UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුත්ත විනය අභිධම්ම ශබ්දයන්හි අර්ථ නිරූපණය

සුත්ත විනය අභිධම්ම ශබ්දයන්හි අර්ථ නිරූපණය

සුත්ත යනු ගද්‍ය ප්‍රකාශනයක් විය යුතු බව සිතා ගැනීමට පැරැණි සාධක අනුබල සපයයි. ගාථා, ගෙය්‍ය, ව්‍යෙයාකරණ සංග්‍රහ වී ඇති සුත්තනිපාතය එනමින් හඳුන්වා ඇත්තේ මන්දැ යි ප්‍රශ්නයක් මතු කොට එයට පිළිතුරු සැපයීමෙන් සුත්ත නිපාතට්ඨකථාකරු ධ්වනිත කොට ඇත්තේ එය යි.

සුත්ත, විනය, අභිධම්ම ශබ්දත්‍රය මූලික වශයෙන් අපට ත්‍රිපිටක නාම මතක් කරතත්, ඒවා ඉතිහාසය මුළුල්ලේ නොයෙක් අර්ථ සඳහා ව්‍යවහාර වූ බවටත්, පිටකාර්ථය ඒ ශබ්දවලට ලැබුණේ පසු සමයක බවටත් ඉදිරිපත් කළ හැකි කරුණු රාශියක් ඇත. මේ ලිපියෙන් අදහස් කරන්නේ ඒ පිළිබඳ සංක්ෂිප්ත විමසුමක් ඉදිරිපත් කිරීමයි.

සුත්ත පිටකය

‘සුත්ත’ යන පාලි වචනය සඳහා යෙදෙන සංස්කෘත භාෂාවට අයත් පර්යාය පදය ‘සූත්‍ර’ යන්න යි. එය ප්‍රාග් බෞද්ධ යුගයේ ද සමාජ භාවිතයේ පැවැති බවට සාධක ඉදිරිපත් කළ හැකි ය. චතුර්වර්ණය ගැන කරුණු සඳහන් වන ඍග්වේදයේ එන කොටස් හඳුන්වා ඇත්තේ ‘පුරුෂ සූක්ත’ යන නාමයෙන් බව පෙනී යයි. ජෛන සාධුවරුන් ද ස්වකීය දේශනා හඳුන්වනු පිණිස සුත්ත ශබ්දය ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනී යයි. අර්ධ මාගධියෙන් රචනා කරන ලද ජෛන ධර්ම ග්‍රන්ථවල ඒ සඳහා යොදා ඇත්තේ ‘සූය’ යන වචනයකි. වේද ග්‍රන්ථවල දක්නට ලැබෙන ‘සූක්ත’ යන පදය සමඟ සූත්ත ශබ්දය සසඳන්නට උත්සාහ ගෙන ඇත. සූක්ත යන්න ‘සූක්ත’ යන්නෙන් ප්‍රභව වූ වචනයක් හැටියට සලකතොත් එහි අර්ථය පැහැදිලි වේ. ‘සූක්ත’ ශබ්දය සු+ උක්ත යනු විසින් විග්‍රහ කොට දැක්විය හැකි ය. එහි අර්ථය ‘මනා ව කියන ලද’ ‘මනා ප්‍රකාශනය’ යනු යි. එවිට සුත්ත ශබ්දයේ අර්ථය ද එයට අනුකූල වේ. ‘ස්තොත්‍ර’ ශබ්දය සමඟ ද සුත්ත ශබ්දය සසඳා බලන්නට විචාරකයන් උත්සාහ ගෙන ඇත.

සුත්ත ශබ්දයේ පැරැණිතම අර්ථය ‘කෙටි අර්ථවත් ප්‍රකාශනයක්’ යන්න ඉහත කී කරුණුවලින් ද ,ඇතැම් බ්‍රාහ්මණික ධර්ම පාඨවලින් පමණක් නොව සුත්ත ශබ්දයෙන් හඳුන්වන ලද පැරැණි බෞද්ධ ධර්ම පාඨ ගැන අවධානය යොමු කිරීමෙන් ද පෙනී යයි. ප්‍රාතිමෝක්ෂ ශික්ෂා හඳුන්වනු පිණිස පාතිමොක්ඛ පාළියේ දී මේ වචනය යෙදී ඇත. අභිධර්ම මාතෘකාත් මේ ශබ්දයෙන් ගැනුණු බව සිතාගත හැකි ය. පැරැණි සටහන්වල එන ‘මාතිකා’ ශබ්දයෙන් වාච්‍ය වන්නේ විනය මාතෘකා සහ අභිධර්ම මාතෘකා බව ප්‍රකට ය. පැරැණි බුදු සමයට අයත් කෙටි අර්ථවත් ප්‍රකාශ ඒවා ය. එවිට ‘මාතිකා’ ශබ්දයත්, සුත්ත ශබ්දය විවරණය කොට ඇත්තේ ඉහත කී අදහස වාච්‍ය වන ආකාරයෙනි. සමන්තපාසාදිකාවේ දී ‘අර්ථයන්ගෙන් මනා ප්‍රකාශනයන් හෙයින් ද, අර්ථයන් මනාව කියන ලද බැවින් ද, අර්ථයන් ප්‍රසව කරන බැවින් ද, අර්ථයන් ගලා බස්වන බැවින් ද, අර්ථයන් ආරක්ෂා කරන බැවින් ද අර්ථයන් රාශිභූත වී ඇති බැවින් ද සුත්ත නම් වේ’ යැයි දක්වා ඇත. සුත්තනිපාතට්ඨකථාවේ දී මේ ශබ්දය තෝරා ඇත්තේ ඉහත කී අර්ථය කියැවෙන ගාථාවක් මගිනි. සුත්ත යනු නූලට ද නමකි. නූලක් මෙන් පිළිවෙළ නො සිඳ පැවසෙන හෙයින් ද සුත් නම් වේය කියා සිතිය හැකි ය. යම් සේ නූලකින් අමුනන ලද පුෂ්පයෝ නො විසිරෙත් ද, නොබිඳෙත් ද එසේ සංග්‍රහ කරන ලද හෙයින් සුත්ත නම් වේ යන අටුවා පාඨයෙන් එය තවදුරටත් සනාථ වේ.

සුත්ත යනු ගද්‍ය ප්‍රකාශනයක් විය යුතු බව සිතා ගැනීමට පැරැණි සාධක අනුබල සපයයි. ගාථා, ගෙය්‍ය, ව්‍යෙයාකරණ සංග්‍රහ වී ඇති සුත්තනිපාතය එනමින් හඳුන්වා ඇත්තේ මන්දැ යි ප්‍රශ්නයක් මතු කොට එයට පිළිතුරු සැපයීමෙන් සුත්ත නිපාතට්ඨකථාකරු ධ්වනිත කොට ඇත්තේ එය යි. එහෙත් සුත්ත ශබ්දයේ මේ අර්ථය පශ්චාත් සමයක අප්‍රකට ව ගිය බව අටුවාවලින් ලැබෙන ඇතැම් සාධකයන්ගෙන් කියැවේ. වැඩි වශයෙන් සංග්‍රහ වී ඇති උදාන ද, සමස්ත ත්‍රිපිටකය ද, සංගීතිත්‍රයට ආරූළ්හ ධර්මය ද කෙටි අර්ථවත් ප්‍රකාශ ගණයේ ලා ගැනෙන ඉතිවුත්තක ද, අද්භූත ධර්මයන් ද, උභතොවිභංග , නිද්දෙස, ඛන්ධක, පරිවාර යන ග්‍රන්ථයන් ද අටුවාවන්හි හඳුන්වා ඇත්තේ සුත්ත ශබ්දයෙනි. නො එසේනම්, එයට පර්යාය පදයන් වශයෙන් පෙනී සිටින ‘සුත්තන්ත’ ශබ්දයෙනි. සගාථක සුත්ත, නිග්ගාථක සුත්ත යනු විසින් අට්ඨකථාවන්හි සූත්‍ර කොටස් දෙකකට බෙදා දක්වා ඇත. මෙයින් පෙනෙන්නේ සුත්ත ශබ්දයේ නිශ්චිත අර්ථය අටුවා යුගයේ දී අප්‍රකට ව පැවැති බවත් එය නොයෙක් අර්ථයන් සඳහා අවිශේෂයෙන් ව්‍යවහාර වී ඇති බවත් ය.

සුත්ත ශබ්දය නවංගසත්ථුසාසන නාමාවලියෙහිලා ද සංග්‍රහ වී ඇත .එහි දී එකී පදයෙන් වාච්‍ය වන්නේ ‘දේශනා ශෛලියක් ය’ යන කාරණය ප්‍රකට ය. එහෙයින් එයින් ගැනෙන්නේ බුද්ධ භාෂිතයෙන් ඒක දේශයක් පමණක් නො වේ. සුත්ත ශෛලිය විනය සහ අභිධර්ම ග්‍රන්ථවලින් ද විද්‍යමාන විය හැකි බැවිනි. බුදුන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවලින් කිසියම් කොටසක් පමණක් වාච්‍ය කරනු පිණිස සුත්ත ශබ්දය ප්‍රයෝජනයට නොගත් බව මෙයින් පෙනී යයි. ත්‍රිපිටක ග්‍රන්ථවල සුත්ත නාමයෙන් හඳුන්වා ඇති ඇතැම් දේශනා බුදුන් වහන්සේ විසින් හඳුන්වා ඇත්තේ වෙනත් අයුරකිනි. බුදුන් වහන්සේ උපක මානවකයාට පවසන්නේ තමන් වහන්සේ ‘ධම්මචක්කය’ පැවැත්වීමට යන (ධම්මචක්කං පවත්තතුං) මිස ‘සූත්‍රය’ බව දේශනා කරන්නට යන බව නො වේ. චුල්ලවග්ගයේ පඤ්චසතිකක්ඛන්ධකයේ දී දීඝනිකායේ පළමු වැනි සහ දෙවැනි සූත්‍රද්වය හඳුන්වා ඇත්තේ ‘බ්‍රහ්මජාල’ ‘සාමඤ්ඤඵල’ යන නම්වලින් පමණකි. එහි දී ඒවා සඳහා සුත්ත යන උප පදය භාවිත කොට නැත. බුදුන් වහන්සේ තමන් වහන්සේගේ දේශනා සැමවිට ම හඳුන්වා ඇත්තේ ‘ධම්ම් යන පදයෙනි. තමන් වහන්සේගේ දේශනා සමුදායයෙන් කිසියම් සුළු කොටසක් හැඳින්වීමට බුදුන් වහන්සේ උපයෝගී කොටගත් ප්‍රයෝගය හැටියට ඉදිරිපත් කළ හැක්කේ ‘ධම්ම පරියාය’ යන්න යි. දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රය අවසානයේ මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රය අවසානයේත් එන පාඨ දෙකකින් ඒ බව මැනවින් පැහැදිලි වේ. වර්තමානයේ දී සුත්ත නාමයෙන් හඳුන්වන දේශනා කිහිපයක් අශෝක රජුගේ සුප්‍රකට භාබෲ ශිලා ලේඛනයේ දී නම් කොට ඇත්තේ ද ‘ධම්ම පලියාය’ යනුවෙනි. මේ සාධක අනුව අටුවාවන්හි ද ප්‍රකට කොට ඇති වර්තමානයේ දී අප ව්‍යවහාර කරන අර්ථය වාච්‍ය කරනු පිණිස සුත්ත යන වචනය බුදුන් වහන්සේ විසින් ව්‍යවර්ත නො කරන ලද බවත් ඒ අර්ථයෙන් පැරැණි සටහන්වල ඒ ශබ්දය යෙදී නැතිබවත් අපට පිළිගැනීමට පුළුවන. පෙළ ග්‍රන්ථයෙහි එන ‘මතිකාදරා හා ධම්මධරා’ යන යෙදුම්වලින් ද ප්‍රකට වන්නේ එය යි. නිකාය ග්‍රන්ථයෙහි එන බුද්ධ දේශනාවෙන් වෙන් වශයෙන් ‘සුත්ත’ නාමයෙන් හඳුන්වන ලද්දේ සංගීතිකාකාරක භික්ෂූන් වහන්සේලා යැයි සිතන්නට මේ සාධක අනුබල දෙන බව පෙනේ.

එහෙත්, ඇතැම් ත්‍රිපිටක ග්‍රන්ථයන්හි බුද්ධ දේශනාවන්ගෙන් එක් කොටසක් වෙසෙසනු පිණිස සුත්ත ශබ්දය යෙදී ඇති ස්ථාන ද වේ. ස ංයුක්ත නිකායේ දී සුත්ත නිපාතයේ එන මාගන්ධිය ධර්මපර්යාය හඳුන්වා ඇත්තේ ‘මාගන්ධීය සුත්ත’ යන නමිනි. භික්ෂුණී විභංගයේ අනූපස්වැනි පාචිත්තිය විස්තරය වැනි ස්ථානවලින් ද ඒ බවට සාධක ලැබේ. පාරචික පාලියේ අට්ටමගන්ගාධිසේස විස්තරයේ දී සුත්තන්තික භික්ෂූන් ගැනත් සඳහන් වී ඇත. එහෙත් මේ සාධක බුදුන් වහන්සේගේ සමයෙහි දී හෝ උන්වහන්සේ විසින් හෝ සුත්ත ශබ්දයේ නිකාය ග්‍රන්ථයන්හි එන දේශනා වාච්‍ය කරනු පිණිස ව්‍යවහාර කරන ලද බවට උදාහරණ වශයෙන් එළවිය නො හැකි ය. ඉහත කී සාධක එන ත්‍රිපිටක ග්‍රන්ථ පශ්චාත්කාලීන ලක්ෂණ පිළිඹිබු කරන හෙයිනි. සංයුක්ත නිකායේ ඉහත කී සටහනේ ඇති සන්දර්භය පශ්චාත් කාලීන ලක්ෂණ ප්‍රකට කරන බව පාණ්ඩේ මහතා පෙන්වා දෙයි. පාරාජික හා පාචිත්තිය විනය ග්‍රන්ථ ද්විතීය සංගායනාවට ආසන්න සමයෙක දී රචනා කරන ලද බව සත්තසතිකක්ඛන්ධක ප්‍රවෘත්තිවලින් පෙනේ. බුදුන් වහන්සේ තමන් වහන්සේගේ දේශනා සුත්ත, විනය, අභිධම්ම ශබ්දවලින් හඳුන්වා කොටස්වලට බෙදා දක්වන ලදැයි සිතීමට අපහසු ය. උන්වහන්සේ සියලු දේශනා හැඳින්වූයේ ධම්ම ශබ්දයෙනි. භික්ෂූන්ගේ අවධානය යොමු කරගනු පිණිස බුදුන් වහන්සේ සමාරම්භයේ දී ම මෙවැනි ප්‍රකාශනයක් කිරීම චාරිත්‍රයක් කොට ගත් බව පෙනේ. ‘එසේනම්, ‘මහණෙනි, අසන්න, මනාව සිහියට ගන්න. මම ඔබට ධර්මය දේශනා කරන්නෙමි’ යනුවෙනි. උන්වහන්සේ කිසිවිටෙක ‘මම ඔබට සූත්‍රයක් දේශනා කරන්නෙමි’යි දේශනා කළේ නැත. බුද්ධ දේශනාවන්ගෙන් විශාල කොටසක් හඳුන්වනු පිණිස එසේනම්, ‘සුත්ත’ ශබ්දය ව්‍යවහාරයට පැමිණියේ කෙසේ ද? ත්‍රිපිටක සටහන් මඟින් ඒ කාරණය පැහැදිලි කරන්නට උත්සාහ දරතොත් ඊට පිටුබල වූ ප්‍රධාන සාධක දෙකක් දැක්විය හැකි ය. චතුරාර්ය සත්‍ය වාච්‍ය කිරීම පිණිස නෙත්තිපකරණයේ දී නිවැරැදි ව තෝරා ඇති ‘ධම්ම් ශබ්දයට පර්යාය සුත්ත ශබ්දය බුදුන් වහන්සේ ද ව්‍යවහාර කොට තිබීම ප්‍රථම සාධකය යි. චතුරාර්ය සත්‍ය දේශනා වැඩි වශයෙන් සංග්‍රහ වී ඇත්තේ නිකාය කෘතිවල දී ය යන්න මෙහි දී මතකයට ගත යුත්තකි. ධර්ම නො නැසෙන පරිදි ක්‍රමානුකූල ව සංග්‍රහ කළ යුතු ය යන්න පහදා දීමට බුදුන් වහන්සේ විසින් ව්‍යවහාර කරනු ලැබ ඇත්තේ ‘සුත්ත’ ශබ්දය යන්න දෙවැන්න ය. එහි දී ඉහත කී ‘නූල’ හා ‘දාමය’ යන අර්ථය මේ ශබ්දය මඟින් ධ්වනිත කොට ඇති බව පෙනී යයි. බුද්ධ දේශනා ක්‍රමානුකූල ව සංග්‍රහ කිරීමට ගත් ප්‍රථම උත්සාහය සූත්‍ර පිටකයෙන් නිරූපණය වන බව මෙහි දී සැලකිල්ලට ගත යුත්තකි. ප්‍රථම සංගීතියේ දී ප්‍රථමයෙන් සංගායනා කරන ලද්දේ විනය නොව ධර්මය බව එ ්පිළිබඳ විග්‍රහය පසෙක තබමින් සැකෙවින් දැක්විය හැකි ය.

‘සුත්ත’ පිටක යන ව්‍යවහාරය පිළිබඳ ව මෙහිදී සැලකිල්ලට ගත යුතු ය. බුද්ධ දේශනා පිටක තුනෙක්හිලා පිටක ශබ්දය ප්‍රකට වූයේත් පශ්චාත් සමයක ය. ප්‍රවචනය , පිටක ශබ්දය ව්‍යවහාරයට පැමිණීමට පෙරාතුව සුත්ත, විනය, අභිධම්ම යන කොටස් තුනෙහිලා සංග්‍රහ වෙමින් පැවැති බව පෙනේ. වඩාත් පැහැදිලිව ප්‍රකාශ කරතොත් ‘සුත්ත පිටක’ යන්නෙහි බුදුන් වහන්සේගේ දේශනාවලින් කොටසක් හඳුන්වන්නට ප්‍රථම සුත්ත යන්නෙනේ පමණක් එම කොටස හඳුන්වා ඇතැ’යි උපකල්පනය කළ හැකි ය. පිටක ශබ්දයෙන් ප්‍රයෝජනයට නොගෙන පිටකත්‍රය වාච්‍ය කරනු පිණිස සුත්ත විනය අභිධම්ම යන වචනත්‍රය පමණක් පැරැණි සටහන් කිහිපයක දක්නට ලැබීම ඊට උදාහරණ ලෙස දැක්විය හැකි ය. පංච සතිකක්ඛන්ධකයේ දී පවා ‘සුත්ත’ හෝ ‘සුත්ත පිටක’ යන්න දක්නට නොලැබේ. පිටක ශබ්දය භාවිතයට පැමිණියේ තෘතීය සංගීතියට ආසන්න සමයක දී විය යුතු යි. ත්‍රිපිටකාධාරී භික්ෂූන් වහන්සේ ගැන ප්‍රථම වරට සඳහන් වහන්නේ රයිස් ඩේවිඩ්ස් මහතා පෙන්වා දී ඇති අන්දමට අශෝක යුගයට අයත් සෙල්ලිපි කිහිපයක බැවිනි. එසේ සිතීමට අනුබල ලැබෙන්නේ, සූත්‍ර පිටකයෙහි ලා ගැනෙන නිකාය පංචකය ප්‍රථම සංගායනා ප්‍රවෘත්තියේ දී ‘ධම්ම’ ශබ්දයෙන් ඉදිරිපත් කොට ඇති බැවිනි. එවිට ප්‍රථම සංගායනාවේ දී සංගායනා වූයේ ‘ධම්ම පිටකය ‘ යි. ඒ අවස්ථාවේ දී නිකාය පසක් වූයේ යැයි සිතීමට අපහසු ය. ඛුද්දක නිකාය සම්පූර්ණ වූයේ පසුකලෙක නිසා පඤ්ච නිකාය පිළිබඳ පංචසතිකක්කන්ධක සටහන අධ්‍යරෝපිකයක් ලෙස සැලකිය හැකි ය. ‘ධම්ම පිටක’ යන්නට පර්යාය වශයෙන් ‘සුත්ත පිටක’ යන්න ප්‍රකට වීමෙන් පසුව ය, නිකාය පංචකයන් දක්නට ලැබෙන්නේ.

‘සුත්ත’ යන්න ගැන මෙතෙක් කී කරුණු පහත පරිදි සංක්ෂිප්ත කළ හැකි ය. ‘ සුත්ත’ යන වචනයේ මුල් ම අවස්ථාවේ දී කෙටි අර්ථවත් ගද්‍ය ප ‍්‍රකාශනය යන අර්ථ ය දැක්වීමට යොදා ඇත . ඒ සමයේ දී එයින් දේශනා ශෛලියක් ද වාච්‍ය විය. බුදුන් වහන්සේ ගේ පිරිනිවනට ආසන්න සමයෙහි ‘ධම්ම ශබ්දයට සමානාර්ථ වචනයක් ලෙස ද එය යෙදී ඇත . අනතුරු ව යුගයන්හි නිකාය පඤ්චකය තුළ සඳහන් වන දේශනා හැඳින්වීමට මෙන් ම සමස්ත ත්‍රිපිටකය හැඳින්වීමටත් ඒ ශබ්දය ප්‍රයෝජනයට ගෙන ඇත.

මෙම ලිපියේ ඉතිරි කොටස මැදින් පුර පසළොස්වක (20)පත්‍රයේ පළවේ.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk