UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු දනට කරුණාවෙනි : ආර්ය උපෝසථය

ආර්ය උපෝසථය

විශාඛාවෙනි, ආර්ය උපෝසථය කෙසේ වේද? විශාඛාවෙනි, බොහෝ සෙයින් කිලිටි වූ සිත පිරිසුදු කිරීම පිණිස උපක්‍රමයක් පවතිනවා. කිලිටි වූ සිත පිරිසුදු කරන්නේ කෙසේ ද? විශාඛාවෙනි, පෙහෙවස් සමාදන් වන ශ්‍රාවකයා විසින් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනුස්මරණය කරනවා.

“මේ කරුණින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‘අරහං’ වන සේක. මේ කරුණින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‘සම්‍යක් සම්බුද්ධ’ නම් වන සේක. මේ කරුණින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‘විජ්ජාචරණ සම්පන්න’ නම් වන සේක. මේ කරුණින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‘සුගත’ නම් වන සේක. මේ කරුණින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක. මේ කරුණින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‘අනුත්තරෝ පුරිසදම්ම සාරථි’ නම් වන සේක. මේ කරුණින් ද භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන්ට ශාස්තෘ නම් වන සේක. මේ කරුණින් ද භාග්‍යවතුන් වහන්සේ ‘බුද්ධ නම් වන සේක. මේ කරුණින් ද භාග්‍යවතුන් වහන්සේ ‘භගවා’ නම් වන සේක”.

අප මෙහි දී මේ බුදුගුණ නවයෙහි අර්ථය පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නැහැ. එයට හේතුව නිරන්තරයෙන් නව අරහාදී බුදුගුණ තේරුම් කරන නිසාත්, බොහෝ පිරිසක් එය සාමාන්‍ය අදහසකින් හෝ දැනගෙන සිටින නිසාත් ය. එහෙත් අවබෝධයෙන් යුක්තව මේ කරුණින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‘අරහං’ නම් වන සේක ආදී වශයෙන් මෙනෙහි කරන විට වචනයට පමණක් සීමා නොකොට නැවත නැවතත් තමාට වැටහෙන ආකාරයෙන් අර්ථය මෙනෙහි කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණය අර්ථ රසය, ධර්ම රසය දැනෙනා ආකාරයෙන් මෙනෙහි කොට තමාගේ සිතෙහි එය වැඩෙන ස්වභාවයට පත්කර ගත යුතුයි. භාවනා මාර්ගයේ දී උපචාර සමාධිය අවස්ථාවේ දී ඒ බුදුගුණය තමාගේ සිතෙහි වැඩෙනා විට ලෝභාදී කෙලෙස් සංසිඳීම නිසා කාමාධි අකුසල ධර්ම බොහෝ සෙයින් යටපත් වන ආකාරය තමන්ට ම අවබෝධ කර ගත හැකියි. එනම් බුදුගුණය නම් වූ කුසලාරම්මණයෙහි බලවත් ලෙස සිත පිහිටන්නට ආරම්භ වෙනවා.

මේ ආකාරයෙන් පෙහෙවස් දවසෙහි තමාගේ කිලිටි වූ සිත පිරිසුදු කර ගන්නට තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අවබෝධයෙන් යුක්තව ම මෙනෙහි කළ යුතුයි. පළමුව වටාපිටාවේ සිටින අයට බාධාවක් නොවෙන ලෙස සජ්ඣායනා කළ හැකියි. පිරිසක් කැමැති නම් එක්ව, සාමූහික ව සජ්ඣායනා කළ හැකියි. නමුත් තනි තනිව නම් අන් අයට බාධාවක් නොවෙන ආකාරයෙන් ඒ බුදුගුණය සජ්ඣායනා කොට තමාගේ සිතේ බුදුගුණය වැඩෙන ආකාරයට සිහිය පවත්වා ගත හැකියි. මේ අත්දැකීම ඔබටත් තිබෙනවා ද? කියා නුවණින් විමසා බලන්න. කුඩා කල පටන් මේ අත්දැකීම අපට තිබෙනවා. එනම් සිහිනෙන් පවා දුකක්, වේදනාවක්, බියක්, ශෝකයක් හටගත් මොහොතක තථාගත බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගෙන නමස්කාරය හෝ ‘ඉතිපි සෝ භගවා’ ආදී වශයෙන් ගාථා රත්නය සජ්ඣායනා කළ මොහොතක සිතේ ඇති වූ නිවීම, සැනසිල්ල මොනතරම් ද? එසේ නම් අවබෝධයෙන් යුක්තව බුදුගුණ මෙනෙහි කරන්න, සජ්ඣායනා කරන්න, සමාධියට පත් කර ගන්න, හැකි නම් කිලිටි වූ සිත පිරිසුදු වන ආකාරය, පාරිශුද්ධත්වයට පත්වෙන ආකාරය ඔබට ම තේරුම් ගත හැකියි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා; තථාගතයන් වහන්සේගේ ගුණ අනුස්මරණය කරන විට ඔහුගේ හෝ ඇයගේ සිත පහදින්නට පටන් ගන්නවා. ප්‍රසාදයට පත් වෙනවා. එය අපගේ උපමාවකින් දැක්වූවොත් ‘හරියට හිරු පායාගෙන එන විට, බොර දිය ඇති ජලාශයක් පෑදී උඩින් බැලූ විට පත්ල පෙනෙනවා වාගේ අපේ සිත ඉතා ම සංසුන් වනවා”. දැඩි ආශාවෙන් හෝ පටිඝයකින්, ගැටීමකින් කිලිටි නොවී සංසුන් වූ සිතක් පවතින බව දැනෙන්නට පටන් ගන්නවා. ඔබේ වචනයෙන් නම්, නිවුණු බවක්, සැහැල්ලු බවක් තමන්ට ම දැනෙන්නට පටන් ගන්නවා. ඒ පැහැදීම ඔස්සේ සිතේ ප්‍රමෝදය හටගන්නවා. සිතෙහි යම් වූ ද උප කෙලෙස් පවතිනවා නම් ඒවා බැහැර වෙන්න පටන් ගන්නවා. එනම් තරහව, වෛරය, පළිගැනීම, එකට එක කිරීම, අනුන්ගේ දොස් ම දැකීම , හොඳ වැසීම, තමා උසස් කොට නිරතුරුවම අන් අය පහත් කිරීම. වචනයෙන් පවා අන් අයට අපහාස කිරීම. කෙලෙස් වැඩෙන වචන පාවිච්චි කිරීම. හැසිරීමේ දී පවා අන් අයට බාධාවන අයුරින් කටයුතු කිරීම. පරිසරය කලබල වන ආකාරයට හැසිරීම. කතා කිරීම. මේ ආකාරයෙන් උප කෙලෙස් ධර්මයන් බැහැරව සිත සමාධිගත වීම ආරම්භ වීම සිදුවෙනවා. සිත සැහැල්ලු වීම ආරම්භ වෙනවා. නිවීමක් ඇතිවෙනවා. විශාඛාවනි, ශ්‍රාවකයාගේ සිත පිරිසුදු වීම ආරම්භ වෙනවා.

විශාඛාවනි, තවත් නිදසුනක් දක්වනවා. එය කෙසේදයත්, කෙලෙස් නිසා කිලිටි වූ සිත පිරිසුදු කරගන්නේ යන අදහසයි. හිස කිලිටි වී තිබෙනවා ඒ හිස පිරිසුදු කරගන්න. ඇඹුල් කල්කය ද ඒ වගේ ම මැටි ද දිය ද භාවිත කරනවා. ඒ වගේ ම ඒ පුරුෂයාගේ උත්සාහයත්, ව්‍යායාමයත් ඊට අවශ්‍යයයි. ඇඹුල් කල්කයයි, මැටි, දියයි එකට එකතු කර ඒ පුරුෂයා කල්පනාවෙන් ඒවා සකස් කොට නිතර හෝ අවශ්‍ය පරිදි හිසේ ගල්වාගෙන හිස පිරිසුදු කර ගන්නවා. ඒ වගේ ම සිතත් පිරිසුදු කර ගන්නා ක්‍රමයක් පවතිනවා. ඒ කුමක් ද? මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා පෙර සඳහන් කළ පරිදි, තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරනවා. අනුස්මරණය කරනවා. මුලින් සඳහන් කළ අයුරින් ‘අරහං’ ආදී බුදුගුණ අවබෝධයෙන් යුතුව, අර්ථ රසය හා ධර්ම රසය වැඩෙනා ආකාරයට නැවත නැවත මෙනෙහි කරන විට, සිතේ පාරිශුද්ධත්වය ඇතිවෙන්නට පටන් ගන්නවා.

අප මේ සඳහන් කරන වදන් පෙළ වැරැදි නම් එය ඔබ, ඔබේ සිතින් ඉවත්කර ගන්න. එසේ නොමැති නම් ඒ ගැන ඔබ සැලකිළිමත් වන්න. එසේ කියන්නේ ඇයි? අපේ රටේත් බෞද්ධ නමින් පෙනී සිටින පිරිසකගෙන් වැඩි පිරිසක් ‘ඉතිපි සෝ භගවා අරහං’ ගාථා රත්නයේ සඳහන් බුදුගුණ නමයෙහි තේරුම නොදන්නා බවයි. යම් පිරිස් මේ නව අරහාදී බුදුගුණ තේරුම් ඇතිව අර්ථ රසයෙන්, ධර්ම රසයෙන් යුක්තව වඩනා බව පැහැදිලියි. නමුත් වැඩි පිරිසක් ‘ඉතිපි සෝ’ ගාථාවේ තේරුම දන්නේ නැතැයි සඳහන් කළොත් ඔබ සිතෙහි ගැටීමක් ඇති නොකොට එය නුවණින් විමසා බලන්න. මින් අදහස් කරන්නේත්, වචනවල යම් වූ ද මාත්‍ර වූ තේරුම් නොවෙයි. ඉන් අදහස් කරන්නේ අර්ථයත්, ධර්ම රසයත් සිතට නොගෙන යම් තේරුම් සඳහන් කිරීම පිළිබඳවයි.

එනම් භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පව් නොකළ හෙයින් ද, සියලු කෙලෙස් ප්‍රහාණය කළ හෙයින් ද, සියලු දෙවි බඹු මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ හෙයින් ද. අරහං නම් වන සේක. බොහෝ කෙනෙක් ඉතා ම කෙටියෙන් ‘අරහං’ බුදුගුණය ඒ ආකාරයෙන් පවසන බව පැහැදිලියි. එය වැරැදි යැයි සඳහන් කරන්නේ නැහැ. එහෙත් මෙයට වඩා මේ වචන පෙළ තව තවත් විග්‍රහ කරගෙන, තේරුම් ඇතිව, තමාගේ සිතටගෙන, සිතින් කෙලෙස් සංසිඳුවනවා යන අදහසින් ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණය මෙනෙහි කළ යුතුයි. ‘අරහං’ බුදුගුණය අර්ථාන්විත ව දහම් රසයෙන් යුක්ත ව මෙනෙහි කරන ගමනේ ඒ අර්ථය තමාගේ සිතෙන් පවත්වාගෙන දහම් රසය වැඩෙන්නට අවස්ථාව සලසා ගත යුතුයි.

පෙහෙවස් දවසත් මේ ආකාරයෙන් අපට පවත්වන්නට පුළුවනි නම්, ඒ දවසෙහි උතුම්ම ප්‍රයෝජනයක් ලබාගත හැකි බව ඉතාම පැහැදිලියි.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]