සුත්ත
නිපාතයෙන් ...:
නැණවත් සිත
භව සයුරේ නොගිලෙයි
හේමවත සූත්‍රය - 3
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
අපි පසුගිය කලාපවලින් සුත්ත නිපාතයේ හේමවත සූත්‍රයේ පසුබිම් කථාව සහ සම්බුදු ගුණ
ඇසුරු කරගෙන යක්ෂ සෙන්පතිවරුන් අතර කෙරුණු දහම් සාකච්ඡාව ඉගෙන ගත්තෙමු. අද යක්ෂ
සෙන්පතිවරු සහ බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ සාකච්ඡාව ඉගෙන ගනිමු.
බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුන හේමවත සහ සාතාගිරි යක්ෂ සේනාපතිවරුන්, බුදුරජාණන්
වහන්සේගෙන් සදහම් පැන කිහිපයක් මෙසේ විමසුවා.
“කුමක් උපන් කලටද ලොව හටගන්නේ? ලෝකය එකතුවෙලා වාසය කරන්නේ කුමක් තිබුණොත් ද? මේ
ලෝකය පවතින්නේ කුමක් හා එක්වෙලා ද? මේ ලෝක සත්ත්වයා මෙපමණ දුක් විඳින්නේ කුමක් හේතු
කරගෙන ද? “ කියා. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළා.
ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හය උපන් විටයි ලෝකය හටගන්නේ. එක එක්කෙනාගේ
ලෝකය උපන්නේ මව්කුසයේ දී. සමහර සත්ත්වයන්ගේ ලෝකය උපදින්නේ බිත්තරයක් තුළයි. සමහර
සත්ත්වයන්ගේ ලෝකය උපදින්නේ තෙත් පරිසරවලයි. සමහර සත්ත්වයන් උපදින්නේ ඕපපාතිකව යි. ඒ
කොයි ආකාරයට උපන්නත් උපදින්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යි. මේ ලෝකය එකතුවෙලා
වාසය කරන්නේ මේ ආයතන හය තුළයි . මේ ලෝකය පවතින්නේ මේ ආයතන හය උපාදාන කරගෙනයි. ඒ
වගේම මේ ආයතන හය නිසාමයි මේ ලෝක සත්ත්වයා දුක් විඳින්නෙත්.
ඉන්පසු හේමවත බුදුරජාණන් වහන්සේගෙන් නැවත විමසුවා. “මේ ලෝක සත්ත්වයා දුක්
විඳිනවානම් ඒ දුකින් නිදහස් වෙන්න මාර්ගය කුමක් ද?” එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ
වදාළා.
මේ ලෝකයේ මනස හය වැනි කොට පංචකාම ගුණ තිබෙනවා. පංචකාම ගුණ තමයි ඇසට පෙනෙන
පි‍්‍රයමනාප රූප, කනට ඇසෙන පි‍්‍රයමනාප ශබ්ද, නාසයට දැනෙන පි‍්‍රයමනාප සුවඳ, දිවට
දැනෙන පි‍්‍රයමනාප රස, කයට දැනෙන පි‍්‍රයමනාප පහස, මනසට දැනෙන පි‍්‍රයමනාප අරමුණු.
බුදුරජාණන් වහන්සේ වදාළා මේවාට ඇති ඇල්ම අත්හරින්න ඕනෑ. එවිටයි දුකෙන් නිදහස්
වෙන්නේ.
ඉන්පසු බුදුරජාණන් වහන්සේ මේ සෙන්පතිවරුන්ට ධර්මාවබෝධයට පින ඇති බව දැක
මෙය ලොව එතෙර කරවන දහමකි සුවසේ
ඇසු ඇසු දෙයට පිළිතුරු ලැබදුනි සිතුසේ
සිදුවේ දුකින් එතෙරට යාමද මෙලෙසේ
මෙම හැම දහම ඔබහට පවසමි නිසිසේ
මේ සාතාගිරි හේමවත සෙන්පතිවරු දෙදෙනා භෞමික ශරීරයෙන් යක්ෂයන් වුවත්, බුදුරජාණන්
වහන්සේට ආසයානුසය ඤාණයෙන් සහ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණයෙන් මොවුන්ගේ මානසික ශරීරය
පේනවා. මේ යක්ෂ පිරිස කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි ව අවුරුදු දහස් ගණන් සිල් ආරක්ෂා
කළ පිරිසක්. අප බුදුරජාණන් වහන්සේ ඒ බව දැක මේ යක්ෂ සෙන්පතිවරුන්ට ධර්මය කියා
දෙන්නේ.
එවිට හේමවත නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, මේ ඕඝයෙන් එතෙර වන්නේ කවුද? (ඕඝය
යනු සැඩ පහරයි) මේ භව සයුරෙන් එතෙර වන්නේ කවුද? මේ සසරේ පිහිටන්නේ නැතිව, මේ භව
සයුරේ ගිලෙන්නේ නැතිව පීනලා යන්න පුළුවන් කාටදැයි? විමසුවා.
ඒ වගේම ස්වාමිනි, මේ සැඩපහර තරණය කරන්නේ කවුද? ඒ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ මෙසේ
වදාළා.
“හැමතිස්සේම සීල සම්පන්නව සිටින, ප්‍රඥාවන්ත , එකඟ කරගත් සුසමාහිත සිතක් පවත්වන,
අධ්‍යාත්මිකව තමන් තුළ සිහිය පිහිටුවාගෙන සිටින පුද්ගලයා එතෙර වීමට අමාරු මේ
ඕඝයන්ගෙන් එතෙර වෙනවා. ඒ වගේම කාමයන් හඳුනාගෙන, අවබෝධ කරගෙන ඒ කෙරෙහි සිත නො ඇලෙයි
නම් ඔහු සියලු බන්ධන බිඳ හැරලනවා. එලෙසින්ම ආශ්වාදයෙන් ඇලීම, භවය ගෙවාදමා ඔහු මේ
ගැඹුරු මුහුදේ ගිලෙන්නේ නෑ කියා වදාළා. සාතාගිරි, හේමවත ප්‍රධාන දහසක් යක්ෂ පිරිස
මේ ගාම්භීර දේශනාව අසා බෙහෙවින් සතුටට පත්වුණා. ඒ සියලුම යක්ෂ පිරිස උතුම් සෝතාපන්න
ඵලය සාක්ෂාත් කළා.
ඉන්පසු ඒ සියලු දෙනා මෙසේ පැවසුවා. “ස්වාමීනි, යසස් ඇති, සෘද්ධිමත් මේ දහසක් යක්ෂ
පිරිස ඔබ වහන්සේ සරණ යනවා. ඔබ වහන්සේ අපගේ අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ යැයි කියා
නමස්කාර කළා.
නමඳිමින් සම්බුදු රජාණන්
අසිරිමත්දම් රස අමාවන්
පවසමින් ලොව යමු ගමින් ගම
අපි සියලු දෙනම යමු
පර්වතයෙන් පර්වතය වෙත
සාතාගිරි, හේමවත, දෙදෙනා එය තවමත් කරනවා. ආටානාටිය සූත්‍රයේ සඳහන් යක්ෂ
සෙන්පතිවරුන්ට මේ සාතාගිරි, හේමවත දෙදෙනා ද අයත්ව සිටිනවා.
- නයනා නිල්මිණී |