[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

පානදුර තොටමුණේ උප ප්‍රධාන සංඝ නායක පදවි ලබන බේගමුවේ නාරද නා හිමි

කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අතිපූජ්‍ය මහානායක සානුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් පානදුරා තොටමුණේ උප ප්‍රධාන සංඝ නායක ධූරයෙන් සම්මානිත මහ වාද්දූව ගංගාරාමාධිපති බේගමුවේ නාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය ආචාර්ය පරපුරෙන් උරුම වූ ශාසනික හා සමාජීය මෙහෙවරෙහි නිරතව සිටින යතිවරයන් වහන්සේ නමකි. ඓතිහාසික රයිගම් රාජධානියට අයත් ‘බේගමුව‘ ගම් පියස නිජබිම්කොට උපත ලත් අතර ප්‍රදේශය තුළ කීර්තිමත් සංඝ පීතෘන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට ව වැඩ සිටි තලගල සුමන නා හිමියන්ගේ ශිෂ්‍යවරයකු ලෙස සසුන් ගත වූහ.

ස්වකීය ආචාර්යන් වහන්සේ වෙතින් මූලික බණ දහම් ශාසනික සම්ප්‍රදායන් හදාළ අතර කළුතර ධර්මවිජය, මොල්ලිගොඩ ප්‍රවචනෝදය, හොරණ විද්‍යාරත්න පිරිවෙන්වලින් භික්ෂු ජීවිතයට අවශ්‍ය ධර්ම ශාස්ත්‍රඥානය ලබාගත්හ.

සිය ගුරුදේව නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු මහ වාද්දුව ගංගාරාම විහාරස්ථානයේ ආධිපත්‍යයට පත් නාරද හිමියෝ විහාරස්ථානය ‘තුන්බෝ පිහිටි’ සිද්ධස්ථානයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් දාගැබ් වහන්සේ නමක් ඉදිකරවීමටත් දාන ශාලාව පුස්තකාලය සහිත දෙමහල් මන්දිරයක් හා වාහල්කඩක් ඉදිකරවා විහාරස්ථානය සකලාංග පරිපූර්ණ පූජනීය ස්ථානයක් බවට පත් කරවූහ. ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මහඟු මෙහෙවරක් සිදු කරන අතර මධුර ස්වරයෙන් පිරිත් දේශනා කිරීම යුගාසන ධර්ම දේශනා හා බෝධි පූජා පැවැත්වීමේ විශේෂ කුසලතාවන්ගෙන් හෙබි මුන් වහන්සේ ප්‍රදේශවාසී මහා සංඝරත්නයේ හා බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ හිමි නමකි.

විහාරස්ථානය භෞතික වශයෙන් සංවර්ධනය කිරීමෙන් පමණක් භික්ෂුවකගේ කාර්යභාරය සම්පූර්ණ නොවන බව අවබෝධ කරගත් නාරද හිමියෝ දායක ප්‍රජාවගේ දාන, බණ, පිරිත් ආදී ආගමික අවශ්‍යතාවන් ඉමහත් කැපවීමකින් හා සැලකිල්ලකින් ඉටු කිරීමෙන් පමණක් නොව ඔවුන් පවින් වැළැක්වීම යහපත් ක්‍රියාවල නිරත කරවීම උදෙසා ඉවහල්වන දෛනික බෝධි පූජා, සීල භාවනා පින්කම්, වන්දනා චාරිකා ආදිය සංවිධානය කරමින් ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ද මහඟු සේවාවක් සිදුකරන අතර මධුරස්වරයෙන් පිරිත් දේශනා කිරීම යුගාසන ධර්ම දේශනා හා බෝධි පුජා ආදිය පැවැත්වීමේ විශේෂ කුසලතාවයකින් හෙබි නාරද හිමිපාණෝ ප්‍රදේශවාසී මහා සංඝරත්නය හා බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර හිමිනමකි.

ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව ආදී විදේශ රටවල සංචාරය යෙදීමෙන් එම රටවල ආගමික හා සංස්කෘතික අංශයන් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඇත. බුද්ධෝප්පත්තිය ඇතුළු බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ සුවිශේෂ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට තුදුස් වරක් දඹදිව වන්දනා කිරීමෙන් ම උන්වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව ප්‍රකට වේ. ආගමික කටයුතුවලට පමණක් තම සේවාව සීමා නොකළ නාරද හිමියෝ ගම්වාසීන්ගේ ශුභ සිද්ධිය උදෙසා විවිධ සමිති සමාගම් පිහිටුවීමට පුරෝගාමී වූ අතර එම සංවිධානයන්ට නිරන්තරයෙන් ම අනුශාසනා ලබාදුන්හ. විහාරස්ථානයකින් දායක ප්‍රජාව උදෙසා සිදුවිය යුතු උසස්ම ප්‍රජා සේවාව ඔවුන්ගේ දූ දරුවන් විවිධ විෂමාචාරයන්ගෙන් වළක්වාගෙන සදාචාර සම්පන්න චරිතවත් දරු පිරිසක් වශයෙන් සමාජගත කිරීමයි. වර්තමානයේ දහම් පාසල මගින් එහිලා ඉටුවනුයේ මිල කළ නොහැකි සේවාවකි. ගංගාරාම විහාරස්ථ ශ්‍රී සුමන දහම් පාසල ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේ ම ප්‍රසාදය දිනාගෙන අර්ථවත් දහම් පාසලක් බවට පත් කිරීමට නාරද හිමියන් දරන පරිශ්‍රමය ප්‍රශංසනීය ය. උන්වහන්සේගේ ලෝක ශාසනික සේවාවේ විශිෂ්ට ප්‍රතිඵලය වශයෙන් මා දකින්නේ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති තමාඩුවේ ඉන්ද්‍රරතන හිමි පානදුර රාජකීය විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති මතුගම මහින්ද හිමි මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී බැල්ලන්තුඩාවේ සරණ හිමි ආදී ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා පිරිසක් ශාසනයට දායාද කිරීම යි. බේගමුවේ නාරද ස්වාමීන් වහන්සේ විසින් ඉටුකරන ලෝක ශාසනික සේවාවන් අගයමින් පානදුරා තොටමුණේ උප ප්‍රධාන සංඝනායක ධූරය උන් වහන්සේ වෙත ප්‍රදානය කිරීම උන්වහන්සේ විසින් ඉටුකරන ශාසනික හා සමාජීය මෙහෙවරට ඉමහත් ශක්තියක් හා ධෛර්යයක් වනු නිසැක ය.

****

මකුලෑවේ විමල නා හිමියෝ අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබති

මෙරට මහාසඟරුවනින් සිදුවුණු සහ සිදුවන සේවය සදානුස්මරණීයයි. මීරිගම, මිණිඔළුවේ විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති මකුලෑවේ විමල අධිකරණ නා හිමිපාණන් වහන්සේට බුරුම රාජ්‍ය මගින් ‘අග්ග මහා පණ්ඩිත” ගෞරව නාම උපාධිය ඉකුත් 20වනදා පිරිනමා ඇත.

උන්වහන්සේ 1948 අගෝස්තු 25 වන දින ගල්ගමුව මකුලෑව ගමේ දී ජන්ම ලාභය ලැබීය. හේරත් මුදියන්සේලාගේ පුංචි රාල මහතා සහ ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ මහත්මිය යන දම්පතීන්ට පිරිමි දරුවන් පස් දෙනෙකුගෙන් ද ගැහැනු දරුවන් පස් දෙනෙකුද විය. දෙවැන්නා එච්.එම්. කිරිබණ්ඩාය. ඒ මකුලෑවේ නායක හාමුදුරුවන්ගේ ගිහි නමය. ඤාණිස්සර විදුහලේ සවන වසර තෙක් ඉගෙනීම ලැබූ කිරිබණ්ඩාර දරුවාට පැවිදි වීමට මග පෑදුණේ තම පාරම්පරික ඥාතිවරයකු වන රාජකීය, පණ්ඩිත නිතලව ඤාණිස්සර නාහිමිපාණන් අපවත්වීම නිමිත්තෙන් පැවති තුන් මාසයේ පින්කම අවසානයේ දී ය.

1960 මාර්තු මස 24 වන දින පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් මිණිඔළුවේ සිරිවර්ධනාරාමයේ දී මකුලෑවේ විමල නමින් සසුන් ගත වූ හ. වේවැල්දෙණියේ නන්දසිරි නාහිමිපාණෝ උපාධ්‍යාය වුහ. කුඹුක්වැවේ විජිතසේන, නුගදෙණියේ ධම්මානන්ද, පිදුමෙ රතන, ලොලුවාගොඩ ඤාණරතන යන මහා ථෙරවරුන් ආචාර්ය වූ හ.

පැවිදි වීමෙන් පසු සිංහල, පාලි, සංස්කෘත භාෂා හා ශතක පොත් ආදිය ආචාර්යවරයන් වහන්සේලා ඇසුරෙන් ඉගෙනීම ලැබූහ. 1967 පෙබරවාරි 01 දින ආරම්භ කළ මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවනෙහි පළමු ශිෂ්‍යයා වශයෙන් ද සැලකෙති. විද්‍යාවාස පිරිවෙනෙහි ඉගෙනීමෙන් පසු අනුරාධපුර ධර්ම පීඨයට ඇතුළත්ව ත්‍රිපිටකවේදි උපාධිය සමත් වූ විමල නාහිමිපාණෝ පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයකු ලෙස ශාස්ත්‍රවේදී උපාධියත්, පසුව ශාස්ත්‍රපති උපාධියත් හිමිකර ගත්හ.

අනතුරුව කලක් මරදානේ ශ්‍රී ලංකා මහා පිරුවනේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ උන් වහන්සේගේ අවධානය යොමු වූයේ ඒ වන විට පිරිහීමට පත්ව පැවති තම භික්ෂු පරපුරට අයත් අලව්වේ රාහුල පිරිවෙනත්, මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනත් පුනරුත්ථාපනය කොට නගා සිටුවීම කෙරෙහිය. එහි ප්‍රතිඵලය වූයේ විද්‍යාවාස පිරිවෙන විද්‍යායතන පිරිවෙනක් සේ දැයට මහා ප¼ඩිවරුන් බිහි කරන මහා විද්‍යායතනයක් බවට පත්වීම ය. අලව්වේ රාහුල පිරුවන ද පුනරුත්ථාපනය විය. පන්සල් බස්වහර, වන පොත් කිරීම, අරුණට පෙර නැගිටීම, බණ පිරිත් පුහුණුව, පිණ්ඩපාත චාරිකාව වැනි භික්ෂු චර්යා රැක ගැනීමට උන් වහන්සේගේ දැඩි සැලකිල්ල යොමු විය. “පොහොය විනය කර්ම” නමැති ග්‍රන්ථය ලියා නවක උපසම්පදාලාභි භික්ෂූන්ට සීමා මාලකයේ දී ම ප්‍රථම පූජාව වශයෙන් පිරි නැමීම දෙවසරකට වරක් උපසම්පදා මාලකයේ දී උන්වහන්සේ විසින් සිදු කරන ධම්ම දානමය මහා පුණ්‍ය කර්මයකි. මකුලෑවේ නාහිමිපාණන්ගේ ඒ ධර්ම දානය නොලද භික්ෂුවක් වර්තමාන භික්ෂූන් අතර නැති තරම් ය.

අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත නිතලව ඤාණිස්සර නාහිමියන් විසින් ලියන ලද ධර්ම ශාස්ත්‍රීය ලිපි ලේඛන සියල්ලත් පුස්තකාලයත් රැක ගැනීම මකුලෑවේ නාහිමියන්ගෙන් සිදු වූ උදාරතම ශාස්ත්‍රීය මෙහෙවරකි. නිතලව පණ්ඩිත හිමියන් විසින් ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ “රාජකීය පණ්ඩිත උපාධිය” සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාකරණ රත්නාකරය කුමාරතුංග මුනිදසුන්ගේ ව්‍යාකරණ විවරණය හා සම තැන තැබිය හැකි ග්‍රන්ථයකි. නිතලව පඬි හිමියන්ට රාජකීය පණ්ඩිත උපාධිය පිරිනැමුණේ ද ඒ අත් පිටපත නිසා ය. එම අත් පිටපත මුද්‍රණය කෙරුණේ නිතලව පඬි හිමියන්ගේ අපවත් වීමෙන් අඩ සියවසකට පසුව ය. මකුලෑවේ හාමුදුරුවන් එම අත්පිටපත් සුරක්ෂිතව තබාගත් නිසා දැනට වසර කිහිපයකට පෙර ගොඩගේ ආයතනය මගින් මුද්‍රණය කොට ඇත. ඤාණේස්වර නමින් මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ පුස්තකාල ගොඩනැගිල්ලක් ද ඉදි කළහ.

විද්‍යවාස පිරිවෙනත් සමඟ මකුලෑවේ නායක හාමුදුරුවෝ විද්‍යාවාස ශාස්ත්‍රීය සඟරාව ද ආරම්භ කළහ. විහාර පන්සල් ගොඩනැගීම, ශිෂ්‍යයන් පැවිදි කිරීම, ධර්ම දේශනා පැවැත්වීම, පොහොය විනය කර්ම පැවැත්වීම, විදේශ සංචාර හා ධර්ම දූත සේවා ආදි වශයෙන් මකුලෑවේ නාහිමි චරිතය නන් අයුරින් විවරණය කළ හැකි ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් තම දිවිය ම කැප කළ උන්වහන්සේ මෙහි පරිපාලන ව්‍යුහයට මුලින් ම සම්බන්ධ වූයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පැරැණිතම සභාවක් වන පරියත්ති පාලක සභාව ට යි. පසුව එහි නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරය ද දැරූ උන්වහන්සේ අනතුරුව සඤ්ඤා ලේඛකාධිකාරි ධූරයට පත් වූ හ. උන්වහන්සේ ධර්ම විනයානුකූල භික්ෂුවක් වශයෙන් තම ජීවිතය ඔපවත් කරගනිමින් නිකායික අනෙකුත් භික්ෂූන් වහන්සේලා ද ධර්ම විනයානුකූල භික්ෂු පිරිසක් වශයෙන් ගොඩනැංවීමට මහත් උත්සාහයක් දරමින් සිටිති.

****

හිපන්කන්දේ සද්ධාසිරි නා හිමි

කොට්ටාව, පැලැන්වත්ත විද්‍යා සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති හිපන්කන්ද විහාර පාර්ශ්වයේ නිර්මාතෘ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ධුරන්දර ජනහිතකාමී විශ්ව කීර්ති ශ්‍රී ශාසනසෝභන ධම්මදස්සී හිපන්කන්දේ සද්ධාසිරි නාහිමිපාණෝ මාර්තු මස 16 වන දින 63 වන වියට පා තැබූහ.

උන්වහන්සේ 1957 මාර්තු මස 16 වන දින අයි.ඩී. සිරිනේරිස් මහෝපාසකතුමාගේ හා හියාරේ හේවාමැසිලින් මහෝපාසිකාවගේ පුත්‍ර රත්නය ලෙස හිපන්කන්ද ග්‍රාමයේ දී ජන්ම ලාභය ලැබූහ. උප්පත්තියෙන් වසර 03 ක් සම්පූර්ණ වූ තැන මේ පින්වත් කුමරුවන් ශාසනයට පූජා කරන ලදී. අපවත්වී වදාළ හිපන්කන්ද ශ්‍රී පාද මහා විහාරාධිපතිව වැඩවිසූ මාදම්පේ සද්ධාසෝම නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1969 නොවැම්බර් මස 24 වන දින පැවිදි විය. හිපන්කන්ද ශ්‍රී පාද මහා විහාරස්ථානයෙන් ආරම්භ කළ ශාසනික සේවාව මෙරට විවිධ ප්‍රදේශවලට වැඩමකරමින් ව්‍යාප්ත කළ අතර පිරිවෙන් ආයතන 08 ක්, විහාරස්ථාන 35 ක් හා 500 කට අධික ශිෂ්‍ය හිමිවරු පිරිසක් සඟපරපුරට දායාදකිරීම නාහිමියන් විසින් සිදු කළ ප්‍රධාන ශාසනික සේවාවන් ලෙස සිහිපත් කළ හැකි ය. එමෙන්ම සිය ශිෂ්‍ය හිමිවරු ශාසනික කාර්යන් තුළ මෙන්ම ජාතික වගකීම් තුළ ද මනාව හුරුකළ නාහිමියෝ තමන් වහන්සේ විසින් ආරම්භ කළ ආයතන ඔවුන්ට භාරදෙමින් ඒවායේ දියුණුව දැක බලා ගනිමින් නිහතමානීව වැඩ වසති. රට , දැය සමයේ හා බෞද්ධ අධ්‍යාපනයේ රක්ෂණය, පෝෂණය හා අභිවර්ධනය වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන නාහිමිපාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශතවර්ෂාධික කාලයක් ආයුරාරෝග්‍යාදී සකලාභිවෘද්ධි සිද්ධිය සැලසේවා.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]