UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් - 24 : නිර්වාණය සාක්ෂාත් කිරීම

තෙවළා බුදු වදන් අතරින් - 24

නිර්වාණය සාක්ෂාත් කිරීම

ධර්මයේ අරමුණ කඩිනම් විමුක්තිය සාක්ෂාත් කිරීම ය. එහෙත් ඒ සඳහා ධර්මය හැදෑරීම අත්‍යවශ්‍ය වේ. ධර්මය හැදෑරීමකින් තොරව විමුක්තිය සාක්ෂාත් කළ නොහැකි ය. ධර්මය හැදෑරීමෙන් අනතුරුව එය අධ්‍යාත්මික වශයෙන් ප්‍රගුණ කොට විමුක්තිය සාක්ෂාත් කිරීමෙහිලා උත්සුක විය යුතුය යන්න බුදුරදුන්ගේ ඉගැන්වීම වූ බව ධම්මවිහාරී සූත්‍රයෙන් පැහැදිලි වේ. සූත්‍රයේ දැක්වෙන පරිදි මුල් කරුණු හතර අනුගමනය නොකළ යුතු අනවශ්‍ය දෙයකැයි යන්න බුදුරදුන් කිසිසේත් ම අදහස් කර නොමැත.

තථාගත බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් බුදුරදුන් වෙත පැමිණ නමස්කාර කොට එකත් පසෙක හිඳ කවර නම් භික්ෂුවක් “ධම්මවිහාරී” යනුවෙන් හැඳීන්විය හැකිදැයි විමසූහ. උන්වහන්සේ ඇසූ පැනයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ධම්මවිහාරී සූත්‍රය දේශනා කළහ.

අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ එන මෙම සූත්‍රයෙහි ධර්මය හැදෑරීමේ පියවර පහක් පැහැදිලි කෙරේ. එම සූත්‍රය අනුව බුදුරදුන් වදාළ නවංග සහිත ධර්මය හදාරන පළමු තැනැත්තා එම ධර්මය හදාරමින් දවස ගත කරනු මිස අධ්‍යාත්මික විමුක්තිය පිණිස හේතුවන සිත එකඟ කිරීමේ, සමාධිය වැඩීමේ කටයුතුවලින් බැහැරව සිටියි. අධ්‍යාත්මික විමුක්තිය පිණිස වෑයම් නොකර විෂයඥානය සඳහා පමණක් ධර්මය හදාරමින් එසේ කටයුතු කරන්නා පරියත්ති බහුල (පරියත්තිබහුලො න ධම්මවිහාරී) අයෙකු වශයෙන් හැඳීන්වේ.

දෙවන තැනැත්තා තමා හදාළ ධර්මය දිවා රැ දෙකෙහි අන්‍යයන්ට විස්තර විභාග වශයෙන් (විත්ථාරෙන ධම්මං දෙසෙතෙි) දේශනා කරමින් කාලය ගතකරනු මිස අධ්‍යාත්මික විමුක්තිය පිණිස ඉවහල් වන චිත්ත සමාධිය සඳහා භාවනාවෙහි නිරත නොවේ. එම තැනැත්තා බහුලවශයෙන් ධර්මය ඉගැන්වීමෙහි පමණක් නියුක්ත ගුරුවරයෙකු සේ සැලකිය හැකිය. (සඤ්ඤත්තිබහුලො න ධම්මවිහාරී).

තෙවන තැනැත්තා තමා හදාළ ධර්මය නිතර නිතර විස්තර වශයෙන් සජ්ඣායනා කරමින් කාලය ගතකරන මුත් චිත්තසමාධිය වැඩීමෙහිලා උත්සුක නොවේ. එම තැනැත්තා සජ්ඣායනාවෙහි බහුලව නියුක්ත කෙනෙකු වේ (සජ්ඣායබහුලො න ධම්මවිහාරී).

සිව්වන තැනැත්තා තමන් හැදෑරූ ධර්මය ගැන නිතර සිතමින් කල්පනා කරමින් විතර්ක ඇතිකරගනිමින් කාලය ගතකරනු විනා අධ්‍යාත්මික විමුක්තිය උදෙසා සහායවන චිත්ත සමාධිය වර්ධනය කෙරෙන භාවනාවට සිත් යොමු නොකරයි. එම තැනැත්තා ධර්මය පිළිබඳ විතර්ක බහුල, කල්පනා බහුල තැනැත්තෙකි (විතක්කබහුලො න ධම්මවිහාරී). පස්වන තැනැත්තා ධර්මය මැනවින් හදාරා ඉන් අනතුරුව විවේක පරිසරයක වෙසෙමින් පූර්ණකාලීනව චිත්ත සමාධිය වැඩීම පිණිස සමථ භාවනාවෙහි නිරතවෙයි. බුදුරදුන් එම තැනැත්තා ධම්මවිහාරී නමින් (ධම්මවිහාරී) හඳුන්වනු ලැබේ. ධම්මවිහාරී සූත්‍රය අවසානයේ දී තථාගතයන් වහන්සේ විවේක සෙනසුනක වෙසෙමින් චිත්ත සමාධිය පිණිස හේතුවන සමථ භාවනාවෙහි (ධ්‍යාන භාවනාවෙහි) නියුක්ත වන මෙන් භික්ෂූන්ට අවධාරණය කරති. එසේ නොකර පසුවට පසුතැවිලි නොවන මෙන් තථාගතයන් වහන්සේ අනුශාසනා කරති.

ධම්මවිහාරී සූත්‍රයේ එන මුල් කරුණු හතරින්ම ධර්මය හැදෑරීමේ අවසන් අරමුණ සාක්ෂාත් නොවේ. එමගින් සිදුවන්නේ බුදුරදුන් වදාළ නවංග සහිත ධර්ම කොටස් ඉගෙනීමත්, ඉගැන්වීමත්, සජ්ඣායනය කිරීමත්, ඒ ගැන කල්පනා කිරීමත් පමණි. කුඩා අවදියේ සිටම ධර්මය ඉගෙනීමත්, ඉගැන්වීමත් සිදු වේ. එයින් හුදෙක් අපේක්ෂා කෙරෙන්නේ ධර්මය හා සම්බන්ධ විෂයඥානය වර්ධනය කිරීම පමණි. මේ කාර්යය සඳහා පාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාල දක්වා ආයතන, විෂයමාලා, පරීක්ෂණ ක්‍රම මෙන්ම එයට අදාළ පොතපත ද විශාල වශයෙන් සම්පාදනය වී තිබේ.

තථාගත දේශිත නවංග ධර්මය හදාළ බහුශ්‍රැතයන්, උගතුන්, විද්වතුන් විශාල ප්‍රමාණයක් මෙන්ම ධර්මය අසන කියවන සාමාන්‍ය අවබෝධයක් සහිත ශ්‍රාවක පිරිසක් ද දක්නට ලැබේ. එසේ වුවත් බොහෝ දෙනෙක් ධම්මවිහාරී යන ගණයට අයත් නොවන බව සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. එසේ ඇතුළත් නොවන්නේ ධර්මය හැදෑරීමේ අරමුණු ලෞකික අභිමතාර්ථ සාධනය කිරීම ඉලක්කකොට ඇති නිසයි.

සූත්‍ර දේශනාවට අනුව ධර්මය ඉගෙන විමුක්තිය උදෙසා සමථ - විපස්සනා භාවනා දෙකෙහි නියුක්තව සිටින, එය ප්‍රගුණ කරන ගිහි හෝ පැවිදි තැනැත්තා ධර්මය හා එක්ව වාසය (ධම්මවිහාරී) කරන්නෙකු ලෙස පිළිගෙන තිබේ. ඒ අනුව ධර්මය හැදෑරීමේ අවසන් අරමුණ මෙන්ම ඉලක්කය විය යුත්තේ ද නිර්වාණය සාක්ෂාත් කිරීම ය. බුදුරදුන් මෙය කොතෙක්දුරට දැඩිලෙස අවධාරණය කර ඇත්තේ ද යන්න සූත්‍රයෙහි එන “මහණෙනි ශ්‍රාවකයන්ට හිතවත්, අනුකම්පා කරන යම් ශාස්තෘවරයෙකු විසින් තම ශ්‍රාවකයන්ගේ යහපත උදෙසා කළ යුතු යමක් වී ද, මම ද එය ඔබට සිදුකර තිබේ. ඒ හෙයින් මහණෙනි ගස් මුල් ශූන්‍යාගාර තිබේ. ඒ තැන්වලට ගොස් ධ්‍යාන වඩන්න. පමා නොවන්න. පමා වී පසුවට දුක් නොවන්න. මෙයයි ඔබලාට මගේ අනුශාසනාව” යන පාඨයෙන් පැහැදිලි වේ. තථාගත ධර්මය හැදෑරීමෙන් බුදුරදුන් තම ශ්‍රාවකයන්ගෙන් අපේක්ෂා කළේ එයයි.

ධර්මයේ අරමුණ කඩිනම් විමුක්තිය සාක්ෂාත් කිරීම ය. එහෙත් ඒ සඳහා ධර්මය හැදෑරීම අත්‍යවශ්‍ය වේ. ධර්මය හැදෑරීමකින් තොරව විමුක්තිය සාක්ෂාත් කළ නොහැකි ය. ධර්මය හැදෑරීමෙන් අනුතුරුව එය අධ්‍යාත්මික වශයෙන් ප්‍රගුණ කොට විමුක්තිය සාක්ෂාත් කිරීමෙහිලා උත්සුක විය යුතුය යන්න බුදුරදුන්ගේ ඉගැන්වීම වූ බව ධම්මවිහාරී සූත්‍රයෙන් පැහැදිලි වේ. සූත්‍රයේ දැක්වෙන පරිදි මුල් කරුණු හතර අනුගමනය නොකළ යුතු අනවශ්‍ය දෙයකැයි යන්න බුදුරදුන් කිසිසේත් ම අදහස් කර නොමැත. උන්වහන්සේගේ අපේක්ෂාව වූයේ එම අවස්ථා හතරෙන් ඔබ්බට ගොස් සමථ විපස්සනා භාවනා ප්‍රගුණ කිරීමයි. අවසන් ඉලක්කයට ළඟා නොවී මුල් පියවර හතරට පමණක් සීමා වනු දැකීම බුදුරදුන්ගේ අපේක්ෂාව නොවේ. මෙම මුල් කරුණු හතරට පමණක් සීමාවෙමින් ධර්මය හැදෑරීම හේතුවෙන් ධර්ම විනයධර ප්‍රාඥයන් මෙන්ම විචිත්‍ර ධර්ම කථිකයන් සිටියත් අධ්‍යාත්මික දියුණුව සාක්ෂාත්කොට ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් පමණි. ධර්ම විනය ධරයන් ඇතැම් දෙනෙකු බුදුරදුන් අපේක්ෂා කළ අරමුණෙන් සාකල්‍යයෙන්ම වාගේ බැහැර වී සිටිනු දක්නට ලැබේ. මෙනිසා ධර්මය බොහෝකොට හදාරන දේශනා කරන, ඒ ගැන සාකච්ඡා කරන විශාල ගිහි පැවිදි පරිසක් සිටියත් ඒ සියල්ලෝම එක් අතකින් බුදුරදුන් වදාළ පරිදි අනුන්ගේ ගවයන් ගණින (ගොපොවගාවො ගණයං පරෙසං) ගොපල්ලෙකුගේ ස්වභාවයට පත්ව තිබේ. ඒ කිසිවෙකුත් ධර්මය හැදෑරීමේ අවසන් අරමුණ වන නිවන සාක්ෂාත් කිරීමෙහිලා උත්සුක වන බවක් නොපෙනේ.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk