UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සත්පුරුෂයන්ගේ දාන කතා

සත්පුරුෂයන්ගේ දාන කතා

දක්ඛිණ විභංග සූත්‍ර අටුවාවේ කාසාවකණ්ඨ සංඝයාට වුව ද බුද්ධශ්‍රාවකයකු සේ සලකා දන් දීම ගැන හා සාමණේර නමකට දන් දීම ගැන පැහැදිලි කරන තැනක් වේ. කාසාවකණ්ඨකයන්ට වුව ද සැරියුත් පරපුරෙන් එන භික්ෂු සංඝයා උදෙසා දෙන දක්ෂිණාවක් ලෙසින් සලකා දානය දුනහොත් ගුණ සංඛ්‍යාවෙන් අසංඛ්‍යෙය වන බව එහි දක්වා ඇත.

භික්ෂු සංඝගත දක්ෂිණාවක් වූ එය ද අතීත – වර්තමාන – අනාගත අරහත් සංඝයා කෙරෙහි ගෞරව පිණිස ම දෙන්නක් මිස එවන් පුද්ගලයකු උදෙසා දෙන දක්ෂිණාවක් ලෙසින් සලකා දානය දුනහොත් ගුණ සංඛ්‍යාවෙන් අසංඛ්‍යෙය වන බව එහි දක්වා ඇත. භික්ෂු සංඝගත දක්ෂිණාවක් වූ එය ද අතීත – වර්තමාන , අනාගත අරහත් සංඝයා කෙරෙහි ගෞරව පිණිස ම දෙන්නක් මිස එවන් පුද්ගලයකු උදෙසා දෙන්නක් නො වන හෙයිනි.

කාසාවකණ්ඨක කෙනෙක් හට දෙන දානය කවරෙක් පිරිසුදු කෙරේ ද? සැරියුත් මුගලන් ආදී අසූ මහා ශ්‍රාවක තෙරහු කෙරෙහි ම පිරිසුදු කෙරෙති. මේ වන විට ඒ අරහත් උත්තමයෝ පිරිනිවී බොහෝ කල් යයි සිතට නැඟෙන්නට පුළුවන. එසේ වූ විට පිරිසුදු වන්නේ කෙසේ ද? ඒ සැරියුත් – මුගලන් දෙනම වහන්සේගෙන් ආරම්භ ව, අද දක්වා වැඩ සිටින රහත්හු ම මේ දානය පිරිසුදු කෙරෙති. (මජ්ක්‍ධිම නිකාය පාලි අටුවා 4 දක්ඛිණා විභංග සූත්‍රය – පිටුව 202-203)

එනම්, අප දෙන සාංඝික දානයක දී මේ වැඩ ඉන්නේ ද රහත්හු ම යයි සිත සකස් කර ගත යුතු බව මෙයින් කියැවේ. එසේ සකස් කොට පිහිටුවා ගත් සිතින් අපගේ දානය දුන්නේ නම්, බුද්ධ ප්‍රමුඛ සැරියුත් මුගලන් මහසඟපරපුරට දුන් දානයක් ම වන්නේ ය. තව ද යමෙක් තම නිවසෙහි – තම විහාරයෙහි හෝ සංඝගත දක්ෂිණාවක් කරගෙන, පන්සලට ගොස්, (විහාරාධිපති හිමි හමුව) “ස්වාමීනි , සංඝයා උදෙසා දානයක් දීමට එක් තෙරුන් කෙනෙක් දෙන්න යැ යි” ආරාධනා කළ විට, ඔබේ දානයට වැඩියේ එක් කුඩා සාමණේර නමකි. මෙහි දී ඒ හිමි දැක අපේ සිත අන්‍ය බවකට පමුණුවා ගතහොත් දානය සංඝගත වූවෙක් නො වෙයි. එ පමණක් නොව ඔබට පි‍්‍රය මහා තෙර නමක් ඒ දානයට වැඩියා යි ඔබ සතුටු වුවහොත් එම දක්ෂිණාව ද සංඝගත නො වෙයි. යමෙක් කුඩා සාමණේර නමක් හෝ උපසම්පන්න නමක් හෝ තරුණ භික්ෂුවක් (සාමණේර) හෝ පණ්ඩිත භික්ෂුවක් හෝ වෙනත් කිසියම් තෙරුන් වහන්සේ නමක් ( මැනවින් දන්නා සුපේසල ශික්ෂාකාමී භික්ෂුවක් හෝ හොඳින් දන්නා දුශ්ශීල භික්ෂුවක් හෝ ) ලැබ සිත පසුතැවිලි කොට ගෙන සතුටක් ඇති නො කරගෙන, මේ දානය මා දෙන්නේ බුද්ධ ශ්‍රාවකයකු වූ භික්ෂූන් වහන්සේ නමකට ම යැයි, සිත සකස් කරගෙන සංඝ ගෞරවයෙන් යුතු ව දෙන්නේ ද, ඔහුගේ දක්ෂිණාව සංඝගත වූවක් ම වෙයි.

මෙහිදී කෙරෙන්නේ බුද්ධෝත්මයන් , රහතුන් වහන්සේලා මාර්ගඵලලාභීන් හා දුශ්ශීලයන්, කාසාවකණ්ඨකයන් සමාන කිරීමක් නොව “උදෙසා” දන් දීමකි. එනම් දුශ්ශීලයා වුව ද බුද්ධ මගට පිළිපන්නකු සේ සලකා දානය දුනහොත් විශේෂ ආනිසංස ඇති බව දැක්වීමේ දේශනාවකි. මෙ පමණක් නොව, දිනක් එක් දායකයෙක් සාංඝික දානයකට එක් නමක් දෙන්න ය යි ගමේ විහාරයට ගොස් ආරාධනා කළේ ඔහුට ලැබුණේ ඔහු හොඳින් දන්නා එක් දුශ්ශීල භික්ෂුවකි. එනමුත් ඔහු සිත විපිළිසර (පසුතැවිලි) කර නො ගෙන දන් දෙන ස්ථානය මැනවින් පිරිසුදු කොට ආසනයක් පනවා ඇතිරිලි අතුරා උඩුවියන් බැඳ, පාවඩ එළා, සුවඳ මල් පුදා, පා සෝදා, තෙල් ගා අරහත් බුද්ධ ශ්‍රාවකයකුට සැලැකුම් කරන්නා සේ සලකා, සංඝයා කෙරෙහි සිත පිහිටුවා ගෙන ආදරයෙන් තම දාන වස්තූන් පූජා කොට දන් වැළැඳුවේ ය. මේ භික්ෂුව ම බතින් පසුව සවස් කාලයේ ම පන්සලේ වැඩකට උදැල්ලක් දෙන්න යයි ඉල්ලාගෙන දහවල් දන් දුන් ගෙදරට ම පැමිණියේ ය. උපාසක තෙමේ ද එවේලෙහි නිවසේ සිටියේ ය. ඔහු මෙවිට උදැල්ල පයින් තල්ලු කොට දමා “ගනුවයි” දුන්නේ ය. මෙය දුටු අවට මිනිස්සු මෙසේ කීහ. ඔබ විසින් උදේ මොහුට කරන ලද සත්කාර විස්තර කරන්නට නො හැකි තරම් ය. ඒ අනුව ඔබගේ දැන් හැසිරීම පමණක් සුදුසු නොවේ. මේ වෙනස කුමක් ද? උපාසක තෙමේ දුන් පිළිතුර මෙසේ ය. “පින්වතුනි, ඒ උදේ කළ සියලු සත්කාර බුද්ධ ශ්‍රාවක සංඝයාට ය. මොහුට නොවේ ය”යි යනුවෙනි.

ඉහත දැක්වූ අටුවා විස්තර සියල්ල ම (මජ්ක්‍ධිම නිකාය 4 – දක්ඛිණ විභංග සූත්‍ර පාලි අටුවාවේ– හේවාවිතාරණ මුද්‍රණයේ පිටුව 202-203 දක්වා ඇත)

ආනන්ද මෙවැනි දක්ෂිණාවක් (සාංඝික දානයක්) සතර ආකාරයකින් විසුද්ධ වෙති.”

1.දායකයා හේතු කොට ගෙන පිරිසුදු වන දානයක් ඇත. (මෙතෙක් දිගට මෙතෙක් වේලා විස්තර කළේ මෙ කරුණ බව අවධාරණය කරමි)

2.ප්‍රතිග්‍රාහකයා ( දානය පිළිගන්නාහු) හේතු කොට ගෙන පිරිසුදු වන දානයක් ඇත. (වච්ඡගොත්ත සූත්‍ර විස්තරයෙන් බුදුරජාණන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට දේශනා කළේ මේ කරුණ ය)

3.දායකයා හා ප්‍රතිග්‍රාහකයා හේතු කොට ගෙන පිරිසුදු වන දානයක් ඇත. (විමාන වත්ථු කථාවල වැඩියෙන් ම ඇත්තේ මෙ කරුණට ගැලපෙන තැන් ය)

4.දායකයා හා ප්‍රතිග්‍රාහකයා හේතු කොට පිරිසුදු නො වන දානයක් ඇත. (අතීත කථා බොහෝවක් මෙයට සාධක වශයෙන් ඇතත්– වර්තමානයේ කෙරෙන බොහෝ දන්දීම් අපිරිසුදු වන්නේ ය) මේ විස්තර සටහන් කළේ ම මේ තත්වයෙන් මිදී මේ විශුද්ධීන් හි අංක 01 බවට පත්වීමට නිතර දන්දෙන ඔබට උපකාර වශයෙනි.

“යො සීලවා දුස්සීලේසු දදාති දානං
ධම්මේන ලද්ධා සුපසන්න චිත්තෝ,
අභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා දායකතො විසුජ්ඣති”

“සිල්වත් වූ යමෙක් දැහැමින් ලද දෙය පැහැදුණු සිත් ඇත්තෙකු ව, කම්පල අදහමින්, දුශ්ශීලයන් විෂයයෙහි වුව ද දන් දේ ද, ඒ දානය නිසා දායකයා පිරිසුදු වේ”)

(ම.නි.3- පිටුව 526)

ප්‍රතිග්‍රාහකයාගේ (දානය ලබන්නා) පසින් ගත කළ ද දීඝ නිකායේ එන බොහෝ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අවවාද කර ඇති අයුරු ඉතා අගෙයි. “මහණෙනි, දුප්පත් – ධනවත් ශ්‍රාවකයා ශ්‍රද්ධාවෙන් දෙන දානය වළඳා ඔබලා දෙතිස් තිරිසන් කථාවලින් වළකින්න. ආචාර ගෝචර සම්පන්න වන්න. චූල සීල– මජ්ක්‍ධිම සීල – මහා සීලය රැක දන් දෙන දායකයාට වැඩි පිනක් ලබා දෙන්න. ප්‍රාතිමෝක්ෂ සීලය – ඉන්ද්‍රිය සංවර සීලය – ප්‍රත්‍යයසන්නිශි‍්‍රත සීලය හා ආජිවපාරිශුද්ධි වැනි සතර විශුද්ධි සීලයෙහි යෙදී දන්දෙන දායකයාට වැඩි පින් ලබා දෙන්න යයි බොහෝ තැන්හි දේශනා කොට ඇත.

මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම පණ්ණාසකයෙහි එන අංගුලිමාල සූත්‍රයේ දී අරහත් භාවයට පත් අංගුලිමාල මහරහතන් වහන්සේ පී‍්‍රති වාක්‍යයක් ලෙසින් තමා ලැබූ පිණ්ඩපාතය දානය වළඳා වදාරන්නේ “ස්වාමීනි, මා දැන් “සාමීචි” දානය වැළඳූ බව ය.” සූත්‍ර අටුවාවේ මේ සාමීචි දානය ගැන දක්වන විස්තරවල දාන හතරක් පැහැදිලි කෙරෙති.

1.නුසුදුස්සෙකුව සිට සුදුස්සෙකු සේ පෙනී සිට ශ්‍රද්ධාවෙන් දායකයා දෙන දන් වැළදීම ථෙය්‍යපරිභෝජන නමි. ථෙය්‍ය යනු සොරකම ය. අහිමි දේ සොරකම් කොට වැළඳීම යි.

2. ඉණ පරිභෝජනය :– ඉණ නම් ණය යි. ඒ අනුව ණයට වැළඳීම මෙයින් කියැවේ. අනාගතයේ තමා යහපත් අයෙකු වන බව සිතා වැළඳීමයි.

3.දායජ්ජ පරිභෝජනය :– දායජ්ජ යනු දෑවැද්ද යි. තමාට ද එම දානය වැළඳීමට අයිතිය ඇති බව පෙන්වමින් වළඳන දානය යි. හිමිකමක් පෙන්නුම් කරෙමින් දන් වැළඳීම යි.

4.සාමීචි පරිභෝජනය – හැම අතින්ම සුදුස්සෙකු බවට පත් ව දන් වැළඳීම යි. සොර සිතින් වත්, ණයකරුවකු වී වත්, හිමිකරුවකු බව පෙන්වමින් වත් නොව පරිපූර්ණ සුදුස්සකු වී සිදු කරන වැළඳීම යි. අරහත්වයට පත් අංගුලිමාල තෙරුන් වහන්සේ වදාළේ, තමා සාමිචී පරිභෝජනය වළඳන වග යි. ගුණයෙන් ඉහළට ම ගියවිට මේ හිමිකම ලැබේ.

දාන නම් දීම යි. දන් දීම බුද්ධෝත්පත්තියට පෙර ද ලොව තිබූ යහපත් ගුණ ධර්මයකි. චාග නම් අත් හැරීම යි. මෙය බුද්ධෝත්තමයකු ලොව පහළ වූවාට පසු හඳුන්වා දෙන දානයට අදාළ නව අට්ථකථනය යි. මේ අනුව යමෙකු තණ්හාව ක්ෂය කිරීමේ අදහසින් යමක් දන් දෙයි නම් ( තමා සතු වස්තුවක් අත්හරී නම්) නිවනින් මෙහා ඔහුට ප්‍රාර්ථනා නොකරම ලැබෙන ප්‍රතිලාභය ධර්මයේ මෙසේ ද දක්වා ඇත.

දානය නම් දිව්‍ය ලෝක සැප ලැබීමට නිදානයකි, සම්පත් ලැබීමට මුලයි, භෝග ලැබීමට ආධාරයකි, විරුද්ධකරුවන් නැති කරවන්නකි, ආරක්ෂාව සලසන්නකි, පරලොව ගමනට පිහිටකි,

මෙලොව පරලොව දෙකට ම දානය සමාන අස්වැසිල්ලක්, පිහිටක් තවත් නැත. අරමුණක් ඇති දෙයකි. දානය ලෙනක් මෙනි. සිත නවත්වාලිය හැකි පහසු තැනකි.

දන් දීම හොඳ ගතියකි. අනාගත බලාපොරොත්තු තබා ගත හැකි දෙයකි. අනුන් දිනා ගත හැකි දානය වැනි දෙයක් තවත් නැත, දානය බල අර්ථයෙන් ගත් කළ ඇතෙකි, භය නැති අර්ථයෙන් ගත් කළ සිංහයෙක් වැනි ය, මංගල සම්මත අර්ථයෙන් ගත් කළ ‘සුදු ගොනෙක්’ වැනි ය.

බුද්ධ වචනයෙන් ගන්නේ නම් “මහණෙනි, මේ දානය නම් තමන් වහන්සේ සසර ආ මාර්ගය එය බවයි”

දානයක් උතුම් වන අයුරු දක්ඛින විභංග සූත්‍ර අටුවාව අවසන් කර ඇත්තේ මෙසේ ය.

“කිං පන සම්මා සම්බුද්ධේන සාරිපුත්ත ථෙරස්ස දින්නං
මහප්ඵලං උදාහු සාරිපුත්ත ථෙරේන සම්මා සම්බුද්ධස්ස
දින්නන්ති. සම්මා සම්බුද්ධේන සාරිපුත්ත ථෙරස්ස
දින්නං මහප්ඵලංති වදන්ති, තස්මා සම්මා සම්බුද්ධං
හිඨපෙත්වා අඤ්ඤො දානස්ස විපාකං ජානිතුං
සමත්ථො නාම නත්ථි”

(ම.නි.අට්ඨකථා -4 පිටුව 204)

“කිමෙක් ද? සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් සැරියුත් තෙරුන්ට දුන් දානය මහත් ඵල ද? නැතහොත් සැරියුත් තෙරුන් විසින් සම්මා සම්බුද්ධයන් වහන්සේට දුන් දානය මහත් විපාක දෙයි ද? බුදුන් වහන්සේ විසින් සැරියුත් තෙරුන්ට දුන් දානයම මහත් ඵලය යි කියති. කුමක් හෙයින් ද? බුදුන් වහන්සේ තරම් අනිකෙක් දානයෙහි විපාක දැනගන්නට සමතෙක් නැත. එබැවිනි.”

ඉක්මන් භවයකදී අපි සියල්ලටම දුකෙන් මිදීමට මෙය ද උපකාර වේවා යි සම්පාදකගේ ද ප්‍රාර්ථනාවයි.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk