දිරායන ගසක් වැනිය
ශරීරය
අනුරාධපුර ලංකාරාමාධිකාරි
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ
ධම්මජෝති නාහිමි
“නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස,
“අචිරං වතයං කායො
පඨවිං අධි සෙස්සති
ඡුද්ධෝ අපේත විඤ්ඤාණො
නිරත්ථංව කළිංගරං”
“රස ආහාර පාන, සුවඳ විලවුන් ගල්වා පෝෂණය කළ ද මේ ශරීරය වැඩිකල් නොගොස් මරණයට පත්
වන්නේ ය. පසුව දිරා ගිය දඬු කඳක් මෙන් පොළොව මත වැටෙන්නේ ය.“
පින්වතුනි, ඉහත සඳහන් ගාථා ධර්මයේ අදහස එයයි.
සැවැත් නුවර තිස්ස නම් තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ දරුණු රෝගයකින්
පෙළුණා. සිරුර පුරා බිබිළි හට ගත්තා. මේ බිබිළි ටික දිනකින් මුං, කඩල, ඩෙබර,
,නෙල්ලි, බෙලි, තරම් විශාල වුණා. ඇටය, ඇට මිදුළු දක්වා වර්ධනය වුණා. පැසවා සැරව
ගලන්න පටන් ගත්තා. මුළු ශරීරය ම වේයන් කන ලද පඬරල් පතක් මෙන් වුණා. මුලින් ‘තිස්ස’
නම් වූ මේ හිමි නම මේ රෝගයෙන් පසු “පූතිගත්ත තිස්ස” නමින් ප්‍රසිද්ධ වුණා.
උන් වහන්සේගේ මේ රෝගී තත්ත්වය බුදුරජාණන් වහන්සේට දැන ගන්නට ලැබුණා. බුදුරජාණන්
වහන්සේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ බැලීමට එහි වැඩම කළා. බුදු රදුන් ගිනිහල් ගෙට
ගොස් ලිප් බැඳ වතුර උණු කළා. උන්වහන්සේ වැඩ සිටි ඇඳ තව කිහිප නමක් සමඟින් ඔසවා
එළිමහනට ගෙන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ම දෑතින් පිරිසුදු කරමින් නෑවීම
කළා.උන්වහන්සේ පරිහරණය කළ සිවුර,අඳන, ඇඳ ඇතිරිලි, සෝදා වේලා සිවුර පළන්දවා නැවත ඇඳ
මත තැම්පත් කළා. පිරිසුදු කිරීමෙන් පසු තෙරුන් වහන්සේගේ වේදනාව පහව ගොස් කායික
මානසික සුවයක් ඇති වුණා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථා ධර්මය
මාතෘකා කරගෙන උන්වහන්සේට ධර්මය දේශනා කළා. දහම් ශ්‍රවණය කළ තෙරණුවෝ රහත් බවට පත් වී
පිරිනිවන් පෑවා.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ හිමි නම කුරුලු වැද්දෙක්, කුරුල්ලන් මස්
පිණිස විකුණා ජීවත් වුණා. පසු දිනක විකිණීමට කුරුල්ලන්ගේ තටු,පා කඩා ගොඩ කර තිබ්බා.
දවසක් දා මොහුගේ නිවසට රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වැඩියා. සැදැහැ සිතින්
පිණ්ඩපාතය පූජා කළා.
“මම බොහෝ පව්කළෙමි. මෙ බඳු පිනක් නමුදු කරගැනීමට ලැබීම වාසනාවකි. මේ පිනෙන් ඔබ ලත්
දහම ම මටත් මුදුන් පැමිණේවායි, ඔහු ප්‍රාර්ථනා කර ගත්තා”
ප්‍රාණඝාතය කළ නිසා රෝගි තත්ත්වය ඇතිවුණා., පිණ්ඩපාත, පූජාවෙන් ලද කුසලයෙන් රහත්
වීමේ වාසනාවත්, මේ අත් බවයෙහි දී ම ලැබුවා. තමන් කළ අකුසල කර්මවල විපාක හා කුසල
කර්මවල විපාක කොයි මොහොතේ හෝ විඳීමට සිදු වන බවට මේ කථා ප්‍රවෘත්තිය වැදගත් වෙනවා.
එබැවින් පින්වතුනි, අකුසල කර්මවල විපාකය හරියට ගොනා පසුපස එන කරත්ත රෝදය වගේ අප පසු
පස එනවා. පැමිණ විපාක දෙනවා. කුසල කර්මවල විපාකය තමන් පසු පස ඡායාව එනවා වගේ එසේ
පැමිණ විපාක ගෙන දෙනවා. එබැවින් අප ද මද කුදු පමා නොවී කුසල ධර්මයන් සිද්ධ කර
ගැනීමට උනන්දු විය යුතුයි”.
මේ ගාථාවෙන් කියැවෙන තවත් කාරණයක් නම් අපගේ ශරීරය ගැනයි. බුදුරජාණන් වහන්සේ අපේ
ශරීරය දිරා ගිය ගසකට උපමා කොට තිබෙනවා. ක්‍රමයෙන් වර්ධනය වන ගස මුහුකුරා ගිය පසු
දිරාපත් වෙනවා. තවදුරටත් ඒ ගසට රඳා පැවැත්මක් නැති නිසා පොළොවට කඩා වැටෙනවා. අපේ
ශරීරයත් හරියට ඒ හා සමානයි. උපන් දා පටන් දින, සති, මාස, අවුරුදු වශයෙන් ඉක්ම යාමත්
සමගින් මහලු බවට පත් වී, දුර්වල වී, මරණයට පත් වෙනවා.
අපගේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ “සතර මහා භූතයන්ගෙනුත්, පංචස්ඛන්ධයන්ගෙනුත්,
ෂඩින්ද්‍රියන් ගෙනුත්, එකමුතුවක් ලෙසටයි. ඒ එකතුව අපි කඳු වශයෙන් හඳුන්වනවා. ඒ නිසා
මෙහි මම , අපි, කියා පුද්ගලයෙක් ඇත්තේ නෑ. නම් ගම් වශයෙන් ඇත්තේ හඳුනා ගැනීමේ පහසුව
සඳහායි.
අපි අපේ ශරීරවලට ආදරෙයි. ඒනිසා තමයි අපේ ශරීරය හොඳින් තබා ගන්න උත්සාහ ගන්නේ, මේ
සඳහා අපි බොහෝ දේ කරනවා. අධික ලෙස මිල මුදල් වියදම් කරනවා. වටිනා ඇඳුම් පැළඳුම්,
කණකරාභරණ, සුවඳ විළවුන්, භාවිත කරනවා. මේ හැම දේකම අරමුණ ශරීරය හොඳින්, ලස්සනට,
පිරිසුදුවට පවත්වා ගැනීමයි. එහි කිසිදු වරදක් නෑ. අප ලස්සනට පිරිසුදුවට සිටිය
යුතුයි. ඒ සමඟම බුදු දහම අපට අවධාරණය කරන්නේ ජීවිතයේ යථාර්ථය දකිමින් කය පිළිබඳ
අසුභය වැඩිය යුතු බවයි.
ඒ පිළිබඳ කෙටි විස්තරයකි මේ. අපේ ශරීරය ඇතුළත 180 ක සන්ධි ද, 300 කට අධික ඇට ද, 900
කට අධික නහර ද, 900 කට අධික මස් පිඬු ද, තෙත් ගතියකින් ද , සිවියකින් ද, සමකින් ද,
ආවරණය වී ඇත. තැන් තැන්වල සිදුරු ය. ඒ සිදුරුවලින් හිල් වු කළයකින් දිය
වැගිරෙන්නාක් මෙන් කුණප වැගිරෙයි. මේ ශරීරය පණුවන්ට ගෙයකි, රෝගවලට නිදානයකි. නව
දොරකින් අපිරිසුදු දැ වැගිරෙයි. දෙතිස්කුණපයෙන් යුක්තයි. හිඟන්නාගේ ත් මහරජුගේ ත්
ශරීරවල කුණප තත්ත්වය එකක් බව අප මෙයින් වටහා ගත යුතු ය.
එසේ නම් පින්වතුනි, මේ වැදගත් පොහොය දිනයේ ඉහත ගාථා ධර්මයට අනුව අපේ ජීවිත පිළිබඳ
යම් අවබෝධයක් ලබා ගෙන කය, අරමුණක තබාගෙන අසුභ භාවනාවේ යෙදෙමින් මේ සසර කතරින්
එතෙරවීමට අධිෂ්ඨානය කර ගනිමු. සියලු දෙනාට තෙරුවන් පිහිට ලැබේවා. |