ඨිය ඇතිකර
ගැනීමට උදව්වන්නේ ඒ ආකාරයට යි. කෙසේ නමුත් ඒ කල්‍යාණ මිත්‍රයා කියාදෙන ධර්මය දැන
ගන්නත් අර පුද්ගලයාට පිනක් තිබෙන්න ඕනෑ. කෙතරම් කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසුණත්
බොහෝදෙනාට ඒ මුණ ගැසීමෙන් ප්‍රයෝජනයක් ගැනීමට පිනක් නැහැ. ඒ පිරිස නෙළුම් මල යට
මැඬියෝ ඉන්නවානේ. එසේ මල ළගින් ම හිටියාට නෙළුමේ සුවඳ මැඬියාට දැනෙන්නේ නැහැ.
මැඬියා කරන්නේ ඉඳහිට වතුරින් උඩට ඇවිත් බක බක ගාලා නැවත වතුරට යන එක පමණයි. නමුත්
මේ නෙළුමේ සුවඳ ඈත සිටින බඹරුන්ට, සමනලුන්ට, මී මැස්සන්ට දැනෙනවා. ඒ අය නෙළුම දැක
සතුටුව නෙළුමෙහි පැණි උරා ඒ මලින් ප්‍රයෝජනයක් ගන්නවා. ඒ වාගේ නෙළුමේ අගය නො දන්න
නමුත් ඒ මල යට ම ඉන්න මැඬියෝ වගේ පිරිසක් අප අතරත් සිටිනවා. ඒ ලෙසම කල්‍යාණ
මිත්‍රයන්ගේ ඇසුර ලැබුණත් එහි අගය නො වැටහෙන අය සමාජයේ කෙතරම් ඉන්නවා ද? ඒ පිරිස
එළවළු භාජනයේ තිබෙන හැන්ද වගෙයි. හැන්ද කෙ තරම් වෙලාවක් එළවළු භාජනයේ තිබුණත් ඒ
එළවළුවේ රස හඳුනා ගන්නේ නැහැ. ඒ වාගේ බාල අඥානයෙක් දිවි හිමියෙන් පණ්ඩිතයෙක් ඇසුරු
කළත්, ඒ පුද්ගලයා ධර්මය දැනගන්නේ නැහැ. නමුත් නුවණැත්තා පණ්ඩිතයෙක් ඇසුරු කළයුත්තේ
එක් මොහොතකට යි. ඒ මොහොතේ දී ම ඒ නුවණැති තැනැත්තා ධර්මය වටහා ගන්නවා. ඒක හරියට
එළවළුවක රස දිවකට ක්ෂණිකවම දැනෙනවා වගෙයි.
ඒ වගේම අප තුළ ප්‍රඥාව වැඩි දියුණු වනවිට ,භාවිත මනසකින් යුතුව ධර්මය නිරන්තරයෙන්
ශ්‍රවණය කරන විට, බුද්ධිය මුහුකුරා යන විට බොහෝ මිථ්‍යා දෘෂ්ඨික ආකල්ප අප තුළින්
ගෙවි ගෙවී යනවා. යෝනිසෝමනසිකාරයෙන් යුතුව ධර්මය අසන විට, බලන විට මිථ්‍යා දෘෂ්ඨික
ආකල්ප නැති වී සම්මා දිට්ඨියෙහි පිහිටනවා. එසේ සම්මා දිට්ඨියෙහි පිහිටපු පුද්ගලයෙක්
ඉන්පෙර මිථ්‍යා දෘෂ්ටිකව සිට පසුව සම්මා දිට්ඨිය තුළ පිහිටා කටයුතු කිරීම තුළින්
මතු සුගතිගාමී විය හැකි යි. ඒවාගේ ම සුගතියකට ගියත් මුලින් කියූ අයුරින් කල්‍යාණ
මිත්‍ර ඇසුර නම් වඩාත් පි‍්‍රය කළේ , වඩාත් කැමැති වුණේ, ඒ පුද්ගලයාට ලැබෙන්නේ
කල්‍යාණ මිත්‍ර ඇසුරක්ම යි. කිනම් ස්ථානයකට ගියත් අපි යන්නේ අපේ අදහස්වලට ගැලපෙන
තැන්වලට යි. අදහස් ගැළපෙන තැන ඕනෑම කෙනෙක් එකතුවෙනවා. අදහස් නො ගැළපෙන තැන වෙන්
වෙලා යනවා.
දුක් කතා නොහොත් දුෂ්කතා කියන්නේ අකමැති කතාවලට යි. එක් එක් වර්ගයේ කතාවලට එක් එක්
වර්ගයේ අය අකැමැති යි. සමහරු අකමැතියි දාන කතාවලට. එයට අකමැති වන්නේ ලෝභ මිනිස්සු
යි. ලෝභ මිනිස්සු දානයේ ආනිසංස කියවෙන කතා අසන්න අකමැතියි. ලෝභයාට දානයේ ආනිසංස
දුක් කතාවක්. දුස්සීලයාට සීලයෙහි ආනිසංස දුක් කතාවක්. මෝඩයාට සීලයෙහි ආනිසංස කතාව
දුක් කතාවක්. මෝඩයාට ප්‍රඥාවේ ආනිසංස කතාව දුක් කතාවක්. තමාට ඒවා නො ගැළපෙන නිසා ා
ඒයින් ඈත්ව වාසය කරනවා. නමුත් දන් දීමට කැමැති, සිල් රකින්න කැමැති, භාවනා කරන්න
කැමැති අය ඒ කාරණා ගැන කතා කරන, අසන විට ඔවුනොවුන් බොහෝ සේ පි‍්‍රය වෙනවා. අප යනවා
සිල් සමාදන් වෙන්න, අප යනවා භාවනා කරන්න කියා කෙනෙක් කිව්වොත් එයට පි‍්‍රය පුද්ගලයා
පින සමාදන් වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය වන්නේ.
ඒනිසා සමාන අදහස් තිබෙන අය මනුෂ්‍ය ලෝකයේ දී වගේ ම දිව්‍ය ලෝකයේදීත් එකතු වෙනවා. ඒ
අතර කලාතුරකින් මේ ලෝකයේ සම්‍යක් දෘෂ්ඨික මිනිසෙකු මරණින් පසු දිව්‍ය ලෝකයේ
ඉපදුණොත් එහි සිටින මිථ්‍යා දෘෂ්ඨික දෙවියන්ගේ ඇසුර නිසා නොමඟ යන්නත් පුළුවන්.
නමුත් එසේ වීමට තිබෙන සම්භාවිතාව අඩු යි. ඒ තැනැත්තා අතීත භවයක දී කරන ලද වෙනත්
අකුසල කර්මයක විපාකයක් වශයෙන් එසේ විය හැකියි.
මේ අනුව කෙනෙකුගේ සංසාරික යහ පැවැත්ම පිණිස ද, නිර්වාණාවබෝධය පිණිස ද කල්‍යාණ
මිත්‍ර ඇසුර ඉතා වැදගත් වෙනවා.
- නයනා නිල්මිණී |