වෙසක් අව අටවක 2019.05.26
සමගියම බලය වේ
භව කතරේ අතරමං වූ ලෝ සත වෙත දුකෙන් මිදෙන මඟ, උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝසත් උපත, සම්මා සම්බුද්ධත්වය හා බුද්ධ
පරිනිර්වාණය සිහිපත් කරන පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ඉක්මගොස් සතියක පමණ
කාලයක් ගත වුව ද ගම් දනව් සිසාරා තවමත් වෙසක් සිරියෙන් ඇළලී ගොසිනි.
පාස්කු ඉරිදා යෙදී තිබුණු අප්‍රේල් 21 වනදා රට තුළ පැවැති අවාසනාවන්ත වාතාවරණය
නිසා ඇතැම් පිරිස් විශ්වාස කළේ මෙවර වෙසක් උත්සවය සැමරීමට අවකාශය නොලැබෙනු ඇති බවට
ය. එහෙත්, එය ව්‍යාජයක් බවට පත් කරමින් ලක්දිව බොදු දනෝ නව පිබිදීමකින් හා
උද්‍යෝගයකින් යුතුව ආමිසයෙන් මෙන් ම ප්‍රතිපත්ති පූජාවෙන් ද තම ශාස්තෘන් වහන්සේ
පිදීමට වෙහෙර විහාරස්ථාන වෙත එක් රොක් වූහ. වෙනදා මෙන් ම වෙහෙර විහාරස්ථානයන්හි සීල
භාවනාමය වැඩසටහන් උසස් අයුරින් සංවිධානය කෙරුණි. දස දහස් ගණනින් උවසු උවැසියෝ ඊට
සහභාගි වූහ. වෙනසකට වූයේ නගරයෙන් නගරය ඉදිවුණ වෙසක් තොරණ හා දන්සල් අවම මට්ටමක
පැවතීම ය . එහෙත් ගම් දනව් පුරා පටු මං මාවත් පවා ‘බොදු ධජ පතාකවලින් සැරසී තිබුණි.
බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය නොවුණු බොදු නිවහනක් , ආයතනයක් නො දුටු තරම් ය. වෙසක්
පහන් කූඩුවලින් පමණක් නොව දැල් වූ පහන් වැටි වලින් ද මං මාවත් ආලෝකවත් වුණේ
බුදුරජාණන් වහන්සේට ප්‍රදීපාලෝක පූජා පවත්වමිනි. සුවහසක් බොදු ජනතාව මෙසේ පහන් දැල්
වීමෙන් ප්‍රඥාලෝකය ප්‍රාර්ථනා කළේ සමස්ත ලෝක වාසීන්ම උදෙසා ය. මෙවර වෙසක් පොහෝ දිනය
අන් කවරදාටත් වඩා අප මව් බිමට සුවිශේෂී විය. ඒ බොදු ජනතාව පමණක් නොව ජාති, ආගම්
භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකේයයන්ම පාහේ වෙසක් සැරසිලි ඉදිරිපත් කරමින් උතුම්
වෙසක් දිනය සැමරීමට උත්සුක වීම ය. වෙසෙසින් රට පුරා කතෝලික දේවස්ථානයන් හි ද වෙසක්
සැරසිලිවලින්, ප්‍රදීප පූජාවන්ගෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට ඉදිරිපත්
වීම කැපී පෙනුණි. ජාතික ව්‍යසනයක දී මෙසේ ජාති, ආගම්, භේදයකින් තොරව ලාංකේයයන් ලෙස
‘අප එකට සිටිනවා’ යන පණිවුඩය , සමස්ත ජනතාවගේ එකමුතුකම, අන්තවාදී ත්‍රස්තවාදයට සේ ම
සමස්ත ලෝක වාසින්ට ද අපූර්ව පණිවුඩයක් ලබා දුන්නේ ය. ඒ සම්බුදු දහමින් සුපෝෂිත වූ
සංස්කෘතියකින් බැඳී සිටින මෙරට ජනතාව පටු ජාතිවාදී, ආගම් වාදී අන්තවාදී මති
මතාන්තරවලින් බෙදා වෙන් කළ නොහැකි බව ය. අසමගි කළ නොහැකි බව ය. නිදහස් රටක නිදහසේ
තම තමන්ගේ ආගම් අදහමින් අන්‍ය ආගමිකයන්ට ද ගරු කරමින් ජීවත්වන බව ය.
වෙසෙසින් කිව යුත්තක් තිබේ. ධර්මය ම පිහිට කොට, ධර්මය කෙරෙහිම විශ්වාසය තබා
ධර්මානුකූලව ප්‍රතිපදාවන් හි නියැළුණ බොදු ජනතාව තමන්ට ධර්මයේ සරණ හැර වෙන අන්
සරණක් නොමැති බවත් ධර්මානු දිවි ගෙවන තමන් ධර්මය විසින් ම ආරක්ෂා කරන බවත් තවදුරටත්
පසක් කර ගනිමින් කට කතාවන්ට නොරැවටී ආගමික කටයුතුවල නියැළීම අගය කළ යුතු ම ය. එහිදී
පෙරමුණ ගත් භික්ෂූන් වහන්සේගේ කාර්ය භාරය අමිල මෙහෙවරකි. ආර්ය ශ්‍රාවකයන් වහන්සේ
ලෙස උන්වහන්සේ තම දායකයන් වෙනුවෙන් තමන් වහන්සේගේ යුතුකම නොපැකිළිව ඉටු කළහ.
මිහිඳු මහරහතන් වහන්සේ මේ දේශය සදහම් දීපයක් බවට පරිවර්තනය කළ දා සිට සංහිඳියාවෙන්
ජීවත්වීම මෙරට ජනතාවට අරුමයක් වූයේ නැත. යම් කාල වකවානුවල ඇති වූ සංසිද්ධීන් වේ නම්
ඒ සීමිත පිරිසකගේ බල ලෝභය නිසා ය. සාමාන්‍ය ජනතාවට තෛ‍්‍ර කාලයටම අවැසි සාමය යි.
සංහිඳියාව යි. අවි මුගුරු ගත් දෑතින්, රුධිරයෙන් තෙත් නොවුණ දේශයක මරණ බියෙන් ජීවත්
වීමට ඔවුහු අකැමැති වන්නා හ.
වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. වෛරයට පිළිතුර
අවෛරය යි. මෛත්‍රිය යි. එවිට ප්‍රශ්න දුර දිග නොය යි. සම්බුදු දහමට අනුව අපි එම
ප්‍රතිපත්තියට ම මුල්තැන දී කටයුතු කරමු. |