UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර තරණය 07 : සතර මහා ධාතු උදෙසා දුක්වෙනවා ද?

සසර තරණය 07

සතර මහා ධාතු උදෙසා දුක්වෙනවා ද?

අපේ ඇහැට රූපයක් ගැටෙන විට අනාත්ම ධර්මයක් විදිහට පෙනෙන තැනක, අපි දැනගන්නේ හිතේ රැස්කරගෙන තියෙන ටික. හැබැයි, අපේ තියෙන අවිද්‍යාව තමයි, අපි හිතනවා, අර හිටපු කෙනා නැතිනම්, තිබුණ දේ තමයි, රැස්කරගත්තේ කියලා. තිබුණ දේ තමයි, අපි දැනගත්තේ කියලා.

ඒ නිසා අද අපි දැකීම සහ දැනගැනීම අතර තියෙන වෙනස දන්නේ නැහැ. දන්නේ නැති නිසා, දකින දේ දැනගන්න දේට වටිනවා. දැනගන්න දේ දකින දේට වටිනවා. මේ ඔක්කොම එකතු කරලා, අපි අවුලක් හදාගෙන තියෙනවා.

අපිට මේක පෙන්නන කොටම, මේක දකිනකොටම ඔබට වටාපත යන්න දකින්න පුළුවන්කම තියෙනවා. ඒත් යථාර්ථය තමයි, කවදාකවත් ඔබට වටාපත දකින්න පුළුවන්කම තිබුණේ නැහැ. ඇහැට පතිත වුණේ වර්ණ සටහනක්. ඒක තමයි, රූපයේ ස්වභාවය. හැබැයි, ඔබ වටාපත දැනගත්තා. ඒ දැන ගත්තේ ඔබ රැස්කරගත්ත ටික. මේ දෙකම එකයි කියලා හිතනවානම්, ඒක තමයි, අවිද්‍යාව. දැන ගත්ත දේ සහ දකින දේ දෙකම එකයි කියලා හිතනවානම්. දැන් ඔබට මේ වටාපත අරබයා කුසල් කරන්නත් පුළුවන්, අකුසල් කරන්නත් පුළුවන්. වටාපත එළියේ තියෙනවා. මේකට වටිනාකමක් තියෙනවා. මේ වටිනකමක් තියෙන මේ වටාපත පූජා කරලා ඒ පිළිබඳව කුසලයක් ඇති කරගන්නත් පුළුවන්, ඒ වගේම ඔබට පුළුවන්කමක් තියෙනවා, මේ ගැන ද්වේශයක් ඇති කරගෙන අකුසලයක් සිද්ධ කරගන්න. දැන් , කුසල , අකුසල කියන ඔය දෙකටම පදනම සකස් කරලා දුන්නේ මොකක්ද? දැනගත්ත දේ එළියේ තියෙනවා කියලා හිතපු මේ අවිද්‍යාව. ඒ නිසා අද ඔබට මේ දෙක දෙකක් කරගන්න පුළුවන් වුණා. දකින දේ කවදාවත් , දැනගන්න බැරි බව ඔබ දැනගත්තොත්, දැන ගන්න එක වෙනම සිද්ධියක් බවත්, දකින එක වෙනම සිද්ධියක් බවත් තේරුණොත්, කවදාවත් මේ ලෝකෙට වටිනාකමක් දෙන්න යන්නේ නැහැ.

ඒක තමයි බුදුරජාණන් වහන්සේ , දාරුචීරියට , බොහොම කෙටියෙන් දේශනා කළේ, ‘දිට්ඨෙ දිට්ඨ මත්තං සුතෙ සුථ මත්ථං , මුතෙ මුත මත්තං, විඤ්ඤාති විඤ්ඤාති මත්තං” දැකීම දැකීමෙන් පස්සේ ඉවරයි. ඇහීම ඇහීමෙන් පස්සේ ඉවරයි. ඒ වගේ ම විඳීම විඳීමෙන් පස්සේ ඉවරයි. දැන ගත්ත දේ දැන ගැනීමෙන් පස්සේ ඉවරයි කියලා, බොහොම කෙටියෙන් දේශනා කළේ, අන්න ඒක තමයි. එතකොට මේ දැක්ක දේ දැකීමෙන් පස්සේ ඉවර බව නොදන්නා කම නිසා තමයි, ඔබට පුළුවන්කම තියෙන්නේ ඔබ ආපු ගෙදර බලාගෙන , හවස් වෙනකොට යන්න. හදිස්සියේ හරි, ඔබට මේ කය අරගෙන යන්න බැරි වුණොත් ඔතෙන්ට, මොකද, වෙන්නේ? මේ කය අරගෙන යන්න බැරි වුණොත් මේ කය මෙතනම අතහැරලා දායි, ඒ ගෙදර විඳින්න පුළුවන් වුණ තැනකට ප්‍රතිසන්ධි වශයෙන් යයි. කුසල සහගත අරමුණක් වුණොත් හොඳ තැනකට යයි. කුසල හේතු යෙදිලා තිබුණොත්, ලෝභ ආදී අකුසල හේතු යෙදිලා තිබුණොත්, ඒ ගේ විඳින්න පුළුවන් මට්ටමකම දුගතියකට පත් වෙයි.

එතකොට දැන් අපේ මානසික මට්ටම නිසා, අපේ තියෙන අවිද්‍යාව නිසා තමයි අපිට මේ ඉපදීම කියන ධර්මතාවය පවා උරුමවෙලා තියෙන්නේ. ඒ නිසා තමයි, මෙය පිරිසිඳ දැක්ක යුතු යි කියලා, ඒ දෙක දෙකක් විදිහට අපිට නුවණින් හොඳට තෙරුම් ගන්නට අවශ්‍ය වෙනවා.

අපේ ආදරණීය අම්මා කියලා , අම්මාව ඇසුරු කරන තැන තිබුණ ඇත්ත තමයි, කවදාවත් මහා භූත රූපය තුළ අම්මා නොහිඳපුකම. ඒ අම්මා අම්මා බවට පත් වුණේ, තම තමන්ගේ මානසික මට්ටම තුළ. අපි කැමැති වුණේ, ඇත්තටම පෙනෙන රූපයට ද? එහෙම නැතිනම්, පුංචි කාලේ ඉඳලා අප හදා ගත්ත, අප බලා ගත්ත , අපත් එක්ක එකට ජීවත් වුණ අම්මට ද? අප කැමැති වුණේ අප ආදරය කරන, අපිව පුංචි කාලේ ඉදලා හදා ගත්ත, අපිත් එක්ක එකට ඉන්න අම්මට. එතකොට ඒ අම්මා, රූපෙයේ ඉන්නවා කියලා, දෘෂ්ටිය යි, වස්තුව යි, එකක් කර ගත්ත නිසා තමයි, අපට ආදරය කරන්න පුළුවන්, අම්මා හම්බ වුණේ, බාහිරින්. එතකොට අපි අම්මා කියලා හිතාගෙන ඇත්තට ම, හිතාගෙන ඉන්න අම්මා කියන රූපයෙන් කැමැති වන කොට, වෙනස් වන රූපය ලෝකයේ වෙනස් වෙනවා. ඒ මහා භූත රූපය වෙනස් වෙනවා. වෙනස් වෙලා යනකොට අපට එන්නේ මොකක්ද? අම්මා වෙනස් වීම නිසා ඇතිවන දුක, අම්මා ලෙඩ වීම නිසා , අම්මා මැරුණ නිසා එන දුක තමයි අපට විඳින්න වෙන්නේ. හැබැයි, අපි දන්නේ නෑ, ඇත්තටම අපි දුක් විඳින්නේ, ඒ රූපය වෙනස් වුණාට නෙවෙයි කියන එක. අපි හිතන්නේ අම්මා මැරුණොත්, අම්මා මැරුණ නිසා තමයි , මට දුක කියලා. මම කියන්නේ, අම්මා මැරුණට නෙවෙයි, අපි දුක් විඳින්නේ, අම්මා ජීවත් වුණාට කියලා. අපි දුක් විඳින්නේ අම්මා මැරුණට ද? අම්මා ජීවත් වුණාට ද? අම්මා ජීවත් වුණාට. ඇයි, ජීවත් වෙච්ච කාලේ හිතනකොට නෙවෙයිද, දුක එන්නේ? මට මෙච්චර ආදරය කරපු, මා පොඩි කාලේ ඉඳලා මෙච්චර කැපකිරීමෙන් බලා ගත්ත, හදා ගත්ත, ‘අම්මා’. එතකොට දැන් මරණය දුක ගෙනාව කියලා ලෝකෙ හිතන තැනක අපට පේනවා, මරණය නෙවෙයි, දුක ගෙනාවේ. ඒ මරණ දුක විඳින අයගේ මානසික මට්ටම ඒ අයට දුක අරගෙන ආවේ. එතකොට අද නුවණැති කෙනෙකුට මේ දුක නැති කරන්න බැරි ද? අද දවසෙ දී? නුවණ තියෙන කෙනෙකුට පුළුවන් මරණ දුක නැති කරන්න. මොකද? මේ මරණ දුක රැඳිලා ඉන්නේ , ජීවත් වීමත් එක්කම. නැතිනම්, සත්ත්ව , පුද්ගල බව ජීවත් කරන බවත් එක්කම. ලෙඩ වීමේ දුක එන්නේ පුද්ගල බවත් එක්කම. ඒ නිසා මේ පුද්ගල බව ඉක්මවා යන දර්ශනයක් තිබුණොත්, අපට පුළුවන්කම තියෙනවා, ජරා, මරණ, දුක අද ම නැති කරන්න. මරණ දුක නැති කරන්න, මැරෙනකම් බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මේ ජීවත්වන කෙනෙකු විසින් සිද්ධ කළ යුතු දෙයක්.

නිවන් දැකීම මැරිලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, ජීවත් වෙනකොට කරන දෙයක්. අපි කෙනෙක් මැරුණට පස්සේ ‘නිවන් සැප ලැබේවා’ කියලා ගැහුවට, ඇත්තට ම නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ, ජීවත් වෙන කෙනෙකුට යි. කවදාවත් මැරිලා නිවන් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අවබෝධ කරගන්නට අවශ්‍ය කාරණාවක් තමයි, අද අපි අම්මා හදාගත්ත තැන ඇත්ත දැක්කොත්, අම්මා දැනගත්ත දේ සහ දකින රූපය තුළ අම්මා නැති බව, බාහිර රූපය වෙනස් වෙන කොට විපරිණාමයට පත්වෙන කොටත්, අම්මා ලෙඩ වුණා, අම්මා මැරුණා කියලා දුක් වෙයි ද? කවදාවත් දුක් වෙන්න යන්නේ නැහැ. මොකද, ඔය වෙනස් වීම ගෙනාවේ, සතර මහා ධාතුවවත්, වර්ණ සටහනවත් නෙවෙයි, මරණය කියන දේ ගෙනාවේ. මරණය කියන දේ ගෙනාවේ තමන් ජීවත් කරගත්තකම. ජීවත් කරගත්ත අම්මා තමයි, මැරුණේ කියන මානසික මට්ටම. ඒ නිසා ඔබ ජීවත් වෙච්ච අම්මා ගැන හිතන කොට, හිතන කොට ඔබේ ජීවිතයට දුක ගලාගෙන එනවා. ඒක නතර වෙන්නේ නැහැ. ඒ නිසා අද ඔබට පුළුවන්කම ලැබුණොත් ඔය දෙක දෙකක් කරලා, තමන්ගේ හිත පැත්තයි, බාහිර රූපය පැත්තයි, දෙකක් විදිහට වෙන්කර ගන්න ඔබ කවදාකවත් සතර මහා ධාතු රූපය අරබයා දුක් වෙන්න යන්නේ නැහැ.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]