සන්තානය සකස් කර ගනිමු
කොළොන්නාවේ
සිරි සුමංගල
මහ නා හිමි
තුන් ලොවක් එළිය කළ සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ ස්ථාන
ගොඩ නගන්න නොවෙයි. සන්තාන ගොඩ නගන්නයි. අපි කය නිවාගන්න ඕනෑ. සිත නිවාගන්න ඕනෑ.
කොහොම ද සිත, කය නිවාගන්නේ.
ඒකට අපට හමුවුණ මුනිවරයාණන් වහන්සේ කොච්චර වටිනවාද? මුනිවරයාය කියන්නේ නිහඬ
පුද්ගලයාටනේ. පින්වතුනේ අපට කය නිහඬ කරගන්න පුළුවන්. ඒත් හිත නිහඬ කරගන්න පුළුවන්ද?
කය නිහඬ කර ගන්නවාය කියන්නේ ඔය ඉන්න විදිහටම ඉඳගෙන පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැතුව
ඉන්නවා. එතකොට අපේ කය නිහඬනේ. ඒත් ඒ වෙලාවටවත් අපිට පුළුවන්ද හිත නිහඬ කරගන්න. සිතට
නා නා විධ සිතිවිලි ගලාගෙන එනවා. නා නා විද රූප ගලාගෙන එනවා. නිර්වාණයට යනතුරු අපට
හිත නිහඬ කරගන්න බැහැ
අපි බුදුහාමුදුරුවන් විශ්වාස කරමු. අපේ බුදුහාමුදුරුවෝ විශ්වාස කරනකොට අපිට
වරදින්නේ නැහැ. බුදු මුවින් දෙසූ ධර්මය අසූහාරදාහක්නේ. ඒත් පින්වතුනේ ඒ ධර්මය එක
පුද්ගලයකුට පමණක් දෙසුවා නොවෙයි. තම තම නැණ පමණින් දැන ගත යුතු. මේ ධර්මය වුණත්
වැටහෙන්නේ තම තමාගේ නුවණේ තරමටයි. මේ ලොව්තුරු ධර්මය සිත් නිවීම පිණිසයි. අනිත්‍ය
දුක්ඛ අනාත්ම ඇතිවීම ,පැවතීම, නැතිවීම වටහාගන්න ඕනෑ.
බුදුරජාණන් වහන්සේ සත් සතිය ගත කරලා හත්වෙනි සතියේ සිතුවේ මගේ ධර්මය වටහාගන්න
පුළුවන් අය මේ ලෝකේ ඇද්ද? මම ධර්මය දේශනා කළොත් ඒ ධර්මයෙන් සැනසෙන අය ඇතිද? කියල
යි.
මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් උන්වහන්සේ ලෝකයට දහම් දෙසුවා .මේ රාගය, ද්වේශය බරිත
ලෝකයේ පින් පිරුණ ජීවිත තියෙනවා. මේ සසර ගමනේ අපිට .තව කොච්චර දුර යන්න තියනවාද?
යම්කිසි පුද්ගලයෙක් අපිට බනිනවා. අපි ඒකෙන් හිත රිදවගත්තම හරියනවද? අපිට බනින
පුද්ගලයා වැරැදි නැහැ. ඒත් අපි ඒකෙන් හිත රිදවගත්තා කියන්නේ අපේ වරදනේ.
හදාගත්ත සිතක් තියෙනවනම් කොච්චර හොඳ ද? මේ සිත සමාධි ගතකරගත්තම මොන දෙයක් වුනත්
ඉවසන්න පුළුවන්. එදා මතකද බන්දුල මල්ලිකාව ඉනේ සඟවාගෙන හිටපු පණිවිඩ පත්‍රය. ගිතෙල්
භාජනය බිඳුනම ඇහුවනේ ඔබ එයින් දුකට පත් වුණාද? කලබල වුණාද, කියලා. ස්වාමිනි, මේ
පණිවුඩ පත්‍රය කියවලා බලන්න. මේ ගිතෙල් භාජනය මොකද්ද? යුද්ධයෙන් මගේ දරු තිස්දෙනා
සමඟ ස්වාමියා මරණයට පත්වෙලා. ඒ පණිවුඩය අහලත් කලබල නොවුන මගේ සිත. බලන්න කොච්චර
සමාධිගත සිතක්ද කියලා.
පින්වතුනි. සිත සමාධිගත කරගත්තම ජීවිත නිරෝගි වෙනවා.පින්වතුනේ අපිට තියෙනවා රත්න
තුනක්. බුදුන්, දහම්, සඟුන් . මේ උතුම් රත්න තුන මොන තරම් වටිනවාද? මිල මුදල්
රත්තරං වටිනවා
ඔබට රත්තරං කන්දක් තිබුණත් එයින් පුළුවන් ද සිතේ සැනසීම ලබන්න. බැහැ. කියන්න
පුළුවන්ද පින්වතුනේ මේ මුළු ලෝකෙම තියන රත්තරං එකතු කරල දෙන්නම්. යම් කිසි රෝගයක්
හැදුනොත් ඒකෙන් බේරෙන්න කියලා. ඒත් පුළුවන්ද?
මහා සංඝ රත්නය කොච්චර වටිනවාද? පින්වතුනේ, මහා සංඝ රත්නය නේද අපිට මේ බුද්ධ සාසනයේ
ස්ථිර බව සනාත කරන්න ඉන්නේ. ආර්ය මහා සංඝ රත්නය නොහිටින්න මෙතරමින්වත් බුද්ධ ශාසනය
රැකෙනවාද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගුණ අපට කියලා දෙන්නේ කවුද? පින්වතුනේ
බුදු කෙනෙකුට පුළුවන් මේ ලෝකේ අය සසර දුකින් අත මුදවන්න. බුද්ධ ශාසනයට අපට තියෙන
එකම සාක්ෂිය මහා සංඝ රත්නයයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මය සැනසීම අපට ලබාදෙන්නේ මහා
සංඝරත්නයයි.
පින්වතුනේ ඉස්සර එක හාමුදුරු නමක් හිටියා මේ හාමුදුරුවෝ හැමවෙලේම හැම දෙනාටම කතා
කළේ වසලයා මෙහෙ එන්න. වසලයා ඔය වැඩේ කරන්න. එහෙම කියලයි. ඒත් මේ හාමුදුරුවෝ කාටවත්
ගරහන්න නෙමෙයි එහෙම කතා කළේ. සසර පුරුද්දට. සසර පුරුදු අත හරින්න බැහැනේ. එක දවසක්
උපාසක කෙනෙක් එක හාමුදුරු නමක් දනකට වඩම්මවගෙන යනවා. ඒ යනකොට දිය කඩිත්තක්
හමුවෙනවා.
ඉතින් මේ හාමුදුරුවෝ මොකද කළේ . එක පාරටම මේ දිය කඩිත්තෙන් පැන්නා. ඔන්න තව දිය
කඩිත්තක් හමු වෙනවා.අනේ මේ හාමුදුරුවෝ ඒ පාර මේ දිය කඩිත්තෙන් බැහැලා එගොඩ වෙනවා.
උපාසක ඇත්තට හරි පුදුමයි. උපාසක ඇත්තා අහනවා ඇයි ඔබ වහන්සේ එක දිය කඩිත්තකින්
පැන්නේ. අනිත් දිය කඩිත්තෙන් එගොඩ වුනේ. උපාසක මම මේ දිය කඩිත්තෙනුත් පැන්න නම් මට
දානෙත් අහිමි වෙනවා. උපාසක අහනවා ඒ කොහොමද කියලා?. එතකොට හාමුදුරුවෝ කියනවා ඔබ මම
පළවෙනි දිය කඩිත්තෙන් පැන්නම පිරිකර නොදෙන්න තීරණය කළා නේද? හාමුදුරුවන් වහන්සේට
පිරිකර ඕන වෙලා නෙමෙයි පින්වතුනේ. උන්වහන්සේ උපාසකතුමාගේ යටි හිත දැක්කා.
උන්වහන්සේට තේරුණා මම කළේ වරදක් කියලා. ඒත් ඒක සසර පුරුද්ද. කෙලෙස් ප්‍රහීණ කළත්
සසර පුරුදු අත අරින්න බැහැනේ. ඒ ස්වාමීන් වහන්සේ පෙර එක් ආත්මයක වඳුරු කුලයක ඉපදිලා
හිටිය කෙනෙක් ඒකයි පළමු දියෙන් පැන්නේ. ඒත් උන්වහන්සේ වරද වරද ලෙස තේරුම් ගත්තා. |