UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුත්ත නිපාතයෙන් ... : යක්ෂ සෙන්පතිවරුන්ගේ මුනිගුණ වැයුම - හේමවත සූත්‍රය - 2

සුත්ත නිපාතයෙන් ...

යක්ෂ සෙන්පතිවරුන්ගේ මුනිගුණ වැයුම

හේමවත සූත්‍රය - 2

මෙම ලිපියේ මුල් කොටස පසුගිය 6 වැනිදා අමාවක පෝදා පත්‍රයේ පළවිය.

සාමාන්‍යයෙන් ධර්ම මර්ගය වැඩුණේ නැති ලෝකයේ සියල්ලන්ගේම වගේ හිතේ තිබෙන ස්වභාවයක් තමයි කැළඹීම. සමහර විට කායික රෝගවලින් කැළඹෙනවා. මානසික ප්‍රශ්නවලින් කැළඹෙනවා. රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් කැළඹෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයට කැළඹෙන්නේ නැති සිතක් තිබෙන උත්තමයෙක් ද? කියායි හේමවත අසන්නේ.

ගෞතම බුදුපියාණන් වහන්සේ නො කැළඹුණු සිතට

උරුමකම් කියන උත්තමයෙක් ද?

හේමවත යක්ෂ සෙන්පතිතුමා සාතාගිරි යක්ෂ සෙන්පතිතුමාගෙන් නැවතත් මෙසේ විමසුවා.

කච්චි න රජ්ජති කාමේසු - කච්චි චිත්තං අනාවිලං
කච්චි මෝහං අතික්කන්තෝ - කච්චි ධම්මේසු චක්ඛුමා

(කච්චි න රජ්ජේසු කාමේසු) උන්වහන්සේ කාම අරමුණුවල ඇලෙන්නේ නැද්ද? කාම අරමුණු කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංච කාමයන්ට යි. එනම් ඇසට පෙනෙන රූපය සිතේ ආශාව ඇතිවෙන්න අරමුණක්. කනට ඇසෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස, සිතේ ආශාව ඇතිවෙන්න අරමුණක්. ඒ කාම අරමුණවල උන්වහන්සේ ඇලෙන්නේ නැද්ද? කියා හේමවත සාතාගිරිගෙන් විමසුවා.

ඒ වගේම (කච්චි චිත්ත අනාවිලං) උන්වහන්සේට තිබෙන්නේ කැළඹුණු නැති සිතක් ද? කියාත් විමසනවා. සාමාන්‍යයෙන් ධර්ම මර්ගය වැඩුණේ නැති ලෝකයේ සියල්ලන්ගේම වගේ හිතේ තිබෙන ස්වභාවයක් තමයි කැළඹීම. සමහර විට කායික රෝගවලින් කැළඹෙනවා. මානසික ප්‍රශ්නවලින් කැළඹෙනවා. රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් කැළඹෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයට කැළඹෙන්නේ නැති සිතක් තිබෙන උත්තමයෙක් ද? කියායි හේමවත අසන්නේ. හේමවත සාතාගිරිගෙන් තවදුරටත් මේ විදිහට විමසනවා. (කච්චි මෝහං අතික්කන්තෝ) උන්වහන්සේ වැඩ සිටින්නේ මෝහය ඉක්මවා ගිහින් ද? (කච්චි ධම්මේසු චක්ඛුමා) ඒ වගේම උන්වහන්සේ මේ ලෝක ස්වභාවය දකින ඤාණය තිබෙන කෙනෙක් ද?

සන්සුන් සිත් ඇති මුනිදාණෙනි වන්දේ. . .

ඒ ප්‍රශ්නවලට සාතාගිරි මෙලෙසින් පිළිතුරු දුන්නා.

න සෝ රජ්ජති කාමේසු - අථෝ චිත්තං අනාවිලං
සබ්බ මෝහං අතික්කන්තෝ - බුද්ධෝ ධම්මේසු චක්ඛුමා

උන්වහන්සේ කාමයන් කරෙහි ඇලෙන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේට තිබෙන්නේ කැළඹුණේ නැති සිතක්. උන්වහන්සේ සියලු මෝහය ඉක්මවා ගිහින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සියලු දේ දකින ඇසින් යුක්තයි. උන්වහන්සේගේ බුදු නෙතට හැමදේම පේනවා. නො කැළඹුණු සිත ගැන බුදුරජාණන් වහන්සේ උපමාවකින් මෙසේ වදාරා තිබෙනවා. ඒ තමයි හිමාල කන්ද මුදුනේ පිහිටි විල් තිබෙනවා. ඒවාට කුණු රොඩු වැටී කැළඹෙන්නේ නැහැ. නිතරම පතුළ පෙනෙන අයුරින් පිරිසුදු ජලය පවතිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කැළඹුණේ නැති සිත ඒ වගේ කියායි.

ලොව පවත්නා උත්තම විද්‍යාව. . .

ඉන්පසු නැවතත් හේමවත මේ ආකාරය ඇසුවා.

කච්චි විජ්ජාය සම්පන්නෝ - කච්චි සංසුද්ධචාරණෝ
කච්චිස්ස ආසාවා ඛීණා - කච්චි නත්ථි පුනබ්භවෝ

උන්වහන්සේ විද්‍යාවෙන් යුක්තයි ද? විද්‍යාව යනු පුබ්බේ නිවාසානුස්සති ඤාණය විද්‍යාවක්. චුතුපපාත ඤාණය විද්‍යාවක්. ආසවක්ඛය ඤාණය විද්‍යාවක්. මේ විද්‍යා තුනට තමයි ත්‍රිවිද්‍යා කියා කියන්නේ. මේවාට විද්‍යා කියා කියන්නේ ඤාණයෙන් ඉදිරිපත් කරන දේ මෝහයට අයිති නෑ. එය අයිති පැහැදිලි අවබෝධයට යි. එම විද්‍යාවන්ගෙන් බුදුරජාණන් වහන්සේ සමන්විත ද කියායි විමසන්නේ. එසේනම් (කච්චිි සංසුද්ධචාරණෝ) උන්වහන්සේගේ හැසිරීම පිරිසුදු ද? කියාත් විමසනවා. ඒ අසන්නේ චරණ ගුණය පිළිබඳයි. එනම් සීල සංවරාදී ගුණ පිරිසුදු ද කියායි. ඒ වගේම උන්වහන්සේ ආශ්‍රව නැතිවෙලාද තිබෙන්නේ. උන්වහන්සේට පුනර්භවයක් නැද්ද කියාත් විමසනවා.

එවිට සාතාගිරි මේ අයුරින් පිළිතුරු දුන්නා.

විජ්ජාය චේව සම්පන්නේ – අථෝ සංසුද්ධචාරණෝ
සබ්බස්ස ආසවා ඛිණා - නත්ථි තස්ස පුනබ්භාවෝ

උන්වහන්සේ විද්‍යාවෙන් යුක්තයි. ඒ වගේම පිරිසුදු හැසිරීමෙනුත් යුක්තයි. සියලු ආශ්‍රවයන් ක්ෂය කර වැඩ සිටින්නේ. උන්වහන්සේට නැවත උපතක් නැහැ. සාමාන්‍යයෙන් අපි හැමෝම ලබන අත්දැකීම් තුළ අපේ ජීවිතය තුළ ලබා ගන්නා දැනුම් සීමාව තුළ තමයි අපේ කල්පනාව පවතින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සියල්ල ගැන සියල්ල දන්නා නුවණින් යුක්තයි. උන්වහන්සේ අනාවරණ ඤාණයෙන් යුක්තයි. ත්‍රිවිද්‍යාවන්ගෙන්ම යුක්තයි. ඒ වගේම සෘද්ධිවිධ ඤාණ, දිබ්බසෝත ඤාණ, දිබ්බචක්ඛු ඤාණ, පරචිත්ත විජානන ඤාණය, ආදී අනන්ත බුද්ධ ඤාණයන්ගෙන් යුක්තවයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. උන්වහන්සේ නිකෙලෙස්ව, සියලු දුකින්, සියලු උපත්වලින් නිදහස්ව විමුක්ති සුව විඳිමින් වැඩ සිටියේ.

පහන් සිතින් සම්බුදු ගුණ අනුමෝදන් වෙමු. . .

ඊටපසුව සාතාගිරි මේ ගාථාව පවසමින් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා.

සම්පන්නං මුනිනෝ චිත්තං - කම්මනං ව්‍යප්පථේන ච
විජ්ජාචරණ සම්පන්නං – ධම්මතෝ නං පසංසයී

සිත කය වචන මුනිඳුන්ගේ පිරිසුදුය
බබළන නුවණ හැසිරෙන ගුණ විසිතුරුය

මෙලෙසින් දැන හැඳින සම්බුදු සම්බුදුව

කිව මැන බුදු ගුණ ම මුළු ලොව පැතිරෙන්ට

ඉන්පසු සාතාගිරි මේ අයුරින් පැවසුවා. “ බුදුරජාණන් වහන්සේගේ මේ උත්තම ගුණ අනුමෝදන්වන්න. විජ්ජාචරණ සම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ දකින්න අපි යමු” කියා.

තුන්ලොවම දිනූ සේක...

සාතාගිරි යක්ෂ සෙන්පතිතුමා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ තවදුරටත් මෙලෙසින් ප්‍රකාශ කළා . උන්වහන්සේගේ කෙණ්ඩා (ඒණිජංඝං) ඒණි යනු මුවෙකුට බඳුයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බොහෝම තරබාරු සිරුරක් තිබුණ උතුමෙක් නොවේ. (කීසං) කෘෂයි. උන්වහන්සේට තිබුණේ සාමාන්‍ය කෙට්ටු සිරුරක් . (වීරං) උන්වහන්සේ සේනා සහිත මරු පරාජයට පත්කර තුන්ලොව දිනූ මහා වීරයෙක්. (අප්පාහාරං) නිතරම ස්වල්ප වූ දෙයක් තමයි වැළඳුවේ. (අලේලුපං) උන්වහන්සේ කිසිවෙකුටත් ගිජු වුයේ නැහැ. (මුනිං වනස්මිං ඣායන්තං ඒහි පස්සාම ගෝතමං) වනාන්තරයේ ධ්‍යාන වඩන ඒ ගෞතමයන් වහන්සේ දකින්න අපි යමු. (සීහංවේකරං නාගං - කාමේසු අනපෙක්ඛිනං) උන්වහන්සේ හුදකලාවේ හැසිරෙන සිංහ රාජයෙක්, හස්තිරාජයෙක් වගේ කාමය කෙරෙහි කිසි අපේක්ෂාවක් නැහැ. (උපසංකම්ම පුච්ඡාම – මච්චුපාසා පමෝවනං) ඒ නිසා අපි ගොසින් අසමු මාර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියා?.

එසේනම් අපි තේරුම් ගන්න ඕනේ සාතාගිරි, හේමවත යක්ෂ සෙන්පතිවරු අවුරුදු කී දාහක් කො තරම් සංවේගයෙන් සිටින්න ඇද්ද? කාශ්‍යප බුද්ධ ශාසනයත් අතුරුදහන්වෙලා ඉන්පසු පසේබුදුවරුන්ගේ යුගයක් පැමිණ ඒ යුගයත් ගෙවුණු පසුවයි ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූණේ.

ඇසීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වුණා. . .

ඒ දෙදෙනාගේ මෙම සාකච්ඡාව ඇතිවුණේ ආකාසයේ දී. මෙම සම්බුදුගුණ කතාව අසා සිටි කුරරඝර වාසී කාලි උපාසිකාව සෝතාපන්න ඵලයට පත්වුණා. එසේකම් අසන දෙයට අනුව මනසේ යම්කිසි ප්‍රබුද්ධ ක්‍රියාකාරීත්වයක් සිදුවෙලා තිබෙනවා. කාලි උපාසිකාව බුදුරජාණන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවේ පිහිටා සිටියා. ඉතින් මේ යක්ෂ සෙන්පතිවරු දෙදෙනා බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්න ගියා. උන්වහන්සේට ගෞරවයෙන් වන්දනා කොට මෙසේ පවසා සිටියා.

අක්ඛාතාරං පවත්තාරං
සබ්බධම්මාන පාරගුං
බුද්ධං වේරභයාතිතං
මයං පුච්ඡාම ගෝතමං

ධර්මය දේශනා කරන, සියලු දෙයින් එතෙරට වැඩිය, භය වෛර කිසිවක් හට නොගන්නා, ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් අපි මේ පැනය අසන්න කැමැතියි.

හේමවත යක්ෂ සෙන්පතිතුමා තමයි මෙහිදී බුදුරජාණන් වහන්සේගෙන් සදහම් පැන අසන්නේ. මේ දෙදෙනා කාශ්‍යප බුද්ධ ශාසනයේ වැඩසිටි නායක ස්වාමින් වහන්සේලායි. මෙතැන යක්ෂ සේනාව දහසක් සිටිනවා. ඒ සියල්ලෝම කාශ්‍යප බුද්ධ සසුනේ පැවිදි වී සිටි ස්වාමින් වහන්සේලායි. ඔවුන්ට වාසනා මහිමයක් තිබූ නිසාත්, ප්‍රඥාවන්ත පිරිසක් නිසාත් ඉතාමත් වැදගත් ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk